පුණ්ණා ථේරීගාථා වර්ණනාව
පුණ්ණෙ පූරස්සු ධම්මෙහි යනු පුණ්ණා නම් වූ මහණදම් පුරණ තැනැත්තියකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරනලද අධිකාරය ඇත්තී ඒ හවයන්හි දී පින් රැස්කරන්නී එක්තරා බුද්ධාන්තරයක මෙලෙව්හි චන්දභාගා නම් ගංගාවේ ඉවුරක කිඳුරු යෝනියෙහි ඉපිද එක්දිනක පසේ බුදුනමක් දැක පැහැදුණු සිත් ඇත්තී නිල්මල් සමූහයකින් උන්වහන්සේ පුදා ඇඳිලි බැඳගෙන සිටියාය. ඕතොමෝ ඒ පින්කම හේතුකොටගෙන දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුන්ගේ කාලයෙහි සැවැත් නුවර ගෘහපති මහාසාල කුලයක උපන්නාය. ඕ පුණ්ණා නම් වූවාය. ඕ උපනිශ්‍රය සම්පත්තියෙන් අනූන බැවින් විසිවසක් ගිහිගෙයි වැස මහාප්‍රජාපතීගෝතමී වෙතින් ධර්‍මය අසා හටගත් ශ්‍රද්ධාව ඇත්තී පැවිදිව මහණදම් පුරන්නී භාවනා කිරීමට පටන් ගත්තාය. එකල ශාස්තෲන් වහන්සේ ගඳකිළියෙහි හුන්නේම ආලෝකයක් විහිදුවා
පුණ්ණෙ පූරස්සු ධම්මෙහි චන්දො පණ්ණරසොරිව,
පරිපුණ්ණාය සඤ්ඤාය තමොක්‍ඛන්‍ධං පදාලය.
පුණ්ණා, පුරපස සඳ මෙන් දහමින් පිරිපුන් වෙව, පිරිපුන් නුවණින් අඳුරුකඳ බිඳලව.
යන ගාථාව ප්‍රකාශ කළහ.
මෙහි පුණ්ණා ආලපන වචනයකි. පුරස්සු ධම්මෙහි- සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගෙන් පරිපූර්‍ණ වන්න. චන්දො පණ්ණරසොරිව - මෙහි රකාරය සන්‍ධ්‍යක්‍ෂරයකි. මාසයෙහි පූර්‍ව පක්‍ෂයෙහි සියලු කලාවන්ගෙන් සම්පූර්‍ණ වූ චන්ද්‍රයා මෙන් පරිපුණ්ණාය පඤ්ඤාය - පිරිපුන් නුවණින්, සොළොස් කිස පිරීමෙන් පිරුණු රහත් මගින් ලැබූ නුවණින්, තමොක්‍ඛන්‍ධං පදාලය- මෝහය ඉතිරි නොකර බිඳ දමන්න, වනසන්න. මොහොකඳ පලාදමනු සමගම සියලු කෙලෙස් බිඳ දැමුවා වෙයි.
ඕතොමෝ ඒ ගාථාව අසා විදසුන් වඩා රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම එකල චන්‍දභාගා ගංඉවුරෙහි කින්නරියක් වී විසුවෙමි. දිනක බබළන, නැවත උපතක් නැති බුදුබව ලබාගෙන සිටි උන්වහන්සේ දිටිමි.
පහන් සිතින් යහපත් මනසින් ඇඳිලි බැඳගෙන මල් මාලයක් ගෙන උන්වහන්සේ පිදුවෙමි.
ඒ යහපත් පින්කමෙන් තිදෙසෙහි දේවගණයා වෙත ගියෙමි.
සතියක් දෙව්රජවරුන්ගේ අගමෙහෙසිය වීමි. සක්විති රජවරුන් දස දෙනෙකුගේ මෙහෙසිය වීමි. මගේ සිත සංවේගයට පැමිණ ගිහිගෙය හැර ගොස් පැවිදිවීමි.
[missing trans]
මෙයින් සිවුනවුතයකට පෙර මම යම් මලක් පිදුවෙම්ද ඒ හේතුවෙන් මම දුගතිය නොහඳුනමි. මේ මල් පිදීමෙහි අනුසස්ය.
මම කෙලෙස් දැවීමි-පෙ-බුදුන්ගේ අවවාද පිළිපැදීමි.
රහත් බවට පැමිණ ඒ තෙරණියෝ එම ගාථාවම ප්‍රීතිවාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළහ.
පුණ්ණා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
තිස්සා ථේරීගාථා වර්ණනාව
තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙ- මෙය මහණදම් පුරණ තිස්සාගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාරය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කරන්නී, එකතු කරගත් පින්බරින් සමන්විතවූවා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත් පුරයෙහි ශාක්‍යරාජ කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ බෝසතුන්ගේ ඇතොවුරෙහි වැස පසුව මහාප්‍රජාපතීගෝතමී සමග නික්ම ගොස් පැවිදිව බවුන් වඩයි. බුදුන්වහන්සේ පෙර කියනලද පරිදි ආලෝකය විහිදුවා මේ ගාථාව වදාළ සේක:
තිස්සො සික්‍ඛස්සු සික්‍ඛාය මා තං යොගා උපච්චගුං,
සබ්බයොගවිසංයුත්තා චර ලොකෙ අනාසවා.