මුත්තා ථේරීගාථා වර්ණනාව
මුත්තෙ මුත්තස්සුයොගෙහි චන්දො රාහුග්ගහා ඉව,
විප්පමුත්තෙන චිත්තෙන අනණං භුඤ්ජ පිණ්ඩකං.
විප්පමුත්තෙන චිත්තෙන අනණං භුඤ්ජ පිණ්ඩකං.
‘මුත්තාවෙනි, චන්ද්‍රයා රාහුගේ ග්රහණයෙන් මිදී යන්නාක් මෙන් ඔබ යෝගයන්ගෙන් මිදෙන්න. මිදුණා වූ සිතින් ණය නැතිව පිණ්ඩපාතය වළඳන්න.’
මෙය මුත්තා නම්වූ, රහත්මගෙහි හික්මෙන භික්ෂුණියක විසින් කියන ලද ගාථාවකි. මෝතොමෝ පෙර බුදුවරුන්ගේ කාලවලදී කරනලද ප්‍රාර්ථනා ඇත්තී ඒ ඒ ආත්මභාවයන්හි දී කුසල් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපද නුවණැතිව එක් දිනෙක ශාස්තෲන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පහන් සිතින් පසඟ පිහිටුවා වැඳ ප්‍රීතිවේගයෙන් බුදුන්ගේ පාමුල යටිකුරුව වැතිර ගත්තීය. ඕ ඒ පින්කමින් දෙව්ලොව ඉපිද කලින්කල දෙව්ලෝවලම හැසිරෙන්නී මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර බමුණුමහසල් කුලයක ජනිත වූවාය. ඇයගේ නම මුත්තා විය. අවශ්‍ය වාසනා ගුණයෙන් සමන්විත වූ ඕ මහාප්‍රජාපතීගෝතමී සමීපයෙහි පැවිදිව ශෛක්ෂ්ය භූමියෙහිදීම කමටහන් ගෙන විදසුන් වඩන්නී දිනක අහරකිස නිමවා ස්ථවිර භික්ෂුණීන්ට කළමනා වත් සපයා දහවල් වෙසෙන තැනට ගොස් හුදෙකලාව විපස්සනා භාවනාවෙහි යෙදුණාය. බුදුන්වහන්සේ ගඳකිළියෙහි හුන්නාහුම ආලෝකයක් විහිදුවා ඇයගේ ඉදිරියෙහි සිටින්නාක් මෙන් පෙන්වා ‘මුත්තාවෙනි, ඔබ යෝගයන්ගෙන් මිදෙන්න’ යන මේ ගාථාව දෙසූ සේක.
එහි මුත්තෙ යනු ඇය ඇමතූ අයුරුය. මුච්චස්සු යොගෙහි මග පිළිවෙළින් කාමාදී චතුර්විධ යෝගයන්ගෙන් මිදෙන්න. එයින් මිදුණු සිත් ඇත්තී වෙහි. කවරෙක් මෙන්ද? චන්දො රාහුග්ගතා ඉව, රාහු නමැති ග්‍රහයාගෙන් සදු ගැළවී යන්නාක් මෙන් කෙලෙස්වලින් මිදෙන්න. විප්පමුත්තෙන චිත්තෙන, ආර්ය මාර්ගයෙන් එය සම්පූර්ණයෙන් නැතිකර මැනවින් නිදහස්වූ සිතින්, මෙසේ විය යන අර්ථය යෙදෙන හෙයින් මෙහි කරණ විබත යෙදී තිබේ. අනණං භුඤ්ජ පිණ්ඩකං, කෙලෙස් නමැති ණය දුරුකර ණයෙන් නිදහස් වී රටවැසියාගේ දානය වළඳන්න. යමෙක් කෙලෙස් දුරු නොකර බුදුන් අනුදත් සිවුපසය වළඳා නම් හෙතෙම ණයකාරයෙක් වී වළඳයි. එහෙයින් බක්කුල ආයුෂ්මත්හු මෙසේ කීහ: ‘ඇවැත්නි, මම සත්දිනක් පමණක් ණය ඇතිව රට වැසියාගේ දානය වැළඳීමි’. එහෙයින් සසුනෙහි පැවිදිවූ තැනැත්තා පස්කම් සැප නමැති ණය ගෙවා ණය නොමැතිව සැදැහැයෙන් දෙන දන වැළැදිය යුතුය. පිණ්ඩකං මෙය දේශනා ශීර්ෂයය. සතර පසය යන තේරුමය. ආර්ය මාර්ගයට පිවිසෙනු පිණිස නිතර අවවාද කරයි. පව්මළ සෝදා හරිමින් බොහෝ සෙයින් ඔවා දෙයි.
ඒ ඒ අවවාදවල පිහිටා ඕතොමෝ නොබෝ කලකින් රහත්බවට පැමිණියාය. එසේ හෙයින් අපදානයෙහි කියන ලදී:
සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කරවන්නා වූ, තාදි ගුණයෙන් සමන්විත වූ ලෙව්වැසි සකල සත්ත්ව වර්ගයාගේ ශ්‍රේෂ්ඨයා වූ විපස්සි බුදුන්වහන්සේ වීථියෙහි වඩිනු දැක, මම ගෙයින් නික්ම ගොස් උන්වහන්සේ ඉදිරිපිට මුහුණ යටිකුරු කරගෙන නිදාගත්තෙමි. අනුකම්පා සහගතවූ ඒ ලෝකනාථයන් වහන්සේ මාගේ කෙසග පාගමින් වැඩි සේක, එයින් මා තුළ හටගත් පැහැදීම හේතුකොටගෙන මම තුසිත බවනයෙහි උපනිමි.
කෙලෙස් දවා... බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.’
ඈ රහත් බවට පැමිණීමෙන් පසු යථෝක්ත උදානය ප්‍රකාශ කළාය. සිකපද පුරා උපසම්පදාව ලබා පසුව පිරිනිවන් පාන කල්හිද මේ ගාථාවම නැවත ප්‍රකාශ කළාය.
මුත්තා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
පුණ්ණා ථේරීගාථා වර්ණනාව
පුණ්ණෙ පූරස්සු ධම්මෙහි යනු පුණ්ණා නම් වූ මහණදම් පුරණ තැනැත්තියකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරනලද අධිකාරය ඇත්තී ඒ හවයන්හි දී පින් රැස්කරන්නී එක්තරා බුද්ධාන්තරයක මෙලෙව්හි චන්දභාගා නම් ගංගාවේ ඉවුරක කිඳුරු යෝනියෙහි ඉපිද එක්දිනක පසේ බුදුනමක් දැක පැහැදුණු සිත් ඇත්තී නිල්මල් සමූහයකින් උන්වහන්සේ පුදා ඇඳිලි බැඳගෙන සිටියාය. ඕතොමෝ ඒ පින්කම හේතුකොටගෙන දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුන්ගේ කාලයෙහි සැවැත් නුවර ගෘහපති මහාසාල කුලයක උපන්නාය. ඕ පුණ්ණා නම් වූවාය. ඕ උපනිශ්‍රය සම්පත්තියෙන් අනූන බැවින් විසිවසක් ගිහිගෙයි වැස මහාප්‍රජාපතීගෝතමී වෙතින් ධර්මය අසා හටගත් ශ්‍රද්ධාව ඇත්තී පැවිදිව මහණදම් පුරන්නී භාවනා කිරීමට පටන් ගත්තාය. එකල ශාස්තෲන් වහන්සේ ගඳකිළියෙහි හුන්නේම ආලෝකයක් විහිදුවා