තිස්සා ථේරීගාථා වර්ණනා
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි යනු තිස්ස තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව තිස්සා මෙහෙණගේ කථාවට සමානය. මෝතොමෝ තෙරණියක් වී රහත්බවට පැමිණියාය. එසේම මෙයින් පසු ධීරා වීරා මිත්තා භද්‍රා උපසමා යන තෙරණියන් පස්දෙනාගේ කථා ද එක සමානය. කපිලවත්වැසි මේ සියලු දෙනාම බෝසතුන්ගේ කාන්තාවන් වූවාහු මහප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් ආලෝක ගාථාවෙන් සත්වැන්නී හැර අනෙක් සියල්ලෝම රහත්බවට පැමිණියහ. ඕතොමෝ වනාහී ආලෝක ගාථාවක් නොමැතිව හුදෙක් බුදුන් වෙතින් ලද අවවාදය ඇසුරු කරගෙන විදසුන් වඩා රහත් වී උදානයක් වශයෙන් වීරාවීරෙහි යන ගාථාව ප්‍රකාශ කළාය. සෙස්සෝ ද රහත්බවට පැමිණ -
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි ඛණො තංමං උපච්චගා,
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
ධීරෙ නිරෝධං ඵුස්සෙහි සඤ්ඤාවූපමසමං සුඛං,
ආරාධහාහි නිබ්බානං යොගක්‍ඛෙමං අනුත්තරං.
වීරා වීරෙහි ධම්මෙහි භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා,
ධාරෙහි අන්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.
සද්ධාය පබ්බජ ත්‍වාන මිත්තෙ මිත්ත රතා භව,
භාවෙහි කුසලධම්මෙ යොගක්‍ඛෙමස්ස පත්තියා.
සද්ධාය පබ්බජිත්‍වාන භද්‍රෙ භද්‍රරතා භව,
භාවෙහි කුසලෙ ධම්මෙ යොගක්‍ඛෙමං අනුත්තරං.
උපසමෙ තරෙඔඝං මච්චුධෙය්‍යං සුදුත්තරං,
ධාරෙහි උත්තමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.
තිස්සා, ධර්‍මයෙහි යෙදෙන්න, සම්පත්තිය ඔබ ඉක්මනොයේවා, සම්පත්තිය ඉක්මවා ගියහොත් නිරයෙහි වැටී ශෝකයට පත්වෙති.
ධීරා, භික්‍ෂුණිය සංඥාවන් සන්සිදීමේ සුවය ඇති නිරෝධය ස්පර්‍ශ කරන්න. යෝගයන්ගේ ක්‍ෂෙම භූමිය වූ ශ්‍රේෂ්ඨ නිර්‍වාණය ලබාගන්න.
වීරා, වීර ධර්‍මයන්ගෙන් සමන්විත වූ, වඩන ලද ඉඳුරන් ඇති භික්‍ෂුණියක් වී පිරිස් සහිත මාරයා දිනාගෙන මතු උපතක් නැති හෙයින් මෙය ඔබේ අන්තිම ශරීරය කරගන්න.
මිත්තා, සැදැහැයෙන් පැවිදි වී කලණ මිතුරන් ඇසුරු කරන්න, යෝගයන්ගෙන් මිදීමට පැමිණෙනු පිණිස කුසල් දහම් වඩන්න.
භද්‍රා, සැදැහැයෙන් පැවිදි වී යහපත් වූ ශීලාදි ධර්‍මයන්හි යෝගක්‍ෂෙම වූ උතුම් වූ කුසල් දහම් වඩන්න.
උපසමා, මාරයාගේ විෂය වූ තරණය කිරීමට දුෂ්කර වූ අවිද්‍යා ආදී සතර ඕඝය තරණය කරන්න. පිරිස් සහිත මාරයා දිනා මෙය ඔබේ අවසාන ශරීරය කරගන්න යන ගාථා ප්‍රකාශ කළහ.
එහි යුඤ්ජස්සු ධම්මෙහි - සමථ විපස්සනා භාවනාව ලද ආර්ය බෝධිපාක්‍ෂික ධර්‍මයෙහි ද යෙදෙව. එහිලා උත්සාහ කරන්න. ඛණො තං මා උපච්චගා- යමෙක් මෙසේ භාවනාවෙහි නොයෙදේ ද, ඒ පුද්ගලයා සුදුසු පෙදෙසක ඉපදීමේ ක්‍ෂණය, සවැදෑරුම් ඉඳුරන්ගේ අවිකල භාවය සංඛ්‍යාත ක්‍ෂණය, බුදුන් පහළව සිටින කාලය නමැති ක්‍ෂණය, සැදැහැය ලැබීම නම් වූ ක්‍ෂණය යන මේ සියලු ක්‍ෂණයන් ඉක්මවූවා වෙයි. ඒ ක්‍ෂණයෝ ඔහු ඉක්මවා නොයෙත්වා. ඛණාතීතා- ඉක්මවා ගිය ක්‍ෂණයෝ මෙවැනි ක්‍ෂණයන්ගෙන් පල නොලබා ඉක්ම ගිය කල ඒ පුද්ගලයා නිරයෙහි ඉපද ශෝක කරයි. එහි ඉපදී මහා දුක් විඳියි යන තේරුමය.
නිරොධං පුස්සෙහි- කෙලෙස් නැතිකිරීම අරමුණු කරන්න. ඒ අරමුණ ලබාගන්න, සඤ්ඤා පසමං සුඛං ආරාධයාභි නිබ්බානං කාමසංඥාදීන්හි පෙළැඹෙන පාපචේතනාවන් ශමනය කිරීමෙන්, ඉවත් කිරීමෙන් ලැබෙන අත්‍යන්ත සුඛය නිවණය.
වීරා වීරෙහි ධම්මෙහි - වීර්‍ය ප්‍රධාන කොට ඇති, වීර්‍ය මුල්කොට ඇති ආර්‍ය මාර්ගයෙහි, භාවිතින්‍ද්‍රියා- වැඩි දියුණු කළ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගෙන් සමන්විත වූ වීර භික්‍ෂුණිය, වස්තු කාමයන්ගෙන්, සවාහනං- කෙලෙස්මරු පරදවා අනාගතයෙහි නැවත ඉපදීමක් නැති හෙයින් අන්තිම ශරීරය දරන්න, යනුවෙන් ස්ථවිරී තොමෝ තමා අනෙකක මෙන් සලකා තමාම පෙන්වයි.
මිත්තෙ- ඇය ඇමතූ අයුරුය. මිත්තරතං- කලණ මිතුරන් කෙරෙහි ඇලුම් කිරීම, එහිලා සත්කාර සම්මාන කිරීමෙහි ඇලෙව. භාවෙහි කුසලෙ ධම්මෙ - ආර්‍ය මාර්‍ග ධර්‍මයන් පුහුණු කරන්න. යොගක්‍ඛෙමස්ස- රහත්බව, නිවණ, පත්තියා- ලබාගනු පිණිස.
භද්දෙ - ඇය අමතයි. භද්‍රරතා- යහපතෙහි නිරත වන්න. යහපත් වූ ශීලාදී ධර්‍මයන්හි රිසිවඩව. යොගක්‍ඛෙමං අනුත්තරං - සිවුවැදරුම් යෝගයන්ගෙන් මිදුණා වූ උවදුරු රහිත වූ නිවන් ලබනු පිණිස, කුසලෙ - බෝධිපාක්‍ෂික ධර්‍මයන් වඩව යනු අර්ථයි.
උපසමා - ඇය අමතයි. තරෙ ඔඝං මච්චුධෙය්‍යං සුදුත්තරං - මාරයා මෙහි ඇතුළත්වෙනුයි මච්චුධෙය්‍යං. රැස්නොකළ කුසල සම්භාරයන් නිසා තරණය කිරීමට අපහසු වූ ආර්‍ය මාර්ගය නමැති නැවෙන් සැඩපහර තරණය කරන්න. ධාරෙහි අන්තිමං දෙහං - එය තරණය කිරීමෙන් මේ අන්තිම සිරුර දරන්න.
තිස්සා ආදී තෙරණියන්ගේ ගාථා වර්‍ණනා නිමි.
ප්‍රථමවර්‍ග වර්‍ණනාව සමාප්තය.
මුත්තා ථේරීගාථා වර්ණනාව
සුමුත්තා සාධු මුත්තම්හි යනුවෙන් ඇරඹෙන ගාථාව මුත්තා තෙරණියගේය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල දී කරනලද අධිකාර ඇත්තී හවයක් පාසා කුසල් රැස්කර මේ බුදු උපතෙහි කොසොල් දනව්වෙහි ඕඝාතක නම් වූ දිළිඳු බමුණකුගේ දියණිය වී උපන්නාය. ඇය සුදුසු වයසට පැමිණි කල දෙමවුපියෝ ඇය කුදු බමුණෙකුට විවාහ කර දුන්හ. ඕතොමෝ ඔහු සමග ගිහිගෙයි විසීම නොකැමැත්තී බමුණාගේ අනුදැනුම ලබාගෙන පැවිදිව විදසුන් වඩයි. එහෙත් ඇයගේ සිත බාහිර අරමුණු කෙරෙහි දුවයි. ඕ එය නිගන්නී, සුමුත්තා සාධු මුත්තම්හි යන ගාථාව කියත්ම විදසුන උත්සුක කරවා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
සියලු ධර්‍මයන් මැනවින් දත්තා වූ පදුමුත්තර බුදුන්වහන්සේ සත්‍ව වර්‍ගයාට අනුග්‍රහ කරන්නාහු පිඬු පිණිස නගරයට පිවිසියහ.