9. නවක නිපාතය
භූත ස්ථවිරගාථා වර්ණනාව
නවවන නිපාතයේ “යදා දුක්ඛං” යනාදී ගාථා ආයුෂ්මත් භූත තෙරුන් විසින් දේශනා කරන ලදි. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින් දහම් රැස්කරමින් පැමිණ, සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයේ උපන්හ. ඒ බමුණු කුමරු සේන නාමයෙන් ප්‍රකට විය. නුවණැති බවට පත් සේන බමුණා දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදී “උසභං පවරං” යනාදී ගාථා සතරකින් ස්තූති කළේය.
ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේදී සාකේත නුවර මහධනවත් සිටුවරයකුට දාව ඉපදුණේය. ඒ සිටුවරයා සමඟ බැඳගත් වෛර ඇති එක් යක්ෂයෙක් සිටුවරයාට උපදින සෑම දරුවෙක්ම කෑවේය. නමුත් මේ කුමරු පශ්චිමභවිකයෙකු බැවින් ඔහු උපන් කෙණෙහිම අමනුෂ්‍යයන් විසින් අරක්ගන්නා ලදි. ඒ යක්ෂයාටද මේ කාලයේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාට උපස්ථාන කිරීමට යෑමට සිදුවූ බැවින් නැවත ඒමට නොහැකි විය. කුමරුට නම් තබන දින, “මොහු මෙනමින් හැඳින් වූ කළ අමනුෂ්‍යයෝ මොහු රකිති”යි සලකා “භූත” යන නම තැබූහ. තම පෙර පින් බෙලෙන් භූත කුමරු අනතුරක් නොමැතිව වැඩුණේය. ඔහුට ද ප්‍රාසාද තුනක් තිබුණි. ඒ සියලු සැප සම්පත් විස්තර යසකුල පුතුට මෙන් වී යැයි දත යුතුයි. නුවණැති බවට පත් භූත සිටුකුමරු සාකේත නුවර වෙසෙන කල්හි, උපාසකවරුන් සමඟ විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි විය. අජකරණී නම් නදී තෙර වූ ලෙනෙහි විසූ භූත හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ කෙලෙස් සතුරන් ජය ගත්තා වූ රන්වන් බුදුපියාණන් වහන්සේ දැක කවරෙකු නම් නොපහදී ද?
ප්‍රමාණ කළ නොහැකි හිමවත් පවුව බඳු, තරණය කළ නොහැකි සාගරය බඳු බුදුරජාණන් වහන්සේගේ ධ්‍යානය ද අපමණය. උන්වහන්සේ දැක කවරකු නොපහදී ද?
විසිතුරු වන ආරාම නම් මුදුන් මල් කඩ ඇති මහපොළොව ප්‍රමාණ කළ නොහැකි මෙන් බුදුරජාණන් වහන්සේගේ ශීලය ද ප්‍රමාණ කළ නොහැක. උන්වහන්සේ දැක කවරෙකු නොපහදී ද?
නොකැළඹිය හැකි සයුර යම් සේ ද පමණ කළ නොහැකි අහස යම් සේ ද බුදුරජාණන් වහන්සේගේ ඤාණයද එසේමය. උන්වහන්සේ දැක කවරෙකු නොපහදී ද?”
“මෙම ගාථා සතර පවසමින් සේන බමුණා පස්මරුන් දිනූ සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේට ස්තූති කළේය.
ඒ පින්කමේ විපාක වශයෙන් අනූහතර කල්පයක් පුරා, දුගතියක නූපන් මම කාම සුගතීන්හි බොහෝ සම්පත් වින්දෙමි. බුදුරදුන්ට පැසසීමෙහි විපාක මෙබඳුය.
මීට කල්ප දාහතරකට පෙරදී සත් රුවනින් යුතු මහත් බලසම්පන්න උග්ගත නම් සක්විති රජවරු සිවුදෙනෙක්ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ භූත තෙරණුවෝ පසුව ඥාතීන් කෙරෙහි අනුකම්පාවෙන් සාකේත නුවරට වැඩමවා, ඒ ඥාතීන්ගේ උපස්ථාන ලැබ, අඤ්ජන වනයේ විසූහ. පසුව තමන්වහන්සේ මුලින් සිටි තැනටම යනු කැමති වූහ. නෑයෝ, “ස්වාමීනි, මෙහිම වෙසෙනු මැනවි. එවිට ඔබවහන්සේ ද නොවෙහෙසේ. අපි ද පිනින් වැඩෙන්නෙමු”යි තෙරුන්ට එහි වසන ලෙස ආරාධනා කළහ. තෙරණුවෝ තමාගේ විවේකයේ ඇලුණු සිතත්, නගරයෙහි විසීම අපහසුබවත් ප්‍රකාශ කරමින් මේ ගාථා නවය දෙසූහ.
“යදා දුක්ඛං ජරාමරණන්ති පණ්ඩිතො - අවිද්දසු යත්ථ සිතා පුථුජ්ජනා,
දුක්ඛං පරිඤ්ඤාය සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
දුක්ඛං පරිඤ්ඤාය සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා දුක්ඛස්සාවහනිං විසත්තිකං - පපඤ්චසංඝාට දුක්ඛාධිවාහිනිං,
තණ්හං පහත්වාන සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
තණ්හං පහත්වාන සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා සිවං දෙව චතුරංගගාමිනං - මග්ගුත්තමං සබ්බකිලෙසසොධනං,
පඤ්ඤාය පස්සිත්වා සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
පඤ්ඤාය පස්සිත්වා සතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා අසොකං විරජං අසංඛතං - සන්තං පදං සබ්බකිලෙස සොධනං,
භාවෙති සංයෝජනබන්ධනච්ඡිදං - තතො රති පරමතරං න වින්දති”
භාවෙති සංයෝජනබන්ධනච්ඡිදං - තතො රති පරමතරං න වින්දති”
“යදා නභෙ ගජ්ජති මෙඝදුන්දුභි - ධාරාකුලා විහඟපථෙ සමන්තතො,
භික්ඛූ ච පබ්භාරගතො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
භික්ඛූ ච පබ්භාරගතො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා නදීනං කුසුමාකුලානං - විචිත්තවානෙය්යවටංසකානං,
තීරෙ නිසින්නො සුමණො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
තීරෙ නිසින්නො සුමණො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා නිසීථෙ රහිතම්හි කානනෙ - දෙවෙ ගළන්තම්හි නදන්ති දාඨිනො,
භික්ඛු ච පබ්භාරගතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
භික්ඛු ච පබ්භාරගතොව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා විතක්කෙ උපරුන්ධියත්තනො - නගන්තරෙ නගවිවරං සමස්සිතො,
වීතද්දරො විගතඛිලො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
වීතද්දරො විගතඛිලො’ව ඣායති - තතො රතිං පරමතරං න වින්දති”
“යදා සුඛී මලඛීලසොකනාසනො,
නිරග්ගළො නිබ්බනථො විසල්ලො,
සබ්බාසවෙ ව්යන්තිකතො’ව ඣායති,
තතො රතිං පරමතරං න වින්දති”
නිරග්ගළො නිබ්බනථො විසල්ලො,
සබ්බාසවෙ ව්යන්තිකතො’ව ඣායති,
තතො රතිං පරමතරං න වින්දති”
එහි පදයන්ගේ අර්ථ දැක්වීම මෙසේය. පළමු ගාථාවේ අර්ථ මෙසේය. ස්කන්ධයන්ගේ මුහුකුරායෑම “ජරා” නම් වේ. ස්කන්ධයන්ගේ බිඳී යෑම “මරණ” යයි. මෙහි ජරාමරණ ශීර්ෂයෙන් ජරාමරණයන්ට පත්වීම අදහස් වේ. “ජරාමරණ දෙක දුකකි”යි අඥාන බැවින් තත්ත්වාකාරයෙන් නොදන්නා වූ පුහුදුන් පුද්ගලයා යම් පංචස්කන්ධයක් දැඩිව ගෙන, එහි ඇලී සිටින්නේ ද, “එයම දුකය. උපාදාන පංචස්කන්ධයෙන් බැහැර වෙනත් දුකක් නැත” යනුවෙන් විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දත් මේ සසුනෙහි පැවිදි වූ සිහියෙන් යුතු නුවණැති භික්ෂුව යම් කලෙක ලක්ෂණ සලකා බලමින්, මෙනෙහි කරමින් ධ්‍යාන කරන්නේ ද උන්වහන්සේ; ඒ විදර්ශනා රතියටත් මාර්ගඵල රතියටත් ඉතා වැඩි වූ රතියක් නොලබයි. නොවිඳියි.” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එබැවිනි.