උත්පලවණ්ණා ථේරීගාථා වර්ණනාව
දොළොස්වන නිපාතයෙහි උභො මාතා පිතා ච ආදී ගාථා උප්පලවණ්ණා තෙරණියගේය. මොතොමෝද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැනහැඳිනගත් පසු මහජනයා සමග බුදුන් වෙත ගොස් බණ අසන්නී බුදුහු එක භික්‍ෂුණියක් ඍද්ධිබල ඇත්තියන්ගේ අගතනතුරට පත්කරනු දැක සත්දිනක් බුද්ධ ප්‍රමුඛ මහාසංඝයාට මහ දන් දී එම තනතුර පැතුවාය. ඕ දිවි ඇතිතාක් කුසල් රැස්කර දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී කස්සප බුදුන්ගේ කාලයෙහි බරණැස් නුවර කිකී නම්වූ කාසිරජුගේ ගෙයි පිළිසිඳ සොහොයුරියන් සත්දෙනෙකු අතර එකියක වී වසර විසිදහසක් බඹසර වැස භික්‍ෂු සංඝයාට පිරිවෙනක් කරවා පූජාකර දෙව්ලොව උපන්නාය.
එයින් චුතව නැවත මිනිස් ලොවට පැමිණෙන්නී එක්තරා ගමක සියතින් වැඩකර ජීවත්වන ගෙයක උපන්නාය. ඕ දිනක් කෙතේ පැලට යන්නී අතර මග එක් විලක අලුයම පිපුණු පියුමක් දැක විලට බැස ඒ මල හා විලඳ තැබීම සඳහා නෙලුම් කොළයක් ද කඩාගෙන කුඹුරෙහි හැල්බඩ කඩාගෙන පැලේ සිටම විලඳ බැද කොටස් පන්සියයකට වෙන් කර තැබුවාය. එකෙණෙහිම ගන්‍ධමාදන පර්‍වතයෙහි නිරෝධසමාපත්තියෙන් නැගී සිටියා වූ එක් පසේබුදුවරයෙක් අවුත් ඇයට නුදුරු තැනක පෙනී සිටියහ. ඕ පසේබුදුන් දැක විලඳ සමග නෙලුම් මල ගෙන පැලෙන් බැස විලඳ පසේබුදුවරයාගේ පාත්‍රයෙහි තබා පියුමෙන් පාත්‍රය වසා දුන්නාය. ඉක්බිති පසේබුදුවරයා ටික දුරක් ගිය කල්හි ඇයට මෙබඳු අදහසක් ඇතිවිය. ‘පැවිද්දන්ට මල්වලින් පලක් නැත. මම ඒ මල පෙරළා ගෙන පළඳින්නෙමැ’යි ගොස් පසේබුදුන්ගේ අතින් එය ගෙන මෙසේ සිතුවාය. ‘ඉදින් ආර්‍යයෝ මල්වලින් පලක් නැත්තාහු වෙත් නම් පාත්‍රය මත තැබීමට නොදෙනු නොවේදැ’යි නැවත ගොස් පාත්‍රය මත්තෙහි තබා පසේබුදුවරයා ක්‍ෂමා කරවාගෙන ‘ස්වාමීනි, මගේ මේ විලඳ පින්කමෙන් මට මතු ආත්මයක විලඳ ඇට ගණනට පුත්තු ලැබෙත්වා. පියුම පිදීමේ පිනෙන් උපනුපන් තන්හි පියවරක් පාසා නෙලුම් මලක් පිපේවා’යි පැතුවාය. පසේබුදුවරයා ඇය බලාසිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට ගොස් ඒ පියුම නන්දමූලක පර්‍වත බෑවුමෙහි පසේබුදුවරුන් නගින බසින හිණිපාමුල පාපිස්සක් කොට තැබූහ.
ඕතොමෝද ඒ පින්බලෙන් දෙව්ලොව පිළිසිඳ ගත්තීය. උපන්කල සිටම ඇයගේ පියවරක් පාසා මහාපියුම් පැනනැගිණ. ඕ එයින් චුතව පවුපාමුල එක්තරා නෙලුම් විලක පියුම්ගැබක උපන්නාය. ඒ විල ඇසුරුකොට එක් තවුසෙක් වෙසෙයි. හෙතෙම අලුයම මුහුණ සේදීමට ඒ විලට ගියේ එකී පියුම දැක මෙසේ සිතුවේය. මේ නෙලුම්මල අනෙක් මල්වලට වඩා මහත්ය, අනෙක් මල් පිපෙයි, ‘මෙය නොපිපී තිබේ. මෙහි යම්කිසි කාරණයක් තිබිය යුතුය.’ මෙසේ සිතා දියට බැස මල නෙලාගත්තේය. ඔහු නෙලාගත් කෙණෙහිම ප්‍රබෝධ විය. තවුසා පියුම්ගැබ තුළ නිදාසිටින දැරිය දුටුවේය. ඇය දුටු කෙණෙහිම තවුසා තුළ දරු සෙනෙහස හටගත් හෙයින් ඔහු පියුමත් සමග ඇය පන්සලට ගෙනවුත් ඇඳක හෙවීය. ඇයගේ පින්මහිමයෙන් තවුසාගේ ඇඟිල්ලක කිරි එරිණ. හෙතෙම ඒ මල පරවුණුකල අලුත් මලක් ගෙනවුත් ඇය එහි නිදිකරවයි. ඇය දුව ඇවිදිමින් කෙළිසෙල්ලම් කිරීමට හැකිවූ කාලයේ සිටම තබන තබන අඩියට පියුමක් පිපෙයි. ඇයගේ ශරීර වර්‍ණය කොකුම් රාශියක පැහැයට සමානය. දිව්‍ය වර්‍ණය ඉක්ම වූ මනුෂ්‍ය වර්‍ණයක් දක්නට ලැබිණ. පියා පලතුරු නෙලීම සඳහා ගිය කල්හි ඕතොමෝ පන්සලෙන් බැහැරව සිටී.
දිනක් පියා පලවැල සඳහා බැහැරට ගිය කල්හි එක් වනචරයෙක් වැඩිවියට පැමිණ සිටි ඇය දැක මෙසේ සිතීය. ‘මිනිසුන්ට නම් මෙවැනි රූපයක් නැත. එය විමසිය යුතුය’ මෙසේ සිත හෙතෙම තවුසාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය. ඕතොමෝ පියා එනු දැක පෙරට ගොස් පලතුරු කඳ හා කෙණ්ඩිය ගත්තාය. පන්සලට පැමිණ හිඳගත් පසු ඔහුට කළමනා වත්පිළිවෙත් සැපයුවාය. එවිට ඒ වනචරයාට පලවැලවලින් හා ජලයෙන් සත්කාරකොට ‘පින්වත, ඔබ මෙහි නවතින්නෙහිද නැතහොත් යන්නෙහිද?’ යනුවෙන් ඇසීය. ‘ස්වාමීනි, මම යන්නෙමි. මෙහි සිට කුමක් කෙරෙම්ද?’ ඔහු පිළිතුරු දුන්නේය. ‘මේ ඔබ දුටු කාරණය ඔබ යනෙන තැන්වලදී නොකියා සිටීමට ඔබට හැකිවේදැ’යි තවුසා ඇසීය. ‘ඔබ වහන්සේ නොකැමැති නම් එය කියන්නේ කුමක් නිසාද?’ ඔහු පිළිතුරු දී තවුසාට වැඳ පිටත්විය. ඔහු නැවත එහි පැමිණෙන විටක මග හැඳිනගැනීම පිණිස අතුවල හා ගස්වල සලකුණු තබමින් යන්ට ගියේය.
ඔහුද බරණැසට ගොස් රජු බැහැදුටුවේය. ඔහු කුමක් නිසා එහි පැමිණියේදැයි රජ ඇසීය. ‘දේවයන්වහන්ස, ඔබවහන්සේගේ වනචාරකයෙකු වූ මම පර්‍වත පාදයෙහි ආශ්චර්‍යජනක ස්ත්‍රී රත්නයක් දුටුවෙම් ඔබවහන්සේට ඒ බව දැනුම් දීමට පැමිණියෙමි.’ ඔහු සියලු තොරතුරු පැවසුවේය. ඔහුගේ වචනය අසා රජතෙමේ යුහුසුලුව කඳු බෑවුමට ගොස් අසපුවට නුදුරු තැනක කඳවුරු බැඳ පිරිස එහි නවත්වා වනචාරකයා හා මිනිසුන් ටිකදෙනෙකු සමග තවුසා දිවා ආහාරය ගෙන නිමවූ කල්හි එහි ගොස් තවුසාට වැඳ එකත් පසෙක හුන්හ. රජ තවුසාට පැවිදි පිරිකර පූජාකර ‘වහන්ස, කුමක් හෙයින් අපි මෙහි වෙසෙමුද, අපි යන්නෙමු’යි රජතෛමේ කීය. ‘යනු මැනවි රජතුමනි’ තවුසා කීය. ‘යන්නෙම් ස්වාමීනි, ඔබවහන්සේ සමීපයෙහි විසභාග අරමුණක් ඇත’ යනුවෙන් මට අසන්ට ලැබිණ. එසේ නම් එය පැවිද්දන් ප්‍රමාද කරවන කාරණයකි. වහන්ස ඕ අප සමග යේවා ‘මිනිසුන්ගේ සිත වනාහි නිතර දුෂ්‍යවන්නකි. එසේ නම් මෝ මිනිසුන් සමූහයක් මැද කෙසේ වසන්නීද?’ තවුසා ඇසීය. මා කැමති කලක සිට මැය සෙසු ඇකොවුරන්ගේ නායිකාව හැටියට පත්කර රැකබලා ගනිමි, වහන්ස.’