මහාපන්ථක ස්ථවිරගාථා වර්ණනාව
“යදා පඨමමද්දක්ඛිං” යනු ආයුෂ්මත් මහාපන්ථක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහත් ධනවත් කෙළෙඹි පුත්රයෙක්ව ඉපදුනහ. දිනක් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය අසමින් සිටි ඔහු; ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් අරූප ධ්යානයෙන් නැගිට රහත්වූවන්ගෙන් අග්රභාවයෙහි තබනු දැක, එම තනතුරම පතා බුදුපාමොක් මහ සඟනට සතියක් මහ දන් දී “පෙර යම් භික්ෂුවක් අරූපධ්යානයට සමවැදීමේ සමත් භික්ෂූන්ගෙන් අග්රස්ථානයෙහි තැබූ සේක් ද මම ද අනාගතයේ බුදුසසුනකදී එම තනතුරම ලබම්වා”යි ප්රාර්ථනා කළේය. ඔහුගේ බාල සෝයුරා ද එසේම භාග්යවතුන් වහන්සේ කෙරෙහි තැබූ ප්රාර්ථනා අනුව, මනෝමය කාය නිර්මාණයහෙි ද රූපාවචර ධ්යානයන්ට සමවැදීමෙහි ද යන දෙ අංගයෙන් අග්රභාවය ලබම්වායි පැතීය. භාග්යවතුන් වහන්සේ මේ දෙසෝයුරන්ගේ ප්රාර්ථනා ඉටුවනු දැක; “අනාගතයේ දී මීට කල්ප ලක්ෂයකට පසුව ගෞතම බුද්ධ ශාසනයේදී නුඹලාගේ ප්රාර්ථනා ඉටුවන්නේ ය”යි විවරණ දුන් සේක.
දෙසෝයුරෝ දිවි ඇතිතාක් පින්දහම් රැස්කර, ඉන් චුතව දෙව්ලොව උපන්හ. ඉන් මහාපන්ථක ගේ සසර අතරතුරදී කළ යහපත් ක්රියාවක් පිළිබඳව නොකියවේ. කාශ්යප බුදුරදුන්ගේ සසුනේ පැවිදි වූ චුල්ල පන්ථක හිමියෝ වසර විසි දාහක් ඔදාත කසිණ කමටහන වඩා දෙව්ලොව උපන්හ. ඇතැමෙක් “මේ චුල්ල පන්ථක පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී තාපසයෙකුව ඉපිද හිමවතේ වෙසෙමින්, එහි වැඩම වූ තථාගතයන් වහන්සේට මල් සේසතකින් පූජා පැවැත්වීයැ”යි කියති. ඔවුහු දෙදෙන මේ ආකාරයෙන් දෙව් මිනිස් දෙගතියේ සැප විඳිමින් කල්ප ලක්ෂයක් ඉක්මවූහ. එකල අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ, පැවැත් වූ උතුම් දම්සක් දෙසුම් ඇතිව, රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙති.
එසමයේ රජගහ නුවර සිටුතුමාගේ දුවණිය, තම දාසයකු හා යහළුව, ඥාතීන්ට බිය වී අතට හසු වූ දෙය රැගෙන ඔහු සමග පලා ගියාය. පිටිසර ගමක විසූ ඇයට දාව එම දෙදෙනා මෙලොව ඉපදුණි. ඇය පළමු ගැබ මුහුකුරා ගිය කල්හි, “ඥාතීන්ගේ ගෙදරකට ගොස් වඳිමි”යි යන්නී අතරමඟදී ම පුතෙකු වැදුවාය. මාර්ගයේ උපන් බැවින් “පන්ථක” යැයි පුතුට නම් තබා තම සැමියා සමග නැවත හැරී ආවාය. ඒ දරුවා දුවපැන ඇවිදින වියේ දී එම දාසයාටම දාව සිටුදියණි කුස තව දරුවකු පිළිසිඳ ගත්තේය. එම ගැබ මුහුකුරා ගිය විටද පෙර මෙන්ම ඥාතීන් හමුවට වැදීම පිණිස යන්නී අතරමඟදී දරුවා වැදුවාය. ඔහුට “චුල්ලපන්ථක” යැයි ද වැඩිමලාට “මහා පන්ථක” යැයි ද නම් තබා නැවත පෙර විසූ තැනටම ඇය පැමිණියාය. දාසයා සමග ඒ පිටිසරම වසන ඇයගෙන් හැදී වැඩුණු දරු දෙදෙන “අම්මේ, අපගේ ආත්තාමුත්තා ආදීහු අපට පෙන්වන්න”යි අයැදූහ. එවිට ඇය දරු දෙදෙන තම පියා සමීපයට යැවුවාය. එතැන් සිට දරුවෝ රජගහ සිටු සමීපයේ වැඩුණහ. චුල්ලපන්ථක ඉතාම කුඩා වූවෙකි. මහාපන්ථක සීයා සමග භාග්යවතුන් වහන්සේ දැකීමට ගොස්, උන්වහන්සේ දැකීමෙන්ම ලැබූ ශ්රද්ධාව ඇතිව, ධර්ම ශ්රවණය කළේය. පෙර සසර පුරුදුතාවය හා නිවන් දැකීමේ හේතු සම්පත් ඇති බැවින්, පැවිදිවනු කැමති මහාපන්ථක සීයාගෙන් අසා, අවසර ලැබ ශාස්තෲන්වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදි වූ මහාපන්ථක සාමණේරයෝ බොහෝ බුදුවදන් ඉගෙන පිරිපුන් විසිවයස් ඇතිව උපසපන් වූහ. යෝනිසෝ මනසිකාරයෙන් ක්රියා කළ උන්වහන්සේ, විශේෂිත වූ සතර අරූපධ්යානයන් උපදවාගෙන, ඉන් නැගිට විදසුනෙහි සිත පිහිටුවා රහත් වූහ. උන්වහන්සේ මෙසේ අරූපධ්යානයන්ට සම වැදීමෙහි දක්ෂ වූ භික්ෂූන්ගෙන් අග්රව, ධ්යාන හා ඵල සුවයෙන් කල් යවනුයේ, දිනක් තම පිළිාවෙත් මඟ දෙස නැවත හැරී බලා, ලබන ලද සම්පත් නිසා හටගත් සතුටු සිත් ඇතිව සිංහනාද කරමින් මේ ගාථා අට වදාළහ.
“යදා පඨමමද්දක්ඛිං සත්ථාරමකුතො භයං,
තතො මෙ ආහු සංවෙගො පස්සිත්වා පුරිසුත්තමං”
තතො මෙ ආහු සංවෙගො පස්සිත්වා පුරිසුත්තමං”
“සිරිං හත්ථෙහි පාදෙහි යො පනාමෙය්ය ආගතං,
එතාදිසං සො සත්ථාරං ආරාධෙත්වා විරාධයෙ”
එතාදිසං සො සත්ථාරං ආරාධෙත්වා විරාධයෙ”
“තදාහං පුත්ත දාරඤ්ච ධනධඤ්ඤංච ඡඩ්ඩයිං,
කෙසමස්සූනි ඡෙදෙත්වා පබ්බජිං අනගාරියං”
කෙසමස්සූනි ඡෙදෙත්වා පබ්බජිං අනගාරියං”
“සික්ඛා සාජිව සම්පන්නො ඉන්ද්රියෙසු සුසංවුතො,
නමස්ස මානො සම්බුද්ධං විහාසිං අපරාජිතො”
නමස්ස මානො සම්බුද්ධං විහාසිං අපරාජිතො”
“තතොමෙ පණිධී ආසි චෙතසො අභිපත්ථිතො,
න නිසීදෙ මුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ”
න නිසීදෙ මුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ”
“තස්ස මෙවං විහරතො පස්ස විරිය පරක්කමං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”
“පුබ්බෙ නිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං,
අරහා දක්ඛිණෙය්යොම්හි, විප්පමුත්තො නිරූපධී”
අරහා දක්ඛිණෙය්යොම්හි, විප්පමුත්තො නිරූපධී”
“තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති,
සබ්බං තණ්හං විසොසෙත්වා පල්ලංකෙන උපාවිසිං” තී.
සබ්බං තණ්හං විසොසෙත්වා පල්ලංකෙන උපාවිසිං” තී.
මෙහි “යදා” යම් කාලයක, “පඨමං” පළමුව “අද්දක්ඛිං” දුටුවෙම් ද “සත්ථාරං” ශාස්තෲන්වහන්සේ. “අකුතොභයං” භය නැතිව. මෙහි අර්ථ මෙසේය. “සියලු භය හේතු බෝමැඬදීම ප්රහීණ කළ බැවින්, කිසිසේත්ම භය නොවේ. බිය සහමුලින් දුරලූ චතුර්වෛශාරද්ය ව මෙලෝ පරලෝ පරමාර්ථ සාධනයෙහි හික්මවිය හැකි ජනයාට සුදුසු පරිදි අනුශාසනා කරන බැවින් ශාස්තෲ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත, මගේ සීයා සමග ගොස් සවස් වේලෙහි දී ඒ පුරුෂෝත්තම දෙවියන් සහිත ලෝකයේ අග්ර පුද්ගලයා පළමුවාරයේ ම දුටුවෙමි. ඒ දර්ශනයෙන්ම ප්රසන්න වූයෙමි. මෙපමණ කලක් ශාස්තෲන්වහන්සේ දැකීමටවත් දහම් ඇසීමටවත් නොලැබීම පිළිබඳව මට සංවේග ඇතිවී, බියත් සමගම සම්යක් ඥානය පහළ විය. උපන් සංවේග ඇති මට මෙසේ සිතුණි. “සිරිං හත්ථෙහි” යනු එම ගාථාවයි. එහි අර්ථ මෙසේය. – “යම් සැප සම්පත් කැමති පුරුෂයෙක් නැගිට; “නුඹ සමීපයේ වෙසෙන්නෙමි”යි සමීපයට විත් පැමිණ, පිරිස සමඟ සයනයේ හොත් ශ්රියාකාන්තාවට, අතින් පයින් ගසා එළවා දමන, බැහැර කරන අවාසනාවන්ත කාලකණ්ණියෙක් වේද, මෙබඳු වූ සම්මා සම්බුදුවරයකු සතුටු කරමින්, මේ මනුෂ්යාත්මභාවය ලබා ක්ෂණ සම්පත් ලැබූ මොහොතෙහි, ඒ බුදුරදුන්ගේ අවවාද ඉටුනොකරන ඊට එරෙහිවීමත් ඒ හා සමානය. මම එසේ කාලකණ්ණියෙක් නො වෙමි” යන අදහසයි. එනිසා තමා කරන දෙය “තදාහං -පෙ- අනගාරියං” යනුවෙන් දක්වන ලදි. එහි “ඡඩ්ඩයි.” අත්හළෙමි. දුරුකළෙමි. “ඡඩ්ඩියා” යන පාඨය ද සුදුසු ය. මේ තෙරණුවෝ අඹුදරුවන් නොලබා ඉතා කුඩා වියේදී පැවිදිවූයේ නොවේද? කුමක් හෙයින් “පුත්තදාරංච ඡඩ්ඩයිං” යැයි කියන ලද්දේ ද? යම් සේ පුරුෂයෙකු හටනොගත් ගෙඩි ඇති ගසක් සිඳින්නේ ද, එවිට එය නොකපා තැබීමෙන් ලැබෙන ඵලයන්ගේ පිරිහීමක්, නැතිවීමක් සිදුවන්නාක් මෙන් කුඩා කළ පැවිදි වූ බැවින් අඹුදරුවන් ලැබීමට තිබූ අවස්ථාව අත්හළ බව මෙහිදී පවසයි.