තිස්සා ථේරීගාථා වර්ණනාව
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙ- මෙය මහණදම් පුරණ තිස්සාගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාරය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කරන්නී, එකතු කරගත් පින්බරින් සමන්විතවූවා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත් පුරයෙහි ශාක්‍යරාජ කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ බෝසතුන්ගේ ඇතොවුරෙහි වැස පසුව මහාප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් පැවිදිව බවුන් වඩයි. බුදුන්වහන්සේ පෙර කියනලද පරිදි ආලෝකය විහිදුවා මේ ගාථාව වදාළ සේක:
තිස්සො සික්‍ඛස්සු සික්‍ඛාය මා තං යොගා උපච්චගුං,
සබ්බයොගවිසංයුත්තා චර ලොකෙ අනාසවා.
තිස්සා, සිකපද අනුව හික්මෙන්න, යෝග සංඛ්‍යාත ලැබීම් ඔබ ඉක්මවා නොයේවා. සියලු යෝගයන් පහකර කෙලෙස්වලින් මිදී ලෙව්හි හැසිරෙන්න.
මෙහි තිස්සා යනු ඇමතීමය. සික්‍ඛස්සු සික්‍ඛාය- අධිශීලාදී ත්‍රිවිධ ශික්‍ෂාවන්ගෙන් ශික්‍ෂණය පුහුණු කරන්න. මාර්‍ගයෙහි යොදවන ත්‍රිවිධ ශික්‍ෂාවන් ලබාගන්න යනු අර්ථයි. දැන් ඒවා ලබාගැනීමේ හේතුව දැක්වීය. මා තං යොගා උපච්චගූං - මිනිසත් බව, ඉඳුරන්ගේ විකලත්වයක් නොවීම, බුදුන් ඉපදුණු කලක්වීම, ශ්‍රද්ධාව හටගැනීම යන මේ යෝගයන් දුර්‍ලභය. එයින් ප්‍රයෝජන නොගෙන ඒවා ඉක්මවා යාමට ඉඩ නොදෙන්න. කාම යෝගාදියම වූ ඒ සතර යෝගයන්ට ඔබ යටපත් කර ගැනීමට අවකාශ නොදෙන්න. සබ්බයොගවිසංයුත්තා - සියලු කාම ආදී යෝගයන්ගෙන් මිදී එහෙයින්ම ආශ්‍රවයන්ගෙන් වෙන්වී ලෙව්හි හැසිරෙන්න. මෙලෙව්හි දී සුඛවිහරණයෙන් ජීවත්වන්න යන තේරුමය.
ඕතොමෝ ඒ ගාථාව අසා විදසුන්වඩා රහත්වූවාය. මේ ක්‍රමය යට කියනලද පරිදි දතයුතුය.
තිස්සා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
තිස්සා ථේරීගාථා වර්ණනා
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි යනු තිස්ස තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව තිස්සා මෙහෙණගේ කථාවට සමානය. මෝතොමෝ තෙරණියක් වී රහත්බවට පැමිණියාය. එසේම මෙයින් පසු ධීරා වීරා මිත්තා භද්‍රා උපසමා යන තෙරණියන් පස්දෙනාගේ කථා ද එක සමානය. කපිලවත්වැසි මේ සියලු දෙනාම බෝසතුන්ගේ කාන්තාවන් වූවාහු මහප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් ආලෝක ගාථාවෙන් සත්වැන්නී හැර අනෙක් සියල්ලෝම රහත්බවට පැමිණියහ. ඕතොමෝ වනාහී ආලෝක ගාථාවක් නොමැතිව හුදෙක් බුදුන් වෙතින් ලද අවවාදය ඇසුරු කරගෙන විදසුන් වඩා රහත් වී උදානයක් වශයෙන් වීරාවීරෙහි යන ගාථාව ප්‍රකාශ කළාය. සෙස්සෝ ද රහත්බවට පැමිණ -
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි ඛණො තංමං උපච්චගා,
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
ධීරෙ නිරෝධං ඵුස්සෙහි සඤ්ඤාවූපමසමං සුඛං,
ආරාධහාහි නිබ්බානං යොගක්‍ඛෙමං අනුත්තරං.
වීරා වීරෙහි ධම්මෙහි භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා,
ධාරෙහි අන්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.
සද්ධාය පබ්බජ ත්‍වාන මිත්තෙ මිත්ත රතා භව,
භාවෙහි කුසලධම්මෙ යොගක්‍ඛෙමස්ස පත්තියා.
සද්ධාය පබ්බජිත්‍වාන භද්‍රෙ භද්‍රරතා භව,
භාවෙහි කුසලෙ ධම්මෙ යොගක්‍ඛෙමං අනුත්තරං.
උපසමෙ තරෙඔඝං මච්චුධෙය්‍යං සුදුත්තරං,
ධාරෙහි උත්තමං දෙහං ජෙත්‍වා මාරං සවාහනං.
තිස්සා, ධර්‍මයෙහි යෙදෙන්න, සම්පත්තිය ඔබ ඉක්මනොයේවා, සම්පත්තිය ඉක්මවා ගියහොත් නිරයෙහි වැටී ශෝකයට පත්වෙති.
ධීරා, භික්‍ෂුණිය සංඥාවන් සන්සිදීමේ සුවය ඇති නිරෝධය ස්පර්‍ශ කරන්න. යෝගයන්ගේ ක්‍ෂෙම භූමිය වූ ශ්‍රේෂ්ඨ නිර්‍වාණය ලබාගන්න.
වීරා, වීර ධර්‍මයන්ගෙන් සමන්විත වූ, වඩන ලද ඉඳුරන් ඇති භික්‍ෂුණියක් වී පිරිස් සහිත මාරයා දිනාගෙන මතු උපතක් නැති හෙයින් මෙය ඔබේ අන්තිම ශරීරය කරගන්න.
මිත්තා, සැදැහැයෙන් පැවිදි වී කලණ මිතුරන් ඇසුරු කරන්න, යෝගයන්ගෙන් මිදීමට පැමිණෙනු පිණිස කුසල් දහම් වඩන්න.
භද්‍රා, සැදැහැයෙන් පැවිදි වී යහපත් වූ ශීලාදි ධර්‍මයන්හි යෝගක්‍ෂෙම වූ උතුම් වූ කුසල් දහම් වඩන්න.
උපසමා, මාරයාගේ විෂය වූ තරණය කිරීමට දුෂ්කර වූ අවිද්‍යා ආදී සතර ඕඝය තරණය කරන්න. පිරිස් සහිත මාරයා දිනා මෙය ඔබේ අවසාන ශරීරය කරගන්න යන ගාථා ප්‍රකාශ කළහ.
එහි යුඤ්ජස්සු ධම්මෙහි - සමථ විපස්සනා භාවනාව ලද ආර්ය බෝධිපාක්‍ෂික ධර්‍මයෙහි ද යෙදෙව. එහිලා උත්සාහ කරන්න. ඛණො තං මා උපච්චගා- යමෙක් මෙසේ භාවනාවෙහි නොයෙදේ ද, ඒ පුද්ගලයා සුදුසු පෙදෙසක ඉපදීමේ ක්‍ෂණය, සවැදෑරුම් ඉඳුරන්ගේ අවිකල භාවය සංඛ්‍යාත ක්‍ෂණය, බුදුන් පහළව සිටින කාලය නමැති ක්‍ෂණය, සැදැහැය ලැබීම නම් වූ ක්‍ෂණය යන මේ සියලු ක්‍ෂණයන් ඉක්මවූවා වෙයි. ඒ ක්‍ෂණයෝ ඔහු ඉක්මවා නොයෙත්වා. ඛණාතීතා- ඉක්මවා ගිය ක්‍ෂණයෝ මෙවැනි ක්‍ෂණයන්ගෙන් පල නොලබා ඉක්ම ගිය කල ඒ පුද්ගලයා නිරයෙහි ඉපද ශෝක කරයි. එහි ඉපදී මහා දුක් විඳියි යන තේරුමය.