සරභඞ්ග ස්ථවිරගාථා වර්ණනාව
“සරෙ හත්‍ථෙහි” යනු ආයුෂ්මත් සරභංග තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් පැමිණියහ. මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර එක්තරා බමුණු පවුලක උපන් හෙතෙම කුලවංසයෙන් පැමිණ නාම වශයෙන් “අභිලක්ඛිත” නම් විය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු, කාමුක සම්පත් හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී තමන්ම සරබට බිඳගෙන වුත් පන්සලක් සාදාගෙන වාසය කළේය. එනිසා ඔහුගේ නම “සරභංග” (සර නම් බට වර්ගය බිඳි හෙයින්) නම් විය. ඔහු තුළ පැවති රහත් වීමට හේතු වාසනා බුදු ඇසින් දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා ඔහුට දහම් දෙසූ සේක. ලැබූ ශ්‍රද්ධාව ඇති හෙතෙම ධර්ම ශ්‍රවණයෙන් පසු සසුනේ පැවිදි විය. විදසුන් කමටහන් වැඩූ ඒ සරභංග තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. උන්වහන්සේ මුලින් තමන් සිටි පන්සලේම වාසය කළහ. උන්වහන්සේ තාපසව සිටි කාලයේ කරන ලද පන්සල පසුව ජරාජීර්ණව ගියේය. ඒ දුටු මිනිස්සු “ස්වාමීනි! කිම මේ කුටිය පිළිසකර කර නොගන්නේ මන්ද?”යි ඇසූ තෙරුන් වහන්සේ “තාපස කාලයේ කරන ලද මේ කුටිය, පිළිසකර කර ගැනීමට දැන් නොහැක”යි පවසමින් මේ ගාථා දෙක වදාළහ.
“සරෙ හත්‍ථෙහි භඤ්ජිත්‍වා කත්‍වාන කුටිමච්ඡිසං,
තෙන මෙ සරභංගොති නාමං සම්මුතියා අහූ”
“න මය්හං කප්පතෙ අජ්ජ සරෙ හත්‍ථෙහි භඤ්ජිතුං,
සික්ඛාපදා නො පඤ්ඤත්තා ගොතමෙන යසස්සිනා”
එහි “සරෙ හත්‍ථෙහි භඤ්ජිත්‍වා” පෙර තාපසය සිටි කාලයේ දී ඊතණ, සර නම් බට මගේ අතින්ම කඩා ගෙනවුත් තණ කුටියක් සාදා එහි විසුවෙමි. වාසය කළෙමි. එසේම එහි හුන්නෙමි. හොත්තෙමි. (පරිහරණය කළෙමි) “තෙන” ඒ කුටිය කිරීමට ඊතණ බිඳීමෙන්. “සම්මුතියා” එනිසා මට අන්වර්ථ සරභංග යන නාමය විය.
“න මය්හං කප්පතෙ අජ්ජ” දැන් උපසපන් වූ මට ඊතණ, සර බට අතින් සිඳීම නොවටී. අකැපය. කුමක් හෙයින් ද? “සික්ඛා පදා නො පඤ්ඤත්තා ගොතමෙන යසස්සිනා” අපගේ ශාස්තෲන්වහන්සේ විසින් යම් ශික්‍ෂාපදයක් පනවන ලද්දේද, එය මගේ ජීවිතය නැතිවූවත් නොසිඳිමි. නොකඩමි” යන අර්ථයයි.
මෙසේ එක් ආකාරයකින් තණ කුටිය පිළිසකර නොකිරීමේ හේතුව දක්වා, දැන් වෙනත් ආකාරයකින් ද ඒ කාරණය දක්වයි. ඒ සඳහා තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“සකලං සමත්තං රොගං සරභංගො නාද්දසං පුබ්බෙ,
සොයං රොගො දිට්ඨො වචන කරෙනාති දෙවස්සා” තී.
එහි “සකලං” යනු සියලු. “සමත්තං” සම්පූර්ණ වූ, නිරවශේෂව, ඉතිරි නොවී පවතින සේඛභාවය නිසා සම්පූර්ණ වූ “රොගං” දුක්සහගත, දුක් පීඩා සහිත ආදී වශයෙන් වේදනා විඳීම් අර්ථයෙන් රෝගී වූ. උපාදාන ස්කන්ධ පස සඳහා මෙය කියන ලදි. “නාද්දසං පුබ්බෙ” ශාස්තෲන් වහන්සේ අවවාද ලැබීමට පෙර දී නොදුටුවෙමි. “සොයං රොගො දිට්ඨො වචන කරෙනාති දෙවස්ස” සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව යන සියලුම දෙවියන් තම සීලාදී ගුණමහිමයෙන් ඉක්මවා සිටි බැවින් දේවාතිදේව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබ, ඒ අනුව හැසිරීමෙන්, සරභංගයෙන්, ඒ මම පඤ්චස්කන්ධ නම් වූ රෝගය විදසුන් ප්‍රඥාවෙන් යුක්ත වූ මාර්ග ප්‍රඥාවෙන් ස්කන්ධ පහක් වශයෙන් බෙදා දුටුවෙමි. අවබෝධ කරගත්තෙමි යන අර්ථයයි. මේ ප්‍රකාශයෙන් මෙසේ තම ශරීරය නම් වූ කුටිය කෙරෙහි පවා අපේක්‍ෂාවක් රහිත වූ මම බාහිර වූ තණ කුටිය කෙසේ නම් පිළිසකර කරන්නේදැ”යි දක්වයි.
දැන් යම් මාර්ගයක් පිළිපැදීමෙන් මම මේ ශරීරය නම් ආත්මභාවරෝගය තත්ත්වාකාරයෙන් දුටුවෙමි ද ඒ උතුම් මාර්ගය සියලු බුදුවරු විසින්ම දේශනා කරන ලදි. කුමක් හෙයින් ද? ඒ උතුම් බුදුවරුන්ගේ අවවාදය ද මැදින් බිඳුණු රන් කැබැල්ලක් මෙන් සර්වප්‍රකාරයෙන් පිරිසිදුය. ඒ උතුම් අවවාදයෙහි පිහිටියා වූ මම දුක ක්‍ෂය කරගැනීමට පැමිණියෙමි. මෙසේ තමන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරමින් සරභංග මේ ගාථාවෙන් වදාළහ.
“යෙනෙව මග්ගෙන ගතො විපස්සී, යෙනෙව මග්ගෙන සිඛීච වෙස්සභූ,
කකුසන්‍ධ කොනාගමනො ච කස්සපො, තෙනංජසෙන අගමාසි ගොතමො”
“වීතතණ්හා අනාදානා - සත්තබුද්ධා ඛයොගධා,
යෙහං දෙසිතො ධම්මො ධම්මභූතෙහි තාදිහි”