ධම්මා ථේරීගාථා වර්ණනාව
පිණ්ඩපාතං චරිත්‍වාන යනු ධම්මා තෙරණියගේ ගාථාවය. මොතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කර එකතුකර ගන්නා ලද පුණ්‍යසම්භාරය ඇත්තී, මේ බුදුපතෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිදී නිසි වයසට පැමිණි පසු පතිකුලයට ගියා සසුනෙහි පැහැදී පැවිදිවනු කැමැත්තෙන් සැමියා විසින් අනුනොදත්තී පසු කලක සැමියා මළ පසු පැවිදි වී විදසුන් වඩමින් දිනක් පිඬුපිණිස හැසිර විහාරයට එන්නී, මග වැටිණ. එයම අරමුණු කරගෙන විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බැව්හි පිහිටියාය. ඉක්බිති -
පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ දුබ්බලා,
වෙධමානෙහි ගත්තෙහි තත්‍ථෙව නිපතිං ඡමා,
දිස්වා ආදීනවං කායෙ අථ චිත්තං විමුච්චි මෙ.
පිඬු පිණිස ගොස් සැලෙන ගතින් දඬුකඩක පිහිටෙන් එන්නී බිම වැටිණ. ඉක්බිති සිරුරෙහි ආදීනව දැක මගේ සිත මිදිණ.
උදන් විසින් මේ ගාථාව කීවාය.
එහි පිණ්ඩපාතං චරිත්‍වාන දණ්ඩමොලුබ්හ යනු සැරයටියක ආධාරයෙන් නගරයෙහි පිඬුපිණිස හැසිර, ඡමං - බිම, දෙපා අවසඟ හෙයින් බිම වැටිණ යන තේරුමය. දිස්වා ආදීනවං කායෙ - අශුභය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය ආදි නන් අයුරින් පැණැසින් සිරුරෙහි දොස් දැක. අථ චිත්තං විමුච්චි මෙ - ආදීනව අනුව බැලීමෙන් හටගන්නා වූ කලකිරීම් හේතුවෙන් කෙලෙස්මළ පහකිරීමෙන් මගේ සිත එයින් මිදී නැවත මාර්ගඵල වශයෙන්, ක්‍රමයෙන් උපුටාදැමීම් වශයෙන් හා යටපත්කිරීම් වශයෙන් හැම ආකාරයකින්ම සිත නිදහස් විය. මිදිණ. දැන් තවත් මුදවා ගැනීමට දෙයක් ඉතිරිවී නැත යන අර්‍ථයයි. මෙයම ඇයගේ අවබෝධය විවරණය කිරීමක් විය.
ධම්මා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
සඞ්ඝා ථේරීගාථා වර්ණනාව
හිත්‍වා ඝරෙ පබ්බජිතා - සංඝා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථාව ධීරා තෙරණියගේ කථාවට සමානය. ගාථාව වනාහි
හිත්‍වා ඝරෙ පබ්බජිතා හිත්‍වා පුත්තං පසුං පියං,
හිත්‍වා රාගඤ්ච දොසඤ්ච අවිජ්ජඤ්ච විරාජීය,
සමුලං තණ්හං අබ්බුය්හ උපසන්තම්හි නිබ්බුතා.
ගිහිගෙය, ප්‍රිය වූ සුතනුවන්, සතුන් අතහැර ගොස් පැවිදිවීමි. රාගය ද්වේෂය, අවිද්‍යාව පරදවා තෘෂ්ණාව සහමුලින් සිඳදමා නිවුණෙම් සන්සුන්වීමි.
එහි හිත්‍වා - අතහැර, ඝරෙ - ගෙය, ඝර ශබ්දය එකම නාම පදයකින් යෙදුණද බීජ ශබ්දය මෙන් බහ්වර්‍ධයෙහි ව්‍යවහාර වේ. හිත්‍වා පුත්තං පසුං පියං - මනවඩන දරුවන් මෙන්ම ගෙරිසරක් ආදී සතුන් ද, ඔවුන් පිළිබඳව පවත්නා ආශාව ද අත්හැර, හිත්‍වා රාගඤ්ච දොසඤ්ච - ඇලෙන ස්වභාවය රාගයයි. ද්‍රොහී ස්වභාවය ද්වේෂයයි, මේවා ආර්ය මාර්‍ගයෙන් සිඳදමා, අවිජ්ජඤ්ච විරාජිය - සියලු අකුසල ධර්‍මයන්ට පෙරටුව යන්නා වූ මුළාබව පරදවා, මාර්‍ගයෙන් උගුළුවා දමා යනු මෙහි අර්‍ථයයි. සෙස්ස කියන ලද පරිදිමය.
සඞ්ඝා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
ඒකක නිපාක වර්‍ණනාව මෙතෙකින් සමාප්තය.
2. දුකනිපාතය
අභිරූපනන්‍දා ථේරීගාථා වර්ණනාව
දෙවන නිපාතයෙහි, ආතුරං අසූචිං පූතිං යනුවෙන් පටන්ගන්නා ගාථාව අහිරූපනන්දා භික්‍ෂුණියගේ ගාථාවය. මොතොමෝ විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර ගැහැවිමහසල් කුලයක දියණියක වී සරණසිල්හි පිහිටා බුදුන් පිරිනිවිකල්හි මුතුමැණික්වලින් හෙබවූ රන්සතකින් රත්න චෛත්‍යය පුදා කළුරියකොට දෙව්ලොව ඉපිද ඒ අතරතුර කාලයෙහි දෙව්ලෝවල සැරසරන්නී මේ බුදුපතෙහි කපිලවත් පුරයෙහි ඛෙමක ශාක්‍යාගේ අගමෙහෙසියගේ කුසයෙන් උපන්නාය. ඕ නන්දා නම්වූවාය. අතිශය රූපසම්පත්තියෙන් සමන්විත වූ ඕතොමෝ දැකුම්කලුය, පහන් පෙනුමය, එහෙයින්ම රූපනන්දා යන නමින් වැඩිවශයෙන් පළට වූවාය. ඇය වියපත් කල්හි විවාහවීමට නියමිතව තුබූ දවසෙහි විවාහ ගිවිසගෙන සිටි ශාක්‍ය කුමාරයා කළුරිය කළේය. ඉක්බිති දෙමවුපියෝ නොකැමැති වූ නමුදු ඇය පැවිදිකරවූහ.
පැවිදිවීමෙන් පසුද ඕ රූපමදය ඇත්තී ‘ශාස්තෲන් වහන්සේ රූපයට නිගරු කරති, දොස් කියති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව දක්වති’යි සිතමින් බුද්ධෝපස්ථානයට නොයයි. බුදුහු ඇයගේ මුහුකළ නුවණ දැක මහාප්‍රජාපතිය අමතා ‘ඔවා දෙනු පිණිස සියලුම භික්‍ෂුණීන් එකිනෙක්කෙනා බැගින් එවන ලෙස දැනුම් දුන්හ. ඕ තමාගේ වාරය පැමිණි කල්හි අනෙක් මෙහෙණක් යැවුවාය. බුදුහු ‘තමාගේ වාරය පැමිණි කල්හි අන් කෙනෙකු නොඑවා තමාම පැමිණිය යුතුයයි’ වදාළහ. ඕතොමෝ බුදුන්ගේ අණ ඉක්මවනු නොහැක්කී තවත් භික්‍ෂුණීන් සමග බුදුන්ට උවටැන් කරනු පිණිස එහි ගියාය. බුදුහු එක් අභිරූපවත් ස්ත්‍රී රූපයක් මවා නැවත ඇය ජරාජීර්ණවන අයුරු පෙන්වා සංවේගය උපදවා-