සුමන ස්ථවිරගාථා වර්ණනාව
“යදා නවො පබ්බජිතො” යනු ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස් කරමින් අවුත්, සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි කුලගෙයක උපන්හ. නුවණැති බවට පත් මේ කුලපුතු දිනක් සිඛි බුදු රජාණන් වහන්සේ දැක පහන් සිතින් දෑසමන් මලින් පූජා කළේය. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී එක්තරා උපාසකයෙකුගේ ගෙදර පිළිසිඳ ගත්තේය. ඒ උපාසකතුමා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේගේ උපස්ථායකයෙක් විය. එතුමා මීට පෙර ලැබුණු දරුවෝ සියලු දෙනම මිය ගියහ. එනිසා හෙතෙම “ඉදින් මට තව එකම පුතෙකු හෝ ලැබේ නම්, ආර්ය වූ අනුරුද්ධ තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි කරන්නෙමි”යි යන සිතින් දරුවෙකු පැතීය. ඒ අනුව දසමසක් ඇවෑමෙන් උපන් මේ කුමරු නීරෝගීව ම වැඩී සත්වියට පා තැබීය. ඔහුගේ පියා ඒ දරුවා තෙරුන් වහන්සේ ළඟ පැවිදි කරවීය. පැවිදි වූ මේ කුමරු මුහුකුරා ගිය නුවණ ඇති බැවින්, විදසුන් කමටහන වඩන්නේ නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් විය. මේ සුමන සාමණේරයෝ සිය ගුරුදේවයන්ට උපස්ථාන කරන සේක්; දිනක් “පැන් ගෙනෙන්නෙමි”යි කළයක් රැගෙන සෘද්ධියෙන් අනෝතප්ත විලට වැඩියහ. එහි විසූ එක් මිසදිටු නාග රාජයෙක් අනෝතප්ත විල වැසෙන සේ සත්වරක් දරණවැලින් වසාගෙන, ඒ මත පෙනය තබාගෙන සුමන සාමණේරයන්ට පැන් ගැනීමට අවසර නොදුන්නේ ය. එවිට ම සුමන හිමියෝ ගුරුළු වෙසක් මවාගෙන, නාරජු මැඩපවත්වා පැන් ගෙන සිය ගුරු දේවයන් වසන තැන බලා වැඩම කළහ. අහසින් වඩින උන්වහන්සේ දුටු අප ශාස්තෲන් වහන්සේ දම්සෙනෙවි සැරියුත් තෙරුන් අමතා, “සාරිපුත්‍රය! මොහු දෙස බලව”යි යනාදී වශයෙන් සිවු ගාථාවකින් සුමන හිමියන්ගේ ගුණයන් වදාළ සේක. ඉක්බිති සුමණ සාමණේරයෝ මේ ගාථා සය සිය රහත්භාවය ප්‍රකාශ කිරීම් වදාළහ.
“යදා නවො පබ්බජිතො ජාතියා සත්තවස්සිකො,
ඉද්ධියා අභිභොත්වාන පන්නගින්දං මහිද්ධිකං”
ඉද්ධියා අභිභොත්වාන පන්නගින්දං මහිද්ධිකං”
“උපජ්ඣායස්ස උදකං අනොතත්තා මහාසරා,
අහරාමි, තතො දිස්වා මං සත්ථා එතදබ්රවී”
අහරාමි, තතො දිස්වා මං සත්ථා එතදබ්රවී”
“සාරිපුත්ත ඉමං පස්ස ආගච්ඡන්තං කුමාරකං,
උදකුම්භකමාදාය අජ්ඣත්තං සුසමාහිතං”
උදකුම්භකමාදාය අජ්ඣත්තං සුසමාහිතං”
“පාසාදිකෙන වත්තෙන කල්‍යාණ ඉරියා පථො,
සාමණෙරොනුරුද්ධස්ස ඉද්ධියා ච විසාරදො”
සාමණෙරොනුරුද්ධස්ස ඉද්ධියා ච විසාරදො”
“ආජානීයෙන ආජෙඤ්ඤො සාධුනා සාධුකාරිතො,
විනීිතො අනුරුද්ධෙන කත කිච්චේන සික්ඛිතො”
විනීිතො අනුරුද්ධෙන කත කිච්චේන සික්ඛිතො”
“සො පත්වා පරමං සන්තිං සච්ඡිකත්වා අකුප්පතං,
සාමණෙරො සසුමනො මා මං ජඤ්ඤාති ඉච්ඡතී” තී.
සාමණෙරො සසුමනො මා මං ජඤ්ඤාති ඉච්ඡතී” තී.
මෙහි මුලින් දැක්වූ ගාථා දෙක සුමන තෙරුන් විසින්ම වදාරණ ලදි. ඉතිරි ගාථා සතර උන්වහන්සේව ප්‍රශංසාවට ලක්කරමින් ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලදි. එම ගාථා සයම එකතුකර පසුව සුමන තෙරණුවෝ සිය රහත්බව දැක්වීම් වශයෙන් වදාළහ. මෙහි “පන්නගින්ද” යනු නාගරාජයායි. “තතො” එකල්හි, යම් කලෙක අලුත පැවිදි වූ උපතින් සත් හැවිරිදි වූ ඒ මම, සෘද්ධි බලයෙන් මහත් සෘද්ධි ඇති නාරජු මැඬපවත්වා අනෝතත්ත විලින් පැන් රැගෙන උපාධ්‍යායන් වහන්සේ වෙත ගියෙම් ද එම කාලයේ යන අර්ථයයි.
මා නිමිති කරගෙන, මා සඳහා ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ. ඒ ශාස්තෲ ප්‍රකාශය “සාරිපුත්ත ඉමං පස්ස” යනාදී වශයෙන් දැක්වේ. එම තෙවන ගාථාවේ “අජ්ඣත්තං සුසමාහිතං” යනු ආධ්‍යාත්මික විෂය ඇතිව අග්‍ර ඵලය වූ අර්හත් ඵල සමාධියෙන් මනාව සන්සුන් සිතැතිව.
“පාසාදිකෙන වත්තෙන” යනු බලා සිටින අයගේ ප්‍රසාදය ගෙනදෙන හැසිරීමෙන්, මෙය කරණාර්ථයේ යෙදුණු තතියා විභක්ති පදයකි. “කල්‍යාණ ඉරියාපථො” ආචාර සම්පන්න ඉරියවු ඇති; නැතහොත් “පාසාදිකෙන වත්තෙන” යනු ඉත්ථම්භූත ලක්ෂණයේ තතියා විභක්ති වචනයකි. ශ්රමණයාගේ ස්වභාවය “සාමණ්ය” ශ්‍රමණ බවයි. “සාමඤ්ඤං” ශ්‍රමණ බව යන අර්ථයයි. එම අර්ථය, ශ්‍රමණ බව පෙන්වයි. ඒ අනුව පවතියි යන අර්ථයෙන් “සාමණේර” නම් වේ. සාමණේර බවයි. “ඉද්ධියා ච විසාරදො” සෘද්ධියෙහි ව්‍යක්ත, විශාරද, ඉතා දක්ෂයෙකු වූයෙමි. “ආජානීයෙන”, “ශ්‍රේෂ්ඨ පුරුෂ වූ, ආත්මාර්ථ පරාර්ථ යන උභයාර්ථයම ඉටු කරන්නා වූ, යහපත් වූ, කළයුතු කටයුතු නිම වූ, අනුරුද්ධ තෙරුන් විසින් ඉතා යහපත්ව උභයාර්ථ සිද්ධිය ගෙනදීම සඳහා මනාව හික්ම වූ, ශ්‍රේෂ්ඨ බව ඇති කරන, මනාව දමනය වූ, අග්‍ර විද්‍යාවෙන් මනාව හික්මුණු, අසේඛ භාවයට පත්කිරීම් වශයෙන් මනාව හික්මුණු - හික්ම වූ” යන අර්ථයයි.
ඒ සුමන සාමණේරයෝ පරම ශාන්තිය වූ නිවනට පැමිණ අග්‍ර මාර්ගය වූ අර්හත්භාවය අවබෝධ කරගැනීමෙන් නිර්වාණය සාක්ෂාත් කරගෙන එය ආත්ම ප්රත්යක්ෂ කරගෙන, ස්ථිර වූ නොවෙනස්වන අර්හත් ඵලයට අල්පේච්ඡ බව නිසා පැමිණ, ඉතා උතුම් බවට පැමිණි හෙයින් “මා මං ජඤ්ඤා”, “මා පිළිබඳව” “මෙතෙම ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ නමකැ”යි කිසිවෙකුත් නොදනීවා” යන සිත කැමති වේ. එසේ ප්‍රාර්ථනා කරයි.