නිගමන ගාථා
මෙපමණකින්ද -
ධර්‍මරාජන්වූ ශාස්තෘන් වහන්සේගේ ඖරස පුත්‍රවූ ධර්‍මය දායාදකොට ඇති ධර්‍මයෙන් නිපන්
ශීලාදී ගුණධර්‍මයෙන් සමන්විත, කරනලද කිස ඇති, ආශ්‍රවයන්ගෙන් දුරුවූ සුභූති ආදීවූ යම් ඒ තෙරවරු හා තෙරණිවරුවූහුද
උන්වහන්සේලා විසින් අනෙක් නිරුක්ති ආදිය ඇසුරු කරමින් ප්‍රකාශ කරනලද ගාථා සමූහයක් වීද, ඒ සියල්ල එක්තැන්කර ථෙරගාථා හා ථෙරිගාථා යනුවෙන් සංග්‍රහයන්ට නගන ලදද,
මහා තෙරවරු ඒ ථෙරගාථාවල අර්‍ථය ප්‍රකාශකරනු පිණිස පැරණි අට්ඨකථා ක්‍රමයට නැගුහ. එය ඇසුරුකර මා විසින් අර්ථවර්‍ණනාව අරම්භ කරන ලදී. ඒ ඒ ස්ථානයන්හි සුදුසු පරිදි පරමාර්ථයට අනුව සකස් කෙරිණ.
නමින් පරමත්‍ථදීපනී නම්වූ නිරවුල් විනිශ්චයයන්ගෙන් යුක්ත වූ මේ කෘතිය බණවර අනුදෙකකින් සම්පූර්‍ණකර පාලියෙන් සකස් කරන ලදී.
මෙය සංස්කරණය කිරීමෙන් යම් ඒ පිනක් මා විසින් අත්පත් කරගන්නා ලදද එහි ආනුභාවයෙන් සිල් ඈ ගුණ රැසින් පිරිසිදු වී බුදුන්වහන්සේගේ සසුන බබුළුවා සියලු සත්ත්වයෝ නිවන් සුවයෙහි කොටස්කාරයෝ වෙත්වා.
සම්‍යක් සම්බුද්ධයන් වහන්ගේ ශාසනය බොහෝ කාලයක් පවතීවා. සියලු සත්ත්වයෝ ඒ සසුන කෙරෙහි ගෞරවය දක්වත්වා.
ලෝකාධිපති දෙවියෝ ද මැනැවින් කලට වැසි වස්වත්වා. සද්ධර්මයෙහි නිරතව ධර්මයෙන්ම ලෝකය පාලනය කෙරෙත්වා.
බදරතිත්‍ථ විහාරවාසී ධම්මපාල තෙරණුවන් විසින් කරන ලද ථෙරිගාථාවෙහි අර්ථ සංවර්‍ණනාව නිමි.
හැම අයුරකින්ම ඒ අට්ඨකථාව නිමාවට පත්විය. ධර්මයෙහි චිරස්ථිතිය සඳහා එය නිමවන්නා වූ මා විසින් යම් පිනක් අත්පත් කරගන්නා ලදද එහි අනුභාවයෙන් සියලු සත්ත්වයෝ බුදුන්වහන්සේගේ සුව එළවන දහම දැනගෙන, පිරිසිදු යහපත් පිළිවෙතින් සමන්විතව සොක රහිත වූ කරදර රහිත වූ උතුම් නිවන් සුවයට පැමිණෙත්වා.
සද්ධර්මය බොහෝ කලක් පවතීවා, සියලු සත්ත්වයෝ ධර්මයට ගෞරව කරත්වා. කලට වැසි වසීවා.
නිවන් පසක්වේවා.!