ලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා වර්ණනාව
“පරෙ අම්බාටකාරාමෙ” යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහ සම්පත් ඇති පවුලක ඉපිද වැඩිවියට පැමිණ, ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්ම ශ්රවණය කළහ. එසේ සිටින අවස්ථාවක ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් මිහිරි හඬ ඇති (මංජුස්සරභාණී) භික්ෂූන් අතරින් අග්රස්ථානයෙහි තැබූ සේක. සිටු පුත්රයාද එම අගතනතුර පතාගෙන බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝරත්නයට මහදන් පවත්වා, “අහෝ! මම ඒකාන්තයෙන් ම අනාගතයේ එක් බුදු සසුනකදී මේ භික්ෂුව මෙන්ම මංජුස්සරභාණී භික්ෂූන්ට අග්රවේවා”යි අධිෂ්ඨාන කළේය. භාග්යවතුන් වහන්සේ ද ඔහු එම තනතුර ලබන බව දැක ඔහු ලබන සම්පත් දේශනාකර වැඩි සේක.
ඒ සිටුපුත් දිවි ඇතිතාක් පින්දහම් සිදුකර, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා සැප විඳිමින් පැමිණ; ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ දී විසිතුරු පියාපත් ඇති කොවුලෙක්ව, රජුගේ උයනින් මිහිරි අඹයක් තුඩින් රැගෙන යන්නේ ශාස්තෲන් වහන්සේ දැක පහන් සිත් උපදවා “මෙය දෙන්නෙමි”යි සිතීය. ඒ පක්ෂියාගේ සිත දැනගත් ශාස්තෲන් වහන්සේ පාත්රය රැගෙන එළිමහනෙහි හුන් සේක. කොවුලා දසබලයන් වහන්සේගේ පාත්රයෙහි අඹ ගෙඩිය තැබීය. ශාස්තෲන් වහන්සේ එය වැළඳූහ. ඒ කොවුලා එම ප්රීති ප්රමෝදයෙන් ම පහන් සිත් උපදවාගෙන දින හතක් කල් ගෙවීය. ඒ පින්කම නිසාත් ඔහු මිහිරි කටහඬ ඇත්තෙක් විය. කාශ්යප බුදුරජාණන් වහන්සේගේ සෑය කරවීම අරඹයා ඇති වූ සාකච්ඡාවේදී “සෑය කවර ප්රමාණයකින් සාදමු ද?” ඇසූ කල්හි; එතැන සිට ප්රධාන වඩුවා වූ මෙතෙම “යොදුන් සතක් උසට කරමු”යි කී කල්හි “එය ඉතා මහත්ය” “එසේ නම් යොදුන් සයක් උසට සාදමු”, “එයත් ඉතා වැඩිය” ආදී වශයෙන් පස්යොදුන්, සතර යොදුන්, තුන් යොදුන්, යොදුන් දෙකක් දක්වා සෑයේ උස අඩුකොට; අනාගතයේ සුවසේ පරිහරණය කිරීමට හැකියාව ලැබෙන පරිදි සෑය බඳිමු”යි පැවසීය. එසේ පවසා රැහැනක් ගෙන වටකරමින් ගවුවක් පමණ තැන සිට එක් එක් පැත්තට ගවුව බැගින් වූ සෑයක සැලැස්ම පෙන්වා, “මෙසේ සෑදූ විට සෑය තුන්යොදුන්, සිවුයොදුන්, උස වූවක් වන්නේය”යි කීවේය. ජනයා ඔහුගේ වදන් පිළිගත්හ. මෙසේ “අප්රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ ප්රමාණයක් දැක්වූ බැවින්, ඒ කර්මයේ විපාක වශයෙන් එතැන් පටන් උපනුපන් ආත්මභාවයෙහි අන්යයන්ට වඩා මිටි වූ ශරීර ඇතිව ඉපදුණේය.
හෙතෙම අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මහත් සම්පත් ඇති සිටු පවුලක උපන්නේ ය. ඔහුගේ නම භද්දිය විය. ඉතා මිටි සිරුරක් තිබූ බැවින් “ලකුණ්ටක භද්දිය” නමින් ප්රකට විය. හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙතින් ශ්රී සද්ධර්මය ශ්රවණය කිරීමෙන් උපන් ශ්රද්ධා ඇතිව, සසුනේ පැවිදි බව ලැබීය. බහුශ්රැත ධර්ම කථිකයකු බවට පත්වූ ලකුණ්ටක භද්දිය තෙරණුවෝ ඉතා මිහිරි හඬින් අනුන්ට දහම් දෙසූහ. එක් උත්සව දිනයක එක්තරා බමුණකු සමග රථයක නැඟී ගිය එක් ගණිකාවක් තෙරුන් දැක දත් විළිස්සමින් සිනාසුනාය. තෙරණුවෝ ඇගේ දත් ඇට නිමිති කරගෙන අට්ඨි සඤ්ඤාව වඩා ධ්යාන උපදවාගෙන, එම ධ්යානය පාදක කරගෙන විදසුනට සිත යොමු කොට අනාගාමී ඵලයට පත්වූහ. නිතරම කායගතා සතිය වඩමින් විසූ ලකුණ්ටක භද්දිය හිමියෝ, දිනක් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන කල්හි රහත්බවෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“මීට කල්ප ලක්ෂයකට පෙර දී පදුමුත්තර නම් සියලු ධර්මයන් විනිවිද දක්නා ඇස් ඇති, ලෝක නායක වූ බුදුහු ලොව පහළ වූහ.
එකල්හි මම හංසවතී නුවර මහධනවත් සිටුපුතෙක් වූයෙමි. සක්මන් කරමින් සිටි මම බුදුරදුන් වැඩ සිටි විහාරයට ගියෙමි.
එකල ලොවට පහනක් වූ ලෝකනායකයන් වහන්සේ දහම් දෙසමින් සිට, මධුරස්වර ඇති ශ්රාවකයකු අගතනතුරෙහි තැබූ සේක.
එය අසා සතුටට පත් මම මහර්ෂී වූ බුදුපියාණන් වහන්සේට සත්කාර කොට, එම අගතනතුරට පැතුවෙමි.
එකල ශ්රේෂ්ඨ නායක වූ බුදුපියාණන් වහන්සේ සඟ මැද හිඳ “අනාගතයේ නුඹගේ මනෝරථය ඉටුවන්නේය”යි විවරණ දුන් සේක.
“මීට කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින, ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.
උන්වහන්සේගේ ධර්මයට දායාද වූ ධර්මයෙන් නිර්මිත කළා වූ ඖරස පුත්ර වූ භද්දිය නම් ශාස්තෲ ශ්රාවකව මෙතෙම උපදින්නේ ය.
මෙසේ විවරණ ලද මම මනාව සිදුකළ චිත්ත ප්රාර්ථනාව හා චිත්ත ප්රණිධියත්, පුණ්ය කර්මයනුත් නිසා මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
මීට කල්ප අනූ දෙකකට පෙර දී කිසිවකුට ගැටිය නොහැකි වූ මැඬලිය නොහැකි වූ සව්ලෝ මුදුන් වූ පස්මරුන් දිනුවා වූ පසළොස් චරණ දහමින් යුතු වූ මහත් සෘජු ප්රතාප ගුණ ඇති ඵුස්ස නම් බුදුහු ලොව පහළ වූහ. සව්සතුන්ටම හිත වැඩ සැලසූ උන්වහන්සේ බොහෝ ජනයා සසර බැඳුමෙන් මුදාලූහ.
උන්වහන්සේ විසූ නන්දාරාම නම් රජ උයනෙහි ඵුස්ස නම් කෝකිලයෙක්ව උපන් මම ගඳකිළිය සමීපයේ වූ අඹ රුකෙහි විසුවෙමි.
පිඬු පිණිස වඩින්නා වූ දක්ෂිණාර්හ වූ බුදුරදුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬුවෙමි.
රජ උයනට ගිය මම රන්වන් වූ සිවි ඇති මනාව ඉදුණු අඹ ගෙඩියක් සම්බුදුරදුන්ට පිදුවෙමි.
මගේ අදහස දත් ලෝකනායක වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ, සිය උපස්ථායක හිමියන් අතින් පාත්රය ගත් සේක.
සතුටු සිතැති මම අඹගෙඩිය බුදුරදුන්ට පිදුවෙමි. අඹගෙඩිය පාත්රයේ තැබූ මම, පියාපතින් ඇඳිලි බැඳ වැඳ, සිත් අලවන, මිහිරි ඇසීමට ප්රිය වූ නාදයෙන් බුද්ධ පූජා කරමින් කැදැල්ලට ගොස් වැදහොත්තෙමි.