සුන්‍දරසමුද්ද ස්ථවිරගාථා වර්ණනාව
සත්වන නිපාතයේ “අලංකතා” යන ගාථා ආයුෂ්මත් සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණියහ. මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර එක්තරා මහත් සමක් ඇති සිටුවරයෙකුට දාව උපන් අතර හේ “සමුද්ද” නාමයෙන් ප්‍රසිද්ධ විය. ඉතා ශෝභාමත් කඩවසම් රූපයක් තිබූ බැවින් ඒ කුමරු “සුන්දර සමුද්ද” නාමයෙන් ජනයා අතර ප්‍රකට විය. ඉතා තරුණ වියෙහි සිටි සිටුකුමරු බුදුරජාණන් වහන්සේ පළමුව රජගහ නුවරට වැඩම වූ මහා උත්සවයේදී බුද්ධානුභාවය දැක, හටගත් ශ්‍රද්ධාවෙන් ගිහි සැප හැර දමා සසුනේ පැවිදිව උපසම්පදාව ලැබීය. ධූතාංග ධර්ම සමාදන් වූ සුන්දර සමුද්ද තෙරණුවෝ රජගහ නුවරින් නික්ම සැවැත් නුවරට ගොස් කල්‍යාණමිත්‍රයකු වෙතින් විදසුන් භාවනාව ඉගෙන, කමටහනෙහි සිත යොමුකරගෙන එහි විසූහ. උන්වහන්සේගේ මව රජගහ නුවර උත්සව දිනයක අනිකුත් සිටුපුතුන් සිය බිරින්දන් පිරිවරාගෙන අලංකාරව සැරසී උත්සව ක්‍රීඩාවන්හි යෙදෙනු දැක, තම පුතු සිහිපත් කරමින් අඬමින් සිටියාය. ඇයගේ හැඬීම දුටු එක්තරා ගණිකාවක් හැඬීමට හේතුව විමසුවාය. තෙරුන්ගේ මව ඊට හේතුව පැවසුවාය. එය ඇසූ ගණිකාව “මම ඔහු මෙහි රැගෙන එන්නෙමි. මගේ ස්ත්‍රීභාවය දෙස බලන්න”යි කීවාය. ඉදින් ඔහු රැගෙන පැමිණියහොත් නුඹ ඔහුට පාවාදී මේ සිටු සම්පත්තියට හිමිකාරිය කරන්නෙමි”යි පැවසූ තෙරුන්ගේ මව, ඒ ගණිකාවට බොහෝ ධනය දී පිටත්කර හැරියාය. මහත් පිරිවරින් සැවැත් නුවරට ගිය ඇය, ඒ තෙරුන් වහන්සේ පිඬු පිණිස වැඩමවන වීථියක ගෙයක් මිලදී ගෙන එහි වසමින්, දිනපතාම ඉතා රසවත් ආහාර තෙරුන්ට පූජා කළාය. ඉතා අලංකාරව සැරසීගෙන රන් පාවහන් පැළඳ නිතරම තෙරුන් ඉදිරියේ හැසිරුණාය. දිනක් තම ගෙදර සමීපයෙන් වැඩමවන තෙරුන් දුටු ඇය, රන් පාවහන් මුදා ඇඳිලි බැඳ වැඳගෙන තෙරුන් ඉදිරියෙන් යන්නී, නානාප්‍රකාරව තෙරුන්ට කම්සැප විඳීම සඳහා ආරාධනා කළාය. මේ ස්ත්‍රියගේ කාමුක ආරාධනාවන් ඇසූ තෙරුන් වහන්සේ. “පුහුදුන් සිත නම් චංචල වූවකි. එනිසා මම දැන්මම උත්සාහවත් විය යුතුයැ”යි එතැනම හිඳ විදසුන් භාවනාවට සිත යොමු කළ සේක් ෂඩ් අභිඥාලාභී වූහ. රහත් බවට පත් තෙරුන් වහන්සේ ගණිකාවගේ ක්‍රියාව නිමිති කරගෙන මේ ගාථා සත වදාළ සේක.
“අලංකතා සුවසනා මාලභාරී විභූසිතා,
අලත්තකකතාපාදා පාදුකාරුය්හ වෙසිකා”
“පාදුකා ඔරුහිත්‍වාන පුරතො පඤ්ජලීකතා,
සා මං සණ්හෙන මුදුනා මිහිතපුබ්බං අභාසථ”
“යුවාසි ත්‍වං පබ්බජිතො, තිට්ඨාහි මම සාසනෙ,
භූඤ්ජමානුසකෙ කාමෙ, අහං විත්තං දදාමි තෙ,
සච්චං තෙ පටිජානාමි, අග්ගිං වා තෙ හරාමහං”
“යදා ජිණ්ණා භවිස්සාම උභො දණ්ඩ පරායනා,
උභොපි පබ්බජිස්සාම උභයත්‍ථ කටග්ගහො”
“තංච දිස්වාන යාචන්තිං වෙසිකං පඤ්ජලීකතං,
අලංකතං සුවසනං මච්චුපාසංව ඔඩ්ඪිතං”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
මෙහි “මාලභාරී” යනු මල් මාලා දරන්නී වූ, මල් මාලාවලින් අලංකෘත වූ, “විභූසිතා” අඩුතැන් පිරවීම් වශයෙන් මල්වලින් මෙන්ම සුවඳ විලේපන, ආලේපනාදියෙන් ද අලංකාර කරන ලද. “අලංකතා” යනු මෙසේ අත්පා නිසි වූ ආභරණවලින් අලංකාර කරගෙන යන අදහසයි. “අලත්තකකතාපාදා” මනාව සුපිපි දෑසමන් මල් බඳු ලාක්‍ෂාරසයෙන් අලංකාර කළ, රඤ්ජිත පා යුවල ඇති. මෙය සමාස පදයකි. “අලත්තකකතපාදා” යැයි කිවයුතු වුවත් මෙහිදී ගාථාව සුඛෝච්චාරණය පිණිස “තා” යනුවෙන් දීර්ඝ කර කියන ලදි. සමාස නොවූ කල්හි “තස්සා” ඇගේ යැයි වචනශේෂය ගත යුතුයි.
“පාදුකාරුය්හ වෙසිකා” රූපය විකුණා ජීවත්වන එක් ස්ත්‍රියකි. “ඉහත කී පරිදි සැරසුණු ඒ වෙසඟන රන් මිරිවැඩි සඟලක් පැළඳ සිටියාය.” යනුවෙන් අර්ථ ගත යුතුයි. “පාදුකා ඔරුහිත්‍වාන” රන්මිරිවැඬි ගලවා, පාවහන්වලින් බැහැර වී. “පඤ්ජලීකතා” ඒ වෙසඟන ඇඳිලි බැඳගෙන, මා වෙත හැරී තමන්ම මේ වදන් කීවාය. “සණ්හෙන” මටසිලුටු මුදු මොළොක්. “වදනින්” යන්න මේ ගාථාවේ නොපැවසුණත් එය ගත යුතුයි. “අභාසථ” කීවාය.
“යුවාසි ත්‍වං පබ්බජිතො” නුඹ ඉතා ළදරු, තරුණ, නවයොවුන් අවස්ථාවෙහිම පැවිදි වූයෙහි. පැවිදි වන්නන් විසින් සත්වැනි දසකය පැමිණි කල්හිම ගිහි ගේ හැර පැවිදි විය යුතුයැයි මේ ප්‍රකාශයෙන් දක්වයි. “තිට්ඨාහි මම සාසනෙ” මගේ වචනයෙහි පිහිටන්න. මගේ වදන් පිළිගන්න.
ඒ වචනය නම් - “භුඤ්ජ මානුසකෙ කාමෙ” කම්සැප වළඳනු කැමැත්තාට රූප සම්පත්තිය, පරිවාර සම්පත්තිය හා භෝග සම්පත්තිය ද අත්‍යවශ්‍යය. පැතිය යුතුයි.” ඉදින් මට භෝග සම්පත් කොයින්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස “අහං විත්තං දදාමි තෙ” මම නුඹට සම්පත් දෙමි යි කීවාය. “ඇගේ වදන් කෙසේ ඇදහිය යුතුද?”යි සිතන්නේ ය යන අදහසින් ඒ වදන් අදහවනු සඳහා “සච්චං තෙ පටිජානාමි අග්ගිං වා තෙ හරාමහං” යන්න පැවසුවාය. “මානුෂික වූ පස්කම් සුව විඳින්න. මම නුඹට ඒ සඳහා සම්පත් දෙමි” යනුවෙන් යම් ප්‍රතිඥාවක් මවිසින් සිදුකරන ලද්දී ද එය ඒකාන්තයෙන්ම සත්‍යයකැයි ප්‍රතිඥා දෙමි. ඉදින් මා කෙරෙහි විශ්වාසයක් නොමැති නම් නුඹ ඉදිරියට ගිනි හෝ ගෙනෙන්නෙමි. ගිනි දල්වා ගින්දර සාක්‍ෂි කොට සපථ කරමි” යන අර්ථයයි. “උභයත්‍ථ කටග්ගහො” “අප දෙදෙනාම වයසට ගිය කල්හි දෙලොවම යහපත් කරගනිමු. දෙලොවම ජයගනිමු. අපි මහලුව සැරයටියෙන් යෑම දක්වාම කම්සුව විඳිමු. මෙසේ මෙලොව සැප උපරිමව විඳින්නෙමු. ඉන්පසුව අපි පැවිදිවන්නෙමු. මෙසේ පරලෝක සම්පත්තියට ද හිමිකාරයෝ වෙමු” යන අදහසයි. “තතො” ඒ නිමිති කරගෙන කම්සුව විඳීමට ඇරයුම් කරමින් “නුඹ නවයොවුන් වියෙහි වූවෙහි” “යම්කලෙක වයස්ගත වන්නෙමු ද?” යනාදී තෙවන, සිවුවන ගාථාවලින් පැවසූ ඒ වෙසඟනගේ වදන් ඇසූ මම, ඒ පිළිබඳව නුවණැස යොමුකර; ඒ වදන්ම අංකුසයක් කරගෙන කම්සුව විඳීමේ ආදීනව මෙනෙහි කළෙමි. මෙසේ තෙරණුවෝ මහණ දහම් සපුරා ස්වාර්ථ සාධනය කරගත්හ. ඉතිරි පාදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ පරිදි දත යුතුයි.