නහාතකමුනි ස්ථවිරගාථා වර්ණනාව
“වාතරොගාභිනීතො” යනු ආයුෂ්මත් නහාතක මුනි නම් තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක ඉපිද, තුරුණුවියට පැමිණ විද්යා ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගියේය. නිතර පුණ්ය තීර්ථයන්හි නාන්නා වූ නිසා හෙතම නහාතක යැයි ප්රකට විය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ නහාතක, රජගහ නුවර තුන් යොදුනක් පමණ තැන්හි පැතිර ගිය අරණ්යායතනයක වෙසෙමින්, ධාන්ය වර්ගවලින් යැපෙමින් ගිනි පුදමින් සිටියේය. මොහුගේ හදවත තුල දිලෙන අර්හත්භාවයට සුදුසු වූ හේතු සම්පත් ඇති බව කළයක් තුල වූ පහනක් මෙන් දුටු ශාස්තෲන් වහන්සේ ඒ අසපුවට වැඩම කළ සේක. භාග්යවතුන් වහන්සේ දුටු නහාතක ඉතා සතුටට පත්ව තමාට ලැබෙන ආකාරයෙන් දානය පිළිගැන්වීය. භාග්යවතුන් වහන්සේ එම දානය වැළඳූ සේක. මෙසේ දින තුනක්ම දන් වැළඳූ බුදුරදුන් වෙත සිවුවැනි දින පැමිණි නහාතක, “භාග්යවතුන් වහන්ස! නුඹ වහන්සේ ඉතා සියුමැලි වූ ශරීර ඇත්තෙකි. මේ කටුක ආහාරයෙන් යැපෙන්නේ කෙසේද?”යි විචාළේය. එවිට භාග්යවතුන් වහන්සේ ඔහුට ආර්යයන් වහන්සේලාගේ ලද දෙයින් සන්තෝෂවන ගුණය ප්රකාශ කරමින් දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව ඇසූ තාපසතුමා සෝවාන් විය. ශ්රද්ධාවෙන් සසුනේ පැවිදි වූ හෙතෙම රහත් බවට පත්විය. රහත් ඵලයෙහි පිහිටි ඒ තෙරුන් දුටු භාග්යවතුන් වහන්සේ ඒ අරමින් වැඩම කළ සේක. ඒ අසපුවෙහිම විසූ නහාතක තෙරුන්ට ඊට පසු කාලයක දී වාතාබාධයක් ඇති විය. නැවත ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා පිළිසඳර කථා කිරීම් වශයෙන් උන්වහන්සේගේ විහරණය පිළිබඳව මෙසේ විමසූ සේක.
“වාතරොගාභීනීතො ත්වං විහරං කානනෙ වනෙ,
පවිද්ධ ගොචරෙ ළූඛෙ කථං භික්ඛු කරිස්සසී” තී.
පවිද්ධ ගොචරෙ ළූඛෙ කථං භික්ඛු කරිස්සසී” තී.
එවිට තෙරණුවෝ පිළිතුරු වශයෙන් මේ ගාථා පසෙන් සිය පහසු විහරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්හ.
“පීතිසුඛෙන විපුලෙන ඵරිත්වාන සමුස්සයං,
ළූඛම්හි අභිසම්හොන්තො විහරිස්සාමි කානනෙ”
ළූඛම්හි අභිසම්හොන්තො විහරිස්සාමි කානනෙ”
“භාවෙන්නො සත්තබොජ්ඣංගෙ ඉන්ද්රියානි බලානි ච,
ඣාන සො ඛුම්ම සම්පන්නො විහරිස්සං අනාසවො”
ඣාන සො ඛුම්ම සම්පන්නො විහරිස්සං අනාසවො”
“විප්පමුතං කිලෙසෙහි සුද්ධ චිත්තං අනාවිලං,
අභිණ්හං පච්චවෙක්ඛන්තො විහරිස්සං අනාසවො”
අභිණ්හං පච්චවෙක්ඛන්තො විහරිස්සං අනාසවො”
“අජ්ඣත්තං ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා,
සබ්බෙ අස්සො උච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන”
සබ්බෙ අස්සො උච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන”
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා,
දුක්ඛක්ඛයො අනුප්පත්තො, නත්ථිදානි පුනබ්භවො” තී.
දුක්ඛක්ඛයො අනුප්පත්තො, නත්ථිදානි පුනබ්භවො” තී.
එහි “ඣාන සොඛුම්මසම්පන්නො” ධ්යානයන්හි සූක්ෂ්ම භාවයෙන් යුක්තව, ධ්යානයන්හි සූක්ෂ්මභාවය නම් අරූපධ්යානයන්ට සමවැදීමයි. එනිසා “අෂ්ට සමාපත්ති ලබන ලද්දෙක් වීමි”යැයි මෙහිදී පැවසේ. ඒ ප්රකාශයෙන් තමන් වහන්සේගේ උභතොභාග විමුක්තිය අදහස් කරයි. ඇතැම්හු මෙසේ පවසති. “සොඛුම්ම” යනුවෙන් අග්ර මාර්ග ඵලයන්හි අධි ප්රඥා ශික්ෂාව අදහස් කරන ලදි යනුවෙනි. එයින් ද “ඣාන” යන්නෙන් ද තමන් වහන්සේගේ භතො භාග විමුක්තිය ප්රකට කරයි. “විප්පමුත්තං කිලෙසෙහි” විමුක්තියෙන් සංසිඳුණු, සියලු කෙලෙසුන්ගෙන් මිදුණු, එසේම පිරිසිදු වූ ඒ සිත සංකල්පයන්ගෙන් නොකැළඹුණු “අනාවිලං” කෙලෙසුන්ගෙන් මිදුණු, නොකැළඹුණු හා ශුද්ධ චිත්තය යන පද තුනින්ම අර්හත් ඵල චිත්තයම අදහස් කරයි. සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් විස්තර කරන ලදි. මෙම ගාථාවන්ම නහාතකමුනි තෙරුන් වහන්සේගේ රහත් බව ප්රකාශ කරන ගාථා ද විය.
නහාතකමුනි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
බ්රහ්මදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“අක්කොධස්ස” යනු ආයුෂ්මත් බ්රහ්මදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කොසොල් රජුගේ පුතුව උපන්නේය. ඔහු බ්රහ්මදත්ත නම් විය. නිසිවියට පත් එකුමරු ජේතවනාරාමය පිළිගන්නා මහෝත්සවයේදී සිදු වූ බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්රද්ධාවෙන් පැවිදිව විදසුන් කමටහන වඩා සිවුපිළිසිඹියාපත් ෂඩ් අභිඥාලාභී මහතෙර නමක් විය. එක් දිනක් ඒ බ්රහ්මදත්ත තෙරණුවෝ සැවැත් නුවර පිඬුසිඟා වඩින කල්හි එක් බමුණෙක් උන්වහන්සේට ආක්රෝශ පරිභව කළේය. එය ඇසූ තෙරණුවෝ නිශ්ශබ්දව ම පිඬු පිණිස හැසිරුණහ. බමුණා නැවතත් ආක්රෝශ පරිභව කළේය. තෙරණුවෝ ද ඒ බැණුම් අසමින් ම නිශ්ශබ්දව පිඬු සිඟා වැඩියහ. බමුණා “නැවතත් ආක්රෝශ පරිභව කළත් මේ තෙරණුවෝ කිසිවක් නොකියති”යි පැවසීය. ඒ ප්රකාශය ඇසූ තෙරුන් වහන්සේ ඒ බමුණා ප්රධාන පිරිසට දහම් දෙසමින් මේ ගාථා සය වදාළ සේක.
“අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො,
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො”
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො”
“තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති,
කුද්ධං අප්පටිකුජ්ඣනෙතා සංගාමං ජෙති දුජ්ජයං”
කුද්ධං අප්පටිකුජ්ඣනෙතා සංගාමං ජෙති දුජ්ජයං”
“උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච,
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති”
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති”
“උභින්නං තිකිච්ඡන්තං තං අත්තනො ච පරස්සච,
ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”
ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”
“උප්පජ්ජෙ තෙ සචෙ කොධො, ආවජ්ජ කකචූපමං,
උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා, පුත්තමංසූපමං සර”
උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා, පුත්තමංසූපමං සර”
“සචෙ ධාවති චිත්තං තෙ කාමෙසු ච භවෙසු ච,
ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” තී.
ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” තී.
මෙහි “අක්කොධස්ස” යනු ක්රෝධ, වෛර රහිතයාට. ආර්ය්ය මාර්ගයෙන් මුලිනුපුටා දැමූ ක්රෝධ සිත් ඇත්තහුට ක්රෝධයත් කෙසේ උපදිත් ද? ඒ ඒ ක්රෝධ සිත ඉපදීමට බලපාන හේතු නැත යන අර්ථයයි. “දන්තස්ස” යනු උතුම් වූ දමනයෙන්, ආර්ය්ය මාර්ග දමනයෙන් දැමුණු පුද්ගලයාට “සමජීවිනො” කාය විෂම වූ සියලු පැවතුම් අතහැර සම වූ දිවි පැවතුම් වශයෙන් ශාන්ත වූ දිවි පැවතුම් ඇත්තහුට. උපශාන්ත වූ මනා නුවණැති බවින් මනාව සිය ඉරියවු පවත්වන්නහුට. “සම්මාදඤ්ඤා විමුත්තස්ස” මනාව අර්හත්වය, අභිඥාදී ධර්ම දැන සියලු ආශ්රවයන්ගෙන් සිත මුදවා ගත්, ඉෂ්ටාදී අරමුණු පිළිබඳව නො ඇලෙන, තාදී ලක්ෂණයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේට. “කුතො කොධො” ක්රෝධයක් කොයින් ද? මෙසේ සිය රහත් බව දැක්වූ තෙරණුවෝ තමාගේ සිතේ ක්රෝධ රහිත බව ද ඊට හේතුන් ද පවසා; දැන් ක්රෝධයේ ආදීනව හා අක්රෝධයේ ආනිසංස දක්වමින් දහම් දෙසන සේක්, “තස්සෙව” යන දෙවන ගාථාව වදාළහ. එහි “යො කුද්ධං පටිකුජ්ඣති”, යම් පුද්ගලයෙක් තමාට කිපුණු, දොස් කියන පුද්ගලයාට නැවත කිපේ ද දොස් කියයි ද ඉන් පසුව කිපෙන්නාට ම, පසුව අක්රෝශ පරිභව කරන්නාටම අයහපත වේ. මෙලොවදීම නුවණැත්තන්ගේ ගැරහීම් ආදී දුකට ද පරලොව දී නිරයේ දුක් විඳීම් ආදියට ද ඉතාම අයහපත්, කල්යාණ නොවූ දුක්ඛයන්ට පත් වේ. “කිපීමෙහි දී කෝපාන්විත පුද්ගලයාට පාපයක්, අයහපතක් වන්නේය” යන්න කිවයුත්තක් නොවේ. ඇතැම්හු “යමෙක් නොකිපී සිට නැවත කිපෙන්නා නිසා ඔහුට කිපෙයි” යනුවෙන් අර්ථ කියයි. “කුද්ධං අප්පටිකුජ්ඣන්තො”, යමෙක් “මේ පුද්ගලයා කිපියේය, “මේ පුද්ගලයා කිපියේය. ක්රෝධ පරවශ වූවෙකි”යි දැන ඔහුට නැවත නොකිපෙයි ද ඉවසයි ද, ඔහු ජය ගැනීම අසීරු කෙලෙස් සංග්රාමය ජයගන්නේය. ඉක්බිතිව දෙදෙනාටම හිත වැඩ සලසන, යහපත් පිළිවෙත ද දක්වමින් මේ තෙවන ගාථාව වදාළහ. “උභින්නමත්ථං -පෙ- උපසම්මති” යමෙක්, අනෙක් පුද්ගලයා කෝපාන්විත වූ බව දැක, “මොහු දැඩි සේ කෝප වසඟ වූවෙකි” යි දැන ඔහුට මෙත් සිත පතුරුවමින් හෝ මධ්යස්ථශීලීව හැසිරෙමින් සිහි ඇතිව කල්පනාවෙන් ඉවසයි ද ක්රියා කරයි ද, ද්වේෂය නොපතුරුවයි ද; ඔහු තමාටත් අනිකාටත් යන දෙදෙනාට ම මෙලෝ පරලෝ යන උභයාර්ථ සිද්ධිය ගෙනදෙමින් හැසිරෙයි.