සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා වර්ණනාව
සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි - මෙය මහලු පැවිද්දකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කර මේ බුද්ධෝත්පාදයෙහි සැවැත්නුවර මහකොසොල් රජුගේ සොහොයුරියක් වී උපන්නාය. ඕ එක්දිනක් බුදුන් පසේනදිකෝසල රජුට ‘මහරජ, මේ සතරදෙන ළදරු යයි නිගරුනොකට යුතුය’ යනුවෙන් දෙසූ ධර්‍මය අසා පැහැදී සරණ සීලයෙහි පිහිටා පැවිදිවනු කැමැත්තී වුවද මිත්තණිය රැකබලා ගන්නෙමැයි ටිකකලක් ගතකොට පසු කලක මිත්තණිය කළුරිය කළායින් පසු රජු සමග මා ඇගි බුමුතුරුණුපාපිසි ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පූජාකොට බුදුන්ගෙන් බණ අසා අනාගාමි ඵලයෙහි පිහිටියා, පැවිද්ද ඉල්වූවාය. බුදුන්වහන්සේ ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැක,
සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි කත්‍වා චොළෙන පාරුතා,
උපසන්තොහි තෙ රාගො සීතිභූතාසි නිබ්බුතා.
මැහැලි වහන්ස, සළුව පෙරවාගෙන සුවසේ නිදන්න. ඔබේ රාගය සන්සිදී ඇත. නිවීමෙන් සිහිල් වූයෙහිය.
මේ ගාථාව දෙසූ සේක.
ගාථාව අවසානයෙහි ඕතොමෝ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ එම ගාථාවම උදාන වශයෙන් ප්‍රකාශ කළාය. මෙයම ඇයගේ දැනීම ප්‍රකාශ කිරීමක් විය. ඕතොමෝ එකෙණෙහිම පැවිදි වූවාය. ගාථාවෙහි සඳහන් වන වුඩ්ඪිකෙ යනු මැහැල්ල යන තේරුමය. වයසින් වැඩිමහලු යන තේරුමය. මෝ වනාහී සීලාදි ගුණයෙන් ද වැඩිමහලුය. තෙරණිය විසින් කියූ සතරවන පාදයෙහි ‘සීතිභූතම්හි නිබ්බුතා’ යනුවෙන් වෙනස් කරගත යුතුය. සෙස්ස පෙර කියනලද පරිදිමය.
මහලු මෙහෙණක වූ සුමනාගේ ගාථා වර්‍ණනාව නිමි.
ධම්මා ථේරීගාථා වර්ණනාව
පිණ්ඩපාතං චරිත්‍වාන යනු ධම්මා තෙරණියගේ ගාථාවය. මොතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කර එකතුකර ගන්නා ලද පුණ්‍යසම්භාරය ඇත්තී, මේ බුදුපතෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිදී නිසි වයසට පැමිණි පසු පතිකුලයට ගියා සසුනෙහි පැහැදී පැවිදිවනු කැමැත්තෙන් සැමියා විසින් අනුනොදත්තී පසු කලක සැමියා මළ පසු පැවිදි වී විදසුන් වඩමින් දිනක් පිඬුපිණිස හැසිර විහාරයට එන්නී, මග වැටිණ. එයම අරමුණු කරගෙන විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බැව්හි පිහිටියාය. ඉක්බිති -
පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ දුබ්බලා,
වෙධමානෙහි ගත්තෙහි තත්‍ථෙව නිපතිං ඡමා,
දිස්වා ආදීනවං කායෙ අථ චිත්තං විමුච්චි මෙ.
පිඬු පිණිස ගොස් සැලෙන ගතින් දඬුකඩක පිහිටෙන් එන්නී බිම වැටිණ. ඉක්බිති සිරුරෙහි ආදීනව දැක මගේ සිත මිදිණ.
උදන් විසින් මේ ගාථාව කීවාය.
එහි පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ යනු සැරයටියක ආධාරයෙන් නගරයෙහි පිඬුපිණිස හැසිර, ඡමං - බිම, දෙපා අවසඟ හෙයින් බිම වැටිණ යන තේරුමය. දිස්වා ආදීනවං කායෙ - අශුභය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය ආදි නන් අයුරින් පැණැසින් සිරුරෙහි දොස් දැක. අථ චිත්තං විමුච්චි මෙ - ආදීනව අනුව බැලීමෙන් හටගන්නා වූ කලකිරීම් හේතුවෙන් කෙලෙස්මළ පහකිරීමෙන් මගේ සිත එයින් මිදී නැවත මාර්ගඵල වශයෙන්, ක්‍රමයෙන් උපුටාදැමීම් වශයෙන් හා යටපත්කිරීම් වශයෙන් හැම ආකාරයකින්ම සිත නිදහස් විය. මිදිණ. දැන් තවත් මුදවා ගැනීමට දෙයක් ඉතිරිවී නැත යන අර්‍ථයයි. මෙයම ඇයගේ අවබෝධය විවරණය කිරීමක් විය.
ධම්මා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
සඞ්ඝා ථේරීගාථා වර්ණනාව
හිත්‍වා ඝරෙ පබ්බජිතා - සංඝා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව ධීරා තෙරණියගේ කථාවට සමානය. ගාථාව වනාහි
හිත්‍වා ඝරෙ පබ්බජිතා හිත්‍වා පුත්තං පසුං පියං,
හිත්‍වා රාගඤ්ච දොසඤ්ච අවිජ්ජඤ්ච විරාජීය,
සමුලං තණ්හං අබ්බුය්හ උපසන්තම්හි නිබ්බුතා.