සෝපාක ස්ථවිරගාථා වර්ණනාව
“දිස්වා පාසාදඡායාය” යනාදී ගාථා ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරගෙන පැමිණියහ. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ බමුණු කුලයේ ඉපිද වැඩිවිය පැමිණි ඔහු; බ්‍රාහ්මණ විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගියේය. කාමයන්හි ආදීනව දුටු හෙතෙම, ගිහිගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදිව එක් පර්වතයක විසීය. සමීප වූ මරණ කාලය ඇති ඒ තවුසා දුටු බුදුපියාණන් වහන්සේ එතැනට වැඩම වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් උපදවාගෙන මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට පත් තවුස්තුමා, උන්වහන්සේට මල් අසුනක් පනවා පූජා කළේය. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දහම් කථාවක් ප වත්වා, තවුසා බලා සිටියදීම අහසින් වැඩම කළ සේක. හෙතෙම පෙර දැඩිව ගත් දෘෂ්ටිය බැහැර ලා අනිත්‍ය සංඥාව සිතේ තබාගෙන ම කළුරිය කොට දෙව්ලොව උපන්නේ ය. නැවත සසර ඒ ඒ භවයන්හිදී දෙව් මිනිස් දෙගතියෙහිම සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර සොහොන් පාලක පවුලක උපන්නේ ය. ජාති (උපන් ගෝත්‍ර) වශයෙන් ම “සෝපාක” නමින් ප්‍රකට විය. ඇතැමෙක් වෙළෙඳ කුලයේ උපන් බවත් සෝපාක යනු නාම මාත්‍රයක් බවත් පවසති. ඒ මතය අපදාන පාළියට විරුද්ධය. “පච්ඡිංමෙ ච භවෙ සම්පත්තෙ සොපාකං සොපාකං යොනුපාගමිං” යන අපදාන පාළි ප්‍රකාශයට අනුව “අවසන් භවයේදී “සපාක” නම් සැඬොල් කුලයේ උපන්නෙමි” යැයි දැක්වේ.
සෝපාක ඉපදී සිවු මසකින් ඔහුගේ පියා කළුරිය කළේය. සුළු පියා විසින් ඔහු පෝෂණය කෙරුණි. අනුක්‍රමයෙන් සත්වියට පත් සෝපාක, තම පුතු සමඟ කලහ කරනු දුටු සුළු පියා, ඊට කිපී සෝපාක සොහොනට ඇදගෙන ගියේය. අත්දෙක ලණුවකින් එකට තබා බැඳ, එම ලණුව ම මළ සිරුරක තද කොට තබා බැඳ “මොහු සිවල් ආදීන් විසින් කනු ලැබේවා”යි සෝපාක සොහොනේ දමා ගියේය. අවසන් භවය බැවින් සෝපාකගේ පින් බලයෙන් ඔහු මරා දැමීමට නොහැක. සිවල් ආදීන්ට ද ඒ දරුවා මැඬලිය නොහැක. දරුවා රෑ මැදියමේ මෙසේ වැලපෙයි.
“කාහි මෙ අගති අස්ස කොවා බන්‍ධු අබන්‍ධුනො,
සුසානමජ්ඣෙ බද්ධස්ස කො මෙ අභයදායකො” තී.
ශාස්තෲන් වහන්සේ එම වේලාවෙහි පිහිට විය යුතු අසරණයන් සොයන සේක්; “මගේ නොමඟ යෑම, වරද කුමක් ද? මගේ නෑයෝ නොනෑයෝ කවුද? සොහොන මැද බැඳ සිටින මා ගලවාගන්නේ කවුද?” යන හඬ අසා; සෝපාකගේ හදවත තුල බබළන රහත්වීමට නිසි හේතු සම්පත් දුටු සේක. එකල්හි ආලෝකයක් පැතිර වූ බුදුපියාණෝ ඔහුට සිහිය උපදමින් මෙසේ වදාළහ.
“එහි සොපාක, මා භායි, ඔලොකස්සු තථාගතං,
අහං තං තාරයිස්සාමි රාහුමුඛෙව චන්‍දිමං” තී.
“එන්න, සෝපාක! බිය නොවන්න. තථාගතයන් දෙස බලන්න. රාහුට අසු වූ සඳු මෙන් මම නුඹ ද ගලවාගන්නෙමි”යි වදාළ ගාථාව අවසන ඔහුගේ සියළු බැඳුම් බුද්ධානුභාවයෙන් සිඳී ගියේය. සෝවාන් ඵලයෙහි සිත පිහිටියේය. සෝපාක ගන්‍ධකුටිය අභිමුව නිරුපද්‍රිතව සිටියේය. සෝපාකගේ මව තම දරුවා නොදැක, ඒ පිළිබඳව සුළු පියාගෙන් විමසූවත් කිසිවක් නොකී බැවින්, ඒ ඒ තැන දරුවා සොයමින් දිවයන්නී; “බුදුවරු නම් අතීත, අනාගත හා වර්තමාන යන තුන් කල්ම දන්නෝය. මම උන්වහන්සේ වෙත පැමිණ මගේ පුතුගේ තොරතුරු දැනගන්නෙම් නම් යෙහෙකි”යි සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට ගියාය. ශාස්තෲන් වහන්සේ සෘද්ධියෙන් සෝපාක නොපෙනෙන සේ ඉටු සේක. මව පැමිණ “ස්වාමීනි, මගේ පුතා පෙනෙන්න නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔහු පිළිබඳව දන්නේ නම් මැනවි”යි විමසන ලද්දීය. බුදුපියාණන් වහන්සේ ඇයට මේ ගාථාවෙන් දහම් දෙසූ සේක.
“න සන්ති පුත්තා තාණාය න පිතා න පි බන්‍ධවා,
අන්තකෙනාධිපන්නස්ස නත්‍ථි ඤාතිසු තාණතා”
“දරුවෝ අපේ පිහිටට නොසිටිති. පියා, නෑයෝ අපට පිහිට නොවෙති. මරු වසඟයට පත්වන්නහුට ඤාතිමිත්‍රාදීන්ගෙන් කිසි පිහිටක් නොලැබේ.”
මේ දහම් ඇසූ මව සෝවාන් වූවාය. සෝපාක රහත් විය. අපදාන පාළියේදී සෝපාක තෙරණුවෝ මෙසේ වදාළහ.
“වනයක වූ උතුම් පර්වතයක ගුහාවක් පිරිසිදු කරමින් සිටි මාවෙත සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.
තාදී ගුණ ඇති, ලෝකයාට ජ්‍යෙෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා මල් අසුනක් සාදා පූජා කළෙමි.
ඒ බුදු පියාණන් වහන්සේ මල් අසුනෙහි වැඩහුන් සේක. මාගේ අනාගත භව උපත දුටු උන්වහන්සේ අනිත්‍ය පිළිබඳ දහම් දෙසුමක් පැවැත්වූ සේක.”
“ඒකාන්තයෙන් සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙති. හේතු ප්‍රත්‍ය සමවායෙන් (එක්වී) හටගත් සෑම සංඛත වස්තුවක්ම ඉපදීම හා විනාශය ස්වභාව කරගෙන ඇත. ඉපදුණු සියල්ල නැති වේ. මේ සංස්කාර ධර්මයන්ගේ සන්සිඳීම සැපයකි.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාරා අහසෙහි යන හංසරාජයකු මෙන් අහසින් වැඩම කළ සේක.
මම එතෙක් පැවති ආත්ම සංකල්පනාව බැහැර ලා අනිත්‍ය සංඥාව වැඩුවෙමි. දිනක් භාවනා කළ මම ඒ අත්බවින් මිදී, කුශල මූලයෙන් පිහිට ලැබ දෙව්ලොව උපන්නෙමි. දෙව් මිනිස් සැප විඳි මම අවසන් භවයේදී; තමා විසින් පිසූ බත අනුන් අනුභව නොකරන බැවින් “සපාක” (ස්වපාක) නම් වූ සැඬොල් කුලයේ උපන්නෙමි.