සිරිමිත්ත ස්ථවිරගාථා වර්ණනාව
“අක්කොධනො” ආයුෂ්මත් සිරිමිත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා අනුව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස් කරමින් පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහනුවර මහධනවත් කෙළෙඹියෙකුට දාව උපන්හ. එකුමරු සිරිමිත්ත නමින් ප්‍රකට විය. ඒ කුමරුගේ මව සිරිගුත්ත උපාසකගේ නැගණියයි. සිරිගුත්ත පිළිබඳව ධම්මපද වර්ණනාවේ කියැවේ. ඒ සිරිගුත්තගේ බෑණා වූ සිරිමිත්ත ශාස්තෲන් වහන්සේ ධනපාල ඇතු (නාලාගිරි) දමනය කිරීම දැකීමෙන් උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත යොමු කළ සිරිමිත්ත තෙරණුවෝ නොබෝ දිනකින්ම රහත් වූහ. දිනක් පාමොක් උදෙසන වේලාවෙහි පාමොක් දෙසීමට විසිතුරු විජිනිපතක් රැගෙන ආසනාරූඪ වූ සිරිමිත්ත තෙරණුවෝ භික්‍ෂූන්ට දහම් දෙසූහ. දහම් දෙසමින් ඉතා උසස් ගුණයන් බෙදා දක්වමින්, විස්තර කරමින් මේ ගාථා අට දේශනා කළහ.
“අක්කොධනො අනුපනාහී අමායො රිත්ත පෙසුනො,
සවෙ තාදිසකො භික්‍ඛු එවං පෙච්ච න සොචතී”
“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො,
ගුත්තද්වාරො සදා භික්‍ඛු එවං පෙච්ච න සොචති”
“අක්කොධනො අනුපානා හී අමායො රිත්තපෙසුනො,
කල්‍යාණ සීලො සො භික්‍ඛු එවං පෙච්චන සොචති”
“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො,
කල්‍යාණමිත්තො සො භික්‍ඛු එවං පෙච්ච න සොචති”
“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො,
කල්‍යාණපඤ්ඤො සො භික්‍ඛු එවං පෙච්ච න සොචති”
“යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා,
සීලඤ්ච යස්ස කල්‍යාණං අරියකන්තං පසංසිතං”
“සංඝෙ පසාදො යස්සත්‍ථි උජුභූතඤ්ච දස්සනං,
අදළිද්දොති තං ආහූ අමොඝං තස්ස ජීවිතං”
“තස්මා සද්ධං ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං,
අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනං” තී.
එහි “අක්කොධනො” නොකිපෙන ස්වභාවය ඇති, කෝපවන නිමිත්තක් එළඹි කල්හි එය ඉවසාගෙන, ක්‍රෝධ සිත් නූපදවා සිටින. “අනුපානාහී” අනුන් විසින් කරන ලද අපකාරය, අවැඩ කටයුත්ත නිසා අනුන් කෙරේ වෛර නූපදවා, “අසුවලා මට බැන්නා, අසුවලා මට ගැසුවා යැයි කියමින්” ආදී වශයෙන් ක්‍රෝධ සිත්, වෛර සිත් නූපදවන ස්වභාව ඇතිව. විඩාවීම්, වෙහෙසීම් දෝෂ ලක්‍ෂණයන්ගෙන්, මායාවන්ගෙන් දුරු වූ බැවින් “අමායො” මායා රහිත වූ. “රිත්ත පෙසුතො” කේලාම් කීමෙන් වෙන්වූ. “සවෙතාදිසකෙ භික්ඛු” මෙසේ දැක්වූ ගුණයන්ගෙන් යුතු, මේ ගුණ උපදවාගත් භික්‍ෂුවම තම ඉහත දැක්වූ පිළිවෙත් මඟ යෑමෙන් පරලොව ශෝක නොකරයි. ශෝකාදී නිමිති දුරුකළ බැවින් ඒ භික්‍ෂුවගේ ඇස්, කන් ආදී කායික ඉඳුරන් මනාව සංවර වූයේය. “ගුත්තද්වාරො” වැසූ, පියූ ඉඳුරන් ඇත. “කල්‍යාණසීලො” සුන්දර, ඉතා පිරිසිදු, යහපත්, සිල් ඇත. “කල්‍යාණමිත්තො”, කළණ මිතුරා -
“පියො ච ගරුභාවනීයො වත්තා ච වචනක්ඛමො,
ගමභීර ඤ්ච කථං කත්තා නොචට්ඨානෙ නියොජයෙ” තී.
යනාදී වශයෙන් දැක්වූ ප්‍රිය වූ, ගරු කටයුතු බව ඇති කරන, වතාවත්හි යෙදුණු, පැවසූ දේ ඉවසන, ගැඹුරු කථා ඇතිව සුදුසු කටයුතුවලම අනුන් යොදවන කලණ මිතුරන් ඇත්තෙකි. “කල්‍යාණපඤ්ඤො” සුන්දර ප්‍රඥාවෙන් යුතු. ප්‍රඥාවේ අසුන්දර බවක් නම් නැත. නිවණට මෙහෙයවන යහපත් ප්‍රඥාවට මෙසේ කියන ලදි.
මෙසේ ක්‍රෝධ සිත් මැඬ, මුලිනුපුටා දැමූ, ක්‍රෝධ නොකිරීම මූලික කරගත් පුද්ගලාධිෂ්ඨාන කථාවෙන් යහපත් පිළිවෙත් මඟ දක්වා අනතුරුව, විරාගී සිත ලෞකික ශ්‍රද්ධාවෙන් ගෙන, ලෝකෝත්තර ශ්‍රද්ධාවෙහි පිහිටුවීම සඳහා ම වූ යහපත් පිළිවෙත් මඟ දක්වමින් සයවන ගාථාව වදාරන ලදි. එහි අර්ථ මෙසේය. “යස්ස සද්ධා තථාගතෙ” යම් පුද්ගලයෙකු ගේ සිතේ, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ මෙනෙහි කිරීම් වශයෙන් “ඉතිපි සො භගවා” යන ලෙස සිහිකර, ආර්ය මාර්ගයෙන් උපදවාගත් අචල වූ ශ්‍රද්ධාවෙන් යුතුව, කම්පා නොවී මනාව පිහිටි ශ්‍රද්ධාව ඇති යනුවෙන් “අත්‍ථි” යන පදය යොදා අර්ථ ගත යුතුයි. “අරියකන්තං” ආර්යයන්ගේ කාන්ත වූ ප්‍රිය වූ, භවන්තරයෙහි ද අත්නොහරින්නා වූ “පසංසිතං” බුද්ධාදීන් විසින් පසසන ලද, වර්ණනා කරන ලද, ස්තූති කරන ලද යන අර්ථයයි. “සීලං” මෙම ශීලයේ කොටස් දෙකකි. ගෘහස්ථ ශීලය හා පැවිදි ශීලය යනුවෙනි. එහි ගෘහස්ථ ශීලය නම් ගිහියන්ට රැකිය හැකි පංචශීලයයි. දශශික්‍ෂාවන්හි සිට චතුපාරිශුද්ධි ශීලය දක්වා ඇති ශීලය පැවිද්දන්ගේ ශීලයයි. මේ ශික්‍ෂාවන් නොකඩවා නොසිඳී කිලිටි නොවූ බැවින් “කල්‍යාණ” යැයි දත යුතුයි.
“සංඝෙ පසාදො යස්සත්‍ථි”, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපිළිපන්නයහ” ආදී වශයෙන් ආර්ය සංඝයා විෂයෙහි පැහැදීමක්, ශ්‍රද්ධාවක් යමෙකුට ඇත්ද ඒ ශ්‍රද්ධාව අචලව මනාව පිහිටියේ ද යනුවෙන් අර්ථ ගත යුතුයි. “උජුභූතඤ්ච දස්සනං” දෘෂ්ටියෙන් හා කෙලෙස්වලින් වංකභාවයෙන් දුරු වූ බැවින් සෘජු වූ. සෘජු වූ කර්මයෙන් කරන ලද දර්ශනය හා ප්‍රත්‍ය සහිත නාමරූපයන්ගේ දර්ශනය යනුවෙන් දෙයාකාර වූ දර්ශනය යමකු තුළ ස්ථිරව මනාව පිහිටියේ ද යන අර්ථයයි. “අදළිද්දොති නං ආහු” ශ්‍රද්ධා ධනය, සීල ධනය, සුත ධනය, චාග ධනය, ප්‍රඥා ධනය යන ඉතා පිරිසිදු ධනයන්ගෙන් යුතු බැවින්; එබඳු පුද්ගලයා “දිළිඳු නොවූවෙකි” යි බුද්ධාදී ආර්යයෝ පැවසූහ. ඔහුගේ ජීවිතය හිස් නොවූවකි. “අමොඝං තස්ස ජීවිතං” මෙලොවදීම අර්ථය, යහපත ලබන බැවින් ඔහුගේ ජීවිතය සාර්ථක වූවකි. වඳ නොවූවකි. සඵල වූවකි.
“තස්මා” ඉහත දැක්වූ පරිදි ශ්‍රද්ධාදී ගුණමහිම සහිත පුද්ගලයා දිළිඳු නොවූ, නොසිස් ජීවිතයක් ඇත්තෙක් වන හෙයින් මම ද එබඳුම කෙනෙක් වන්නෙමි. “සද්ධං -පෙ- සාසනං” “සියලු පව් නොකළ යුතුයි” ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පැවැත්වූ අනුශාසනාව සිහිකරන කුල පුත්‍රයා, ඉහත දැක්වූ ශ්‍රද්ධා, ශීල, ප්‍රභේදව ඇති, දහම් දකිමින්, ධර්මයෙහි මනාව යෙදීමෙන් විමෝක්‍ෂය ද ප්‍රසාදය ද ලැබීමෙහි උත්සාහවත් වන්න. දහම් මඟ ගමන් කරන්න.