අභිරූපනන්දා ථේරීගාථා වර්ණනාව
දෙවන නිපාතයෙහි, ආතුරං අසූචිං පූතිං යනුවෙන් පටන්ගන්නා ගාථාව අහිරූපනන්දා භික්ෂුණියගේ ගාථාවය. මොතොමෝ විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර ගැහැවිමහසල් කුලයක දියණියක වී සරණසිල්හි පිහිටා බුදුන් පිරිනිවිකල්හි මුතුමැණික්වලින් හෙබවූ රන්සතකින් රත්න චෛත්‍යය පුදා කළුරියකොට දෙව්ලොව ඉපිද ඒ අතරතුර කාලයෙහි දෙව්ලෝවල සැරසරන්නී මේ බුදුපතෙහි කපිලවත් පුරයෙහි ඛෙමක ශාක්‍යාගේ අගමෙහෙසියගේ කුසයෙන් උපන්නාය. ඕ නන්දා නම්වූවාය. අතිශය රූපසම්පත්තියෙන් සමන්විත වූ ඕතොමෝ දැකුම්කලුය, පහන් පෙනුමය, එහෙයින්ම රූපනන්දා යන නමින් වැඩිවශයෙන් පළට වූවාය. ඇය වියපත් කල්හි විවාහවීමට නියමිතව තුබූ දවසෙහි විවාහ ගිවිසගෙන සිටි ශාක්‍ය කුමාරයා කළුරිය කළේය. ඉක්බිති දෙමවුපියෝ නොකැමැති වූ නමුදු ඇය පැවිදිකරවූහ.
පැවිදිවීමෙන් පසුද ඕ රූපමදය ඇත්තී ‘ශාස්තෲන් වහන්සේ රූපයට නිගරු කරති, දොස් කියති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව දක්වති’යි සිතමින් බුද්ධෝපස්ථානයට නොයයි. බුදුහු ඇයගේ මුහුකළ නුවණ දැක මහාප්‍රජාපතිය අමතා ‘ඔවා දෙනු පිණිස සියලුම භික්ෂුණීන් එකිනෙක්කෙනා බැගින් එවන ලෙස දැනුම් දුන්හ. ඕ තමාගේ වාරය පැමිණි කල්හි අනෙක් මෙහෙණක් යැවුවාය. බුදුහු ‘තමාගේ වාරය පැමිණි කල්හි අන් කෙනෙකු නොඑවා තමාම පැමිණිය යුතුයයි’ වදාළහ. ඕතොමෝ බුදුන්ගේ අණ ඉක්මවනු නොහැක්කී තවත් භික්ෂුණීන් සමග බුදුන්ට උවටැන් කරනු පිණිස එහි ගියාය. බුදුහු එක් අභිරූපවත් ස්ත්‍රී රූපයක් මවා නැවත ඇය ජරාජීර්ණවන අයුරු පෙන්වා සංවේගය උපදවා-
ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං,
අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
අනිමිත්තං ච භාවෙහි මානානුසයමුජ්ජහ,
තතො මානාභිසමයා උපසන්තා චරිස්සසි.
තතො මානාභිසමයා උපසන්තා චරිස්සසි.
නන්දා, රෝගීවූ අපවිත්‍ර වූ කුණුවූ (ද්රව්යසම්භාරයෙහි) එකතුව බලන්න. සිත එකඟකරගෙන අසුබ බව දකිනු පිණිස සිත වඩව.
ජීවිතය නිමිති රහිතබව දැනගැනීමට මනස වඩව. මනස තුළ පවත්නා ප්රවණතා ඉවත් කරන්න. ඉක්බිති මනෝභාවනයෙන් සන්සුන්වී හැසිරෙන්න.
මේ ගාථා දෙක වදාළහ. මේ ගාථාවල තේරුම ඉහත කියන ලද පරිදිමය. ගාථා අවසානයෙහි අහිරූපනන්දාවෝ රහත්බවට පැමිණියහ. එහෙයින් අපදානයෙහි කියන ලදී:
බන්ධුමතී නුවර බන්ධුමා නම් ක්ෂත්රියයෙක් විය. ඔහුගේ බිරිඳ වූ මම චාරිකාවෙහි යෙදුණෙමි.
දිනක් මම හුදෙකලාව හිඳ මෙසේ සිතුවෙමි. ගමන යනවිට ගෙනයනු පිණිස මා විසින් කිසි කුසලක් කර නැත.
මහා තැවීම් ඇති කටුක වූ ඝෝර වූ අතිශය දරුණු වූ නිරයෙහි ඉපදීම ඒකාන්තය. එහිලා සැකයක් නැත.
මම මෙසේ සිතා මනස පහන් කරගෙන රජු වෙත එළඹ වචනය කීමි:
‘දේවයන් වහන්ස, අපි හැමදාම පුරුෂයන් අනුව යන්නාවූ ස්ත්‍රීහු වෙමු. දන් වැළඳවීම සඳහා මට එක් භික්ෂුවක් පවරා දෙනු මැනවි’
එවිට රජතුමා සන්සුන් වූ ඉඳුරන් ඇති භික්ෂුවක් පවරා දුන්නේය. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන පිණි බොජුනෙන් පුරවා, දහසක් අගනා වස්ත්‍ර යුගලයකින් වසා පහන් සිතින් පූජා කෙළෙමි.
ඒ යහපත් ක්‍රියාව හා මනස පිහිටුවා ගැනීම නිසා මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
දෙවිවරුන් දහසකට අගමෙහෙසිය වීමි. සක්විති රජවරුන් දහසකට අගමෙහෙසිය වීමි.
පෙදෙස් රජකම් කළ අත්බැව් අසංඛ්‍යය, එසේම ඒ කර්මයෙහිම බලයෙන් බොහෝ පින් රැස්කළෙමි.
මාගේ ඡවි වර්ණය උපුල් මලක මෙනි, අහිරූපවත් වීමි, සුදසුන් වීමි, සියලු මනහර නාරීලක්ෂණවලින් හෙබුණෙමි. උසස් කුලයක උපන්නෙම්. කාන්තියෙන් ද උපලක්ෂිත වීමි.
අවසාන භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමි. සුද්ධෝදන පුත්‍රයාගේ දහසක් කාන්තාවන්ට අගතැන් පැමිණියෙමි.
ගිහිගෙයි කලකිරී සසුනෙහි පැවිදිවීමි. එයින් සත්වන රාත්‍රියෙහි චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි.