ජෙන්ත ස්ථවිරගාථා වර්ණනාව
“ජාතිමදෙන මත්තොහං” යනු ආයුෂ්මත් ජෙන්ත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි පින් දහම් රැස් කරමින් අවුත් මේ බුද්ධෝත්පාදයේ දී කොසොල් රජුගේ පුරෝහිතතුමාට දාව උපන්හ. පුරෝහිතතුමා සිය පුතුට ජෙන්ත යන නම තැබීය. තරුණවියට පත් එකුමරු ජාති මදයෙන් ද භෝග මදයෙන් ද ඉසුරුමත් රූප මදයෙන් මත් වී අන්‍යයන් හෙළා දකිමින් ම ගරු කළයුත්තන්ට අගරු කරමින්, පිදිය යුත්තන් නොපුදමින් මානයෙන් වැඩී හැසිරෙයි. දිනක් ජෙන්ත මහත් වූ පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් සිටින ශාස්තෲන් වහන්සේ දුටුවේය. දැක උන්වහන්සේ වෙත යමින් “ඉදින් ශ්‍රමණ භවත් ගෞතමයෝ මා දැක පළමුව කථා නොකලේ නම් මම ඔහු සමග කථා නොකරන්නෙමි”යි යන සිතින් සමීපයට ගොස් සිටගෙන සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පළමුව කථා නොකළ හෙයින් තමා ද උඩඟුව කථා නොකර සිට දේශනාවසානයෙහි යන බවක් දැක්වීය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඔහුට වදාළ සේක -
“න මානං බ්‍රාහ්මණ සාධු අත්‍ථිකස්සිධ බ්‍රාහ්මණ,
යෙන අත්‍ථෙන ආගඤ්ඡි තමෙච මනුබ්‍රෑහයා” තී.
“බ්‍රාහ්මණය! මානය යහපත් දෙයක් නොවේ. මේ බුදුසසුනින් ප්‍රයෝජනයක් ලබාගැනීමට මෙහි පැමිණි නුඹ, ඒ මානයම තව තවත් වඩා වර්ධනය කරන්නෙහි ය” යන ගාථාව වදාළහ. එය ඇසූ ජෙන්ත බමුණා “මගේ සිත ශ්‍රමණ භවත් ගෞතමයෝ දැනගත්හ”යි වඩාත් ප්‍රසන්න වූයේ අප භාග්‍යවතුන් වහන්සේ දෙපා මුල හිසින් වැඳ වැටී අතිශයින් යටහත් බවක් දැක්වීය. මේ ගාථාවෙන් ජෙන්ත තම ප්‍රශ්නය ඇසීය.
“කෙසු න මානං කයිරාථ - කෙසු අස්ස සගාරවො,
ක්‍යස්ස අපචිතා අස්සු - ක්‍යස්සු සාධු සුපූජිතා” තී.
කවරකු කෙරෙහි මානය නොපැවැත්විය යුතු ද?” ගරු කටයුත්තෝ කවරහු ද? අපචායනය කළ යුත්තෝ කවරහුද? මනාව පිදිය යුත්තෝ කවරහුද? ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මාතරි පිතරි චාපි - අථො ජෙට්ඨම්හි භාතරි,
ආචරියෙ චතුත්‍ථම්හි - [missing pali]
තෙසු න මානං කයිරාථ - තෙසු අස්ස සගාරවො,
ත්‍යස්ස අපචිතා අස්සු - ත්‍යස්සු සාධු පූජිතා”
“අරහන්තෙ සීතිභූතෙ - කතකිච්චෙ අනාසවෙ,
නිහච්ච මානං අත්‍ථද්ධො - තෙ නමස්ස අනුත්තරෙ”
මෙසේ ප්‍රශ්නය විසඳමින් ඔහුට දහම් දෙසූහ. “මවුට පියාට මාන නොකළ යුතුයි. වැඩිමල් සොයුරු සොයුරියන්ට ද සිවුවැනිව ගුරුවරුන්ටද මත් නොඉපදවිය යුතුයි. ඔවුන් කෙරෙහි ගරු කරන්නේය. ඔවුන්ට අපචායනය කරන්නේ ය. ඔවුන් මැනවින් පිදිය යුතු වේ.”
“එමෙන්ම අනුත්තර සිසිල් වූ නිවණ අවබෝධ කරගත්තා වූ අනාශ්‍රව වූ කටයුතු කොට නිමියා වූ මානය නැසුවා වූ ස්වාර්ථ සාධනය කරගත් රහතන්වහන්සේලාට ද නමස්කාර කරන්න.”
ඒ ධර්ම දේශනාවසානයේදී ජෙන්ත කුමරු සෝවාන් විය. බුදු සසුනේ පැවිදි වූ ඔහු විදසුන් භාවනාව වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියේය. රහත් වූ ජෙන්ත තෙරණුවෝ තමාගේ පිළිවෙත් මඟ දැක්වීම් වශයෙන් මේ ගාථා සය වදාළහ.
“ජාතිමදෙන මත්තොහං භොග ඉස්සරියෙන ච,
සණ්ඨාන වණ්ණ රූපෙන මදමත්තො අචාරිහං”
“නාත්තනො සමකං කඤ්චි අතිරෙකඤ්ච මඤ්ඤිසං,
අතිමානහතො බාලො පත්‍ථද්ධො උස්සිතද්ධජො”
“මාතරං පිතරං චාපි අඤ්ඤෙ ච ගරු සම්මතෙ,
න කඤ්චි අභිවාදෙසිං මානත්‍ථද්ධො අනාදරො”
“දිස්වා විනායකං අග්ගං සාරථීනං වරුත්තමං,
තපන්තමිව ආදිච්චං භික්ඛුසංඝ පුරක්ඛතං”
“මාන මදං ච ඡඩ්ඩෙත්‍වා විප්පසන්නෙන චෙතසා,
සිරසා අභිවාදෙසිං සබ්බ සත්තාන මුත්තමං”
“අතිමානො ච ඔමානො පහීණා සුසමූහතා,
අස්මිමානො සමුච්ඡින්නො, සබ්බෙ මානවිධා හතා” තී.
මෙහි “ජාතිමදෙන මත්තොහං” යනු මම ඉතා උසස් බමුණු කුලයේ උපන්නෙම්. මා වැනි වූ උභය කුල පාරිශුද්ධ උසස් කුලවතෙක් නැතැ”යි කුලමානයෙන් මත්ව මානාධිකව විසුවෙමි යන අර්ථයයි. “භොග ඉස්සරියෙන ච” සම්පත්තියත් අධිපතිත්‍වයත් නිසා, භෝග සම්පත්තියත් ඓශ්චර්‍ය්‍ය සම්පත්තියත් නිසා උපන් මදයෙන් මත්වූයෙමි. මම එසේ මත්ව හැසිරුණෙමි. “සණ්ඨාන වණ්ණ රූපෙන” රූප, වර්ණ, සටහනින්, ආරෝහ පරිනාහ සම්පත්තියෙන්, සුදු කළු ආදී ඡවි සම්පත්තියෙන්, ශෝභාසම්පන්න අඟපසඟ සහිත රූපශ්‍රීයෙන් යුතු වූයෙම් යනුවෙන් පෙර කී ලෙසම අර්ථ ගත යුතුයි. “මදමත්තො” ඉහත පැවසූ ලෙසින්ම වෙනත් මදයන්ගෙන් ද මත්වූයෙම්.
“නාත්තනො සමකං;” තමාහට, මාහට සමාන වූ ගැලපෙන, ජාති ආදී ලක්‍ෂණයන්ගෙන් සම වූ, වෙනත් දෙයින් සම වූ වෙනත් කිසිවකු නොදුටුවෙමි. මාහට සමානයකු නුදුටු බැවින් මට වඩා ජාති ආදියෙන් වැඩි, උස්වූවෙකු කෙසේ දක්නෙම් ද? යන අදහසයි. “අතිමානහතො බාලො”, ඉක්බිති අඳ බාල වූ බැවින් අතිමානයෙන් යුතු වූ මම සාරා උගුලා දැමූ කුසල් හැසිරීම් ඇත්තෙම්, එමෙන්ම තද මන් ඇතිව එස වූ ධ්වජ ඇත්තෙම්, සිතේ තද ගතිය නිසා ගුරුවරුන්ට ද යටහත් පැවතුම් නොකරන්නෙම්, බොහෝ සෙයින් තද වූයෙම්, නොනැමෙන තද ගති ඇතිව එසවූ මාන නමැති ධ්වජ ඇත්තෙම්.
මෙසේ කියන ලද අර්ථයම මෙහිදී තවත් ඉතා ප්‍රකට වූවක් කිරීමට “මාතරං” යනාදිය පැවසූහ. එහි “අඤ්ඤෙ” වැඩිමහල් සොයුරු ආදීන්ට ද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද “ගරු සම්මතෙ”, ගෞරව කළ යුතු යැයි සමාජ සම්මත වූ ගෞරවනීය තනතුරු දැරූවන් කෙරෙහි ද “අනාදරෙ” ආදර රහිත වූයෙමි.
“දිස්වා විනායකං අග්ගං” මෙසේ මානයෙන් දැඩිව හැසිරෙන මම, මෙලෝ පරලෝ යන උභයාර්ථ සිද්ධියෙහි හික්මවිය හැකි ජනයා හික්මවන, තමන් වහන්සේ ම අවබෝධ කරගත් බැවින් ද, ලෝකයාට අසහාය නායක බැවින් ද, “විනායකං” විනායක නම් වූ, දෙවියන් සහිත ලෝකයේ ශීලාදී ගුණයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ බැවින් ද, “අග්ගං” අග්‍ර වූ, පුරුෂයන් දමනය කරමින් අතිශයින් හික්මවන බැවින් සාරථී නම් වූ, පුරුෂයන් දමනය කරමින් අතිශයින් හික්මවන බැවින් සාරථී නම් වූ, පුරුෂයන් දමනය කරන්නන් අතරින් ඉතා උතුම් වූ - “සාරථීනං වරුත්තමං”. බ්‍යාම ප්‍රභා ආදී ආලෝකයෙන් සූර්යයා මෙන් බබළන, දිලිසෙන - “තපන්තමිව ආදිච්චං”. භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දහම් දෙසන, “භික්ඛු සංඝ පුරක්ඛතං” සියලු සතුන්ටම උතුම් වූ ශාස්තෲන් වහන්සේ දුටුවෙමි. “බුද්ධානුභාවයෙන් දුටුමතින්ම තැතිගත්තෙම් “මම ශ්‍රේෂ්ඨ වෙමි. අන්‍යයෝ හීනයෝය” යනුවෙන් පැවති මානය ද භෝග සම්පත් ආදිය නිසා පැවති මදය ද අත්හැර දමා, ඉවත දමා “විප්පසන්නෙ චෙතසා සිරසා අභිවාදෙසිං” පහන් සිතින් යුතුව සිරසින් වැන්දෙමි. අභිවාදනය කළෙමි.