මහාකච්චායන ස්ථවිරගාථා වර්ණනාව
අටවන නිපාතයේ “කම්මං බහුකං” යන ගාථාවන් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් විසින් දේශනා කරන ලදි. උන්වහන්සේ ද පෙර බුදුවරුන් කෙරෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ගහපති මහාසාර කුලයක ඉපදුනහ. තුරුණුවියට පත් එකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ හමුවේ ධර්ම ශ්‍රවණය කරමින් සිටියේය. එහිදී ශාස්තෲන් වහන්සේ සංක්‍ෂිප්තව දෙසූ දහම් කරුණු ඉතා විස්තර වශයෙන් දේශනා කිරීමේ දක්‍ෂ භික්‍ෂූන් අතුරින් අග තනතුරට එක් භික්‍ෂූන් වහන්සේ කෙනෙකු පත් කරනු දුටු ගහපති කුමරු; එම තනතුරම පතාගෙන නොයෙක් පින්දහම් කළේය. එපින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියෙහි උපන් හෙතෙම සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී විද්‍යාධරයෙක්ව ඉපිද අහසින් යන කල්හි; ශෘස්තෲන් වහන්සේ හිමවත එක් පර්වතයක වූ වන ලැහැබක වැඩහුන් අයුරු දැක, පහන්සිත් උපදවා කිණිහිරි මලින් පූජා කළේය.
ඒ පින්කම්වල විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඉපිද, පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ රන්සෑය කරන තැනට ගොස් ලක්‍ෂයක් වටිනා රන් ගඩොලින් පූජා පවත්වා, “මම මතු උපනුපන් ආත්මභවයන්හිදී මගේ සිරුර රන්වන් වේවා”යි ප්‍රාර්ථනා කළේය.
පසුව තවත් පින් දහම් සිදුකළ ඔහු ඉන් චුතව එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ඉපිද සැප විඳ, අපගේ බුදුරදුන් ලොව පහළ වූ සමයේදී උදේනියේ රජ වූ චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත බමුණාගේ පුතුව උපන්නේ ය. ඔහුට නම් තබන දින ඔහුගේ මව, “මගේ පුතා රන්වන්ය. තමාගේ නම රැගෙනම මෙහි ආවේය”යි පවසා කාඤ්චන මානවක යැයි නම් තැබුවාය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු ත්‍රිවේද පාරගතව පියාගෙන් පසුව පුරෝහිත තනතුරද දැරීය. හෙතෙම ගෝත්‍ර නාම වශයෙන් කච්චායන යැයි ප්‍රකට විය. “බුද්ධ” රත්නයේ පහළවීම ඇසූ ඒ චණ්ඩපජ්ජෝත රජු, “ගුරුතුමනි, නුඹ එහි ගොස් ඒ ශාස්තෲන් වහන්සේ මගේ රාජ්‍යයට වඩමවා ගෙන එන්නයි” පුරෝහිත බමුණා යැවීය. ඒ පුරෝහිත බමුණා තවත් සත් දෙනෙකු සමග ශාස්තෲන් වහන්සේ වෙත ගියේය. ශාස්තෲන් වහන්සේගෙන් දහම් ඇසූ ඒ කච්චායන බමුණා ප්‍රධාන දූත පිරිසම (අටදෙනම) සිවුපිළිසිඹියාපත් මහරහත් භාවයෙහි පිහිටියහ. අපදාන පාළියේදී කච්චායන තෙරණුවෝ මෙසේ වදාළහ.
“දෙතිස් මහපුරිස් ලකුණින් බබළන සර්වඥ වූ පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ විවේක සැප කැමතිව හිමවතට වැඩම කළහ. එහි වැඩි පුරුෂෝත්තම මහා කාරුණිකයාණෝ පලක් බැඳ වැඩ සිටියහ. එකල මම අහසින් යන විද්‍යාධරයෙක් වූයෙමි. මනාව සෑදූ ත්‍රිශූලායුධයක් ගෙන අහසින් ගිය මම කඳු මුදුනේ ගින්නක් මෙන් ද පුන්පෝදා සඳු මෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බබළන බුදුරදුන් දුටුවෙමි. වත අගින් නික්ම බුදුරැස් පැතිරේ. නල (බට) වනයේ ගින්නක් මෙන් බබළන බුදුන් වෙත සිත් පැහැදවීමි. ඒ මේ අත බලා, දිව සුවඳ හමන කිණිහිරි මල් තුනක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි. ඒ බුද්ධානුභාවයේ මා පිදූ මල් නැටි උඩුකුරුව හා පෙති යටිකුරුව පිහිටා බුදුන්ට සෙවන දුනි. මැනවින් කළ මේ උතුම් පින්කම හා චිත්ත ප්‍රාර්ථනා අනුව මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසාවේ උපන්නෙමි. එසේ මනාව කළ පින්කමෙන් පහළ වූ මාගේ විමන “කණිකාරී” නම් විය. එහි උප යොදුන් සැටකි. පළල යොදුන් තිහකි. දහසක් භාග ඇත. ගෝලාකාර ගෙමුන් සීයකි. (කණිකාරපුප්ඵිය ථෙරාපදානයේ මෙම කොටස දැක්වේ. අපදාන පාළි II භාගය - පි. 238)
[මේ කොටස පාලිය සමඟ නො සැසඳේ]
“මා විසින් සංක්‍ෂිප්ත කර දෙසූ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන මේ කච්චායන තෙරුන් මම ද සිවු පිස ද සතුටු කරයි.
මෙබඳු අන් කිසි ශ්‍රාවකයකු මම නොදකිමි. මහණෙනි! එනිසා මෙතෙම සවිස්තරව දහම් දෙසන්නවුන්ගෙන් අග්‍ර වේ. එය මෙසේ දරවු”යි බුදුපියාණන් වහන්සේ පැවසූහ.
එම බුදුවදන් ඇසූ මම හිමවතට ගොස් මල් රැසක් ගෙනවුත්, ලොවට පිහිට වූ බුදුරදුන්ට පුදා එම තනතුර පැතුවෙමි. කෙලෙසුන් දුරු කළ ඒ පදුමුත්තර බුදුහු මා අදහස් දැන මෙසේ වදාළහ.”
“පිරිසිදු කළ රන් බඳු පැහැයෙන් යුතු, අග් උඩුකුරුව ගිය ලොම් ඇති, පිරුණු මසින් යුතු උරහිස් ඇති, නිශ්චලව බැදැදිලිව සිටියා වු සතුටු කඳුළින් පිරී ගිය ඇස් ඇති, බුදු ගුණ වැනුමෙහි පෙළඹුණු සිත් ඇති අමාවෙන් ඉසින ලද්දාක් බඳු මූර්තිමත් ධර්මය වැනි උතුම් සිරුරක් ඇති මේ සෘෂිවරයා බලවු.
මෙතෙම කච්චානයන්ගේ ගුණ අසා ඒ තනතුර පතමින් සිටියේය. ගෞතම මහාමුනීන්‍ද්‍රයන් වහන්සේගේ අනාගත සසුන පවත්නා සමයේදී උන්වහන්සේගේ ධර්මයට දායාද වූ, ධර්මයෙන් මවන ලද්දාක් වැනි ඖරස පුත්‍ර වූ කච්චාන නම් බුද්ධශ්‍රාවක වන මෙතෙම එසමයේදී බහුශ්‍රැතව, මහානුවණැතිව බුදුරදුන්ගේ අදහස් දන්නෙක්ව ඒ උතුම් තනතුර ලබන්නේ ය.”
“මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් කර්මයක් කළෙම් ද එහි විපාක විඳිමින් දුගතියකට නොපැමිණියෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය. [missing trans] ක්‍ෂත්‍රිය හා බ්‍රාහ්මණ කුලයන්හි පමණක් ඉපදුනෙමි. නීච කුලයේ නූපදිමි.