16. ෂෝඩශනිපාතය
පුණ්ණා ථේරීගාථා වර්ණනාව
දහසයවන නිපාතයෙහි උදකමාහරිං සීතෙ - ආදිය පුණ්ණා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැන ඉගෙනගත්කල්හි හේතුසම්පන්න බැවින් හටගත් සංවේගය ඇත්තී භික්‍ෂුණීන් වෙත ගොස් බණ අසා සැදැහැය ලබා පැවිදිව පිරිසිදුව සිල් ඇතිව ත්‍රිපිටකය ඉගෙන බහුශ්‍රැතව ධර්‍මධරව ධර්‍මකථිකාවක් වූවාය. විපස්සි බුදුන්ගේ කාලයෙහි මෙන්ම සිඛී වෙස්සභ කකුසඳ කෝණාගමන කස්සප යන බුදුවරුන්ගේ කාලවලද පැවිදිව පිරිසිදු සිල් ඇතිව බහුශ්‍රැත ධර්‍මධරව ධර්‍මකථිකාවක් වූවාය. මානය නොනැසූ හෙයින් ඇයට කෙලෙස් නැසීමට නොහැකිවිය. මානයට වසඟ වී ක්‍රියා කළ හෙයින් මේ බුදුපතෙහි අනේපිඬු සිටුවරයාගේ ගෙදර දාසියකගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයගේ නම පුණ්ණාය. ඕතොමෝ සීහනාද සූත්‍ර දේශනාව අසා සෝවාන් පෙලෙහි පිහිටා පසුව උදකසුද්ධිවාදී බ්‍රාහ්මණයෙකු හික්මවා සිටුවරයා විසින් දාසභාවයෙන් නිදහස්කර ඔහු විසින් අනුමත කරනු ලැබ පැවිදිව විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එසේ හෙයින් අපදානයෙහි කියනලදී:
විපස්සි සිඛී වෙස්සභූ කකුසඳ කෝණාගමන හා කස්සප යන බුදුවරුන්ගේ කාලවල සසුනෙහි පැවිදිව සීලසම්පන්නව, සන්සුන් ඉඳුරන් ඇතිව ප්‍රඥාවන්ත භික්‍ෂුණියක් වී බහුශ්‍රැතව ධර්‍මධරව ආත්මයෙහි යථාර්ථය ඉගෙන ධර්‍මය අසන ධර්‍මය ඇසුරු කරන මම බුදුසසුනෙහි ජනතාව මැද ධර්‍මය දේශනා කළෙමි. ඒ බහුශ්‍රැත භාවය නිසා මම අනෙක් සිල්වත් භික්‍ෂුණීන් පහත්කොට සැලකීමි.
දැන් මේ අවසාන ආත්මභාවයෙහි සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ගෙදර දාසියකගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
වතුර ගෙන ඒමට ගිය මම ජලය මැද සීතලෙන් පෙළෙන සොත්‍ථිය බමුණා දැක මෙසේ කීවෙමි:
‘හැමදාම සීතලේ වතුර ගෙනාවෙමි. දිනපතාම ජලයට බැස්සෙමි. හාම්පුතුන්ගේ දඬුවමට බයෙන් හා ඔවුන්ගේ බැණීමට කලකිරී මම එසේ වැඩකළෙමි.
‘බ්‍රාහ්මණය, ඔබ කවරෙකුට බියෙන් හැමදාම වතුරට බසින්නෙහිද? වෙවුලන ගතින් අධික ශීතල උසුලන්නේ ඇයි?’
‘පව්කම් වළක්වමින් පින්කම් කරන මා ගැන පුණ්ණා, ඔබ දැනදැනම ප්‍රශ්න කරන්නෙහිය.
ළදරුවෙක් හෝ මහල්ලෙක් හෝ වේවා, ඔවුහු පව්කම් කරති. දිය නෑමෙන් ඔවුහු ද පව්කම්වලින් මිදෙති.’
දියෙන් ගොඩට එන්නාවූ ඔහුට සාර්ථක ධර්‍මයක් දේශනා කළෙමි. එය අසා සංවේගයට පැමිණි හෙතෙම පැවිදිව රහත්විය.
සියයට අඩුව පුරවමින් යම් හෙයකින් මම දසකුලයක උපනිම්ද ඒ මා පුණ්ණා යන නමින් ඔවුහු හැඳින්වූහ, මා දාසියකද කළහ.
ඉක්බිති සිටුවරයා පහදවාගෙන අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. නොබෝ කලෙකින්ම රහත්බවටද පැමිණියෙමි.
සෘද්ධි බලය ලබාගතිමි. දිවකණ, පරසිත් දැනීමේ නුවණ ලැබිණ.
පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කළෙමි, සියලු අසවු නැසුයෙමි, මෙයින් මතු මට උපතක් නොමැත.