භද්‍ර ස්ථවිරගාථා වර්ණනාව
“එකපුත්තො” යනු ආයුෂ්මත් භද්ද තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු සංඝයාට ලක්ෂ ගණනින් සිවුරු ආදි සිවුපසයෙන් පූජා කළහ. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සිටු පවුලක උපන්නේය. ඔහු ඉපදීමට ප්‍රථම ඔහුගේ දෙමාපියෝ දරුවන් නොමැතිව දුකින් සිට, දෙවියන් යැදීමෙන් ද දරුඵල නොලැබ, ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! ඉදින් අපි එක පුතෙකු ලබන්නෙමු නම්, ඔහු ඔබ වහන්සේට දාසයකු කර දෙන්නෙමු”යි පැවසූහ. මෙසේ ආයාචනා කර ඔවුහු ගිය කල්හි ශාස්තෲන් වහන්සේගේ අදහස දත් සක්දෙව් රජු; එක්තරා ගෙවී ගිය ආයු ඇති දෙවියකු කැඳවා “අසුවල් පවුලෙහි පිළිසිඳ ගන්න”යි අණකළ බැවින් ඒ සිටුදේවියට දාව උපන්නේය. ඒ කුමරුට (භද්‍ර) “භද්ද” යන නම තැබීය. භද්ද කුමරු ඉපිද සත් වසක් ගෙවුණු පස්, ඔහුගේ දෙමාපියෝ අත්‍යලංකාරයෙන් කුමරු සරසා භාග්‍යවතුන් වහන්සේ වෙත රැගෙනවුත්, “ස්වාමීනි! මේ දරුවා ඔබවහන්සේට ආයාචනා කිරීමෙන් ලැබූ දරුවෙකි. මොහු ඔබ වහන්සේට පවරා දෙන්නෙමු”යි පැවසූහ. ශාස්තෲන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවා “මේ දරුවා පැවිදි කරන්න”යි අණ කළ සේක්, ගඳකිළියට පිවිසියහ. ආනන්ද තෙරණුවෝ පැවිදි කොට, සංක්ෂිප්තව විදසුන් භාවනා කමටහන දුන්හ. භද්ද තෙරණුවෝ උපනිශ්‍රය සම්පත් ඇති බැවින් විදසුන් කමටහන වඩා ඉර බැස යෑමට පෙරදීම භාවනාව උත්සාහවත් කර ෂඩ් අභිඥා උපදවා ගත්හ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.
සියල්ලෝ නිරුත්තර වූ පුණ්‍ය ක්ෂේත්රයෙහි ශාස්තෲන් වහන්සේට හා භික්ෂු මහා සංඝයාට වස්ත්‍ර ද සෙනසුන් ද ආහාර පාන ද පිළිගැන්වූහ.
“මම ද බුදුරජාණන් වහන්සේ හා අනුත්තර ව සංඝයාද ආරාධනා කොට, දෙවියන්ට දෙවි වූ තාදී ගුණැති බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්නෙමි”යි පැවසූ විට මගේ අණ පිළිගත් පුරුෂයෝ තථාගතයන් ප්රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කළහ.”
“කොඳු පලස් අතුරන ලද, පුළුන් ඇතිරිලි හා ඝන පුප් එළු ලොම් ඇතිරි අතුරණ ලද, කොමු ඇතිරි හා කපු ඇතිරි සහිත වූ රන්මය පාද ඇති මාහැඟි අසුනක් බුදුරදුන්ට පැනවූයෙමි.
දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ ව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මගේ ගෙදරට වැඩම කළ සේක.
ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙර ගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටුව තම ගෙදරට වැඩමවාගෙන ආවෙමි.
පහන් සිතින් බුද්ධ ප්රමුඛ ලක්ෂයක් පමණ වූ මහසඟනට කිරිබත් පූජා කළෙමි.
පූජාවන් පිළිගන්නා වූ, පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ හිඳ මෙසේ වදාළ සේක.
“යමකු විසින් මේ කොඳු පළස් ඇතිරූ රන්මය ආසනය දෙන ලද ද ඔහුගේ අනාගතය පිළිබඳව මම පවසමි. ඒ මාගේ වදන් අසවු.
මෙතෙම මින් මතුව සැත්තෑ සතර වරක් දෙව් රජව උපන්නේය. දෙවඟනන් පිරිවරා දෙව්සැප විඳින්නේය.
දහස් වරක් පෘථිවි රාජ්‍ය කරන්නේය. පනස් එක් වරක් සක්විති රජව උපදින්නේය.
සියලු භව යෝනීන්හි උසස් කුලිකව උපදින්නේය. කුශල මූලයෙන් මෙහෙයවන ලද මොහු භද්දිය නමින් පැවිදිව කෙලෙසුන් නසන්නේය.”
“මම දැන් විවේකයේ ඇලී සිටිමි. අරණ්‍යයෙහි දුර සෙනසුන්වල හැසිරෙමි. මවිසින් සියලු ශ්‍රමණ ඵල ලබන ලදි. අද මම දුරුකළ කෙලෙස් ඇත්තෙමි.
ලෝකනායක වූ සර්වඥයන් වහන්සේ මා පිළිබඳ සියල්ල දැන භික්ෂු සංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
මම සිවුපිළිසිඹියාපත් වූයෙමි. අෂ්ඨ විමෝක්ෂයෝ ලැබුවෙමි. ෂඩ් අභිඥා සාක්ෂාත් කරගත්තෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
භාග්‍යවතුන් වහන්සේ භද්ද තෙරුන් ෂඩ් අභිඥාලාභී බව දැන “භද්ද, එන්න”යි වදාළ සේක. භද්ද හිමියෝ එකෙණෙහිම ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැද ඇඳිලි බැඳගෙන ශාස්තෲන් වහන්සේ සමීපයේ සිටියහ. එයම භද්ද සාමණේරයන්ගේ උපසම්පදාව විය. මේ උපසම්පදාව “බුද්ධුපසම්පදා” නම් වේ. භද්ද තෙරණුවෝ උපතේ පටන් තම පැවැත්ම ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකට කරමින් මේ ගාථා සත වදාළහ.
“එකපුත්තො අහං ආසිං පියො මාතු පියො පිතු,
බහූහි වතචරියාහි ලද්ධො ආයචනාහි ච”
බහූහි වතචරියාහි ලද්ධො ආයචනාහි ච”
“තෙච මං අනුකම්පාය අත්ථකාමා හිතෙසිනො,
උභො පිතා ච මාතා ච බුද්ධස්ස උපනාමයුං”
උභො පිතා ච මාතා ච බුද්ධස්ස උපනාමයුං”
“කිච්ඡාලද්ධො අයං පුත්තො සුඛුමාලො සුඛෙධිතො,
ඉමං දදාම තෙ නාථ ජිනස්ස පරිචාරකං”
ඉමං දදාම තෙ නාථ ජිනස්ස පරිචාරකං”
“සත්ථා ච මං පටිග්ගය්හ ආනන්දං එතදබ්රැවී,
පබ්බාජෙහි ඉමං ඛිප්පං හෙස්සත්යාජානියො අයං”
පබ්බාජෙහි ඉමං ඛිප්පං හෙස්සත්යාජානියො අයං”
“පබ්බාජෙත්වාන මං සත්ථා විහාරං පාවිසී ජිනො,
අනොග්ගතස්මිං සුරියස්මිං තතො චිත්තං විමුච්චි මෙ”
අනොග්ගතස්මිං සුරියස්මිං තතො චිත්තං විමුච්චි මෙ”
“තතො සත්ථා නිරංකත්වා පටිසල්ලාන වුට්ඨිතො,
එහි භද්දා’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”
එහි භද්දා’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”