බ්‍රහ්මදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“අක්කොධස්ස” යනු ආයුෂ්මත් බ්‍රහ්මදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කොසොල් රජුගේ පුතුව උපන්නේය. ඔහු බ්‍රහ්මදත්ත නම් විය. නිසිවියට පත් එකුමරු ජේතවනාරාමය පිළිගන්නා මහෝත්සවයේදී සිදු වූ බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් කමටහන වඩා සිවුපිළිසිඹියාපත් ෂඩ් අභිඥාලාභී මහතෙර නමක් විය. එක් දිනක් ඒ බ්‍රහ්මදත්ත තෙරණුවෝ සැවැත් නුවර පිඬුසිඟා වඩින කල්හි එක් බමුණෙක් උන්වහන්සේට ආක්‍රෝශ පරිභව කළේය. එය ඇසූ තෙරණුවෝ නිශ්ශබ්දව ම පිඬු පිණිස හැසිරුණහ. බමුණා නැවතත් ආක්‍රෝශ පරිභව කළේය. තෙරණුවෝ ද ඒ බැණුම් අසමින් ම නිශ්ශබ්දව පිඬු සිඟා වැඩියහ. බමුණා “නැවතත් ආක්‍රෝශ පරිභව කළත් මේ තෙරණුවෝ කිසිවක් නොකියති”යි පැවසීය. ඒ ප්‍රකාශය ඇසූ තෙරුන් වහන්සේ ඒ බමුණා ප්‍රධාන පිරිසට දහම් දෙසමින් මේ ගාථා සය වදාළ සේක.
“අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො,
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො”
“තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති,
කුද්ධං අප්පටිකුජ්ඣනෙතා සංගාමං ජෙති දුජ්ජයං”
“උභින්නමත්‍ථං චරති අත්තනො ච පරස්ස ච,
පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම්මති”
“උභින්නං තිකිච්ඡන්තං තං අත්තනො ච පරස්සච,
ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”
“උප්පජ්ජෙ තෙ සචෙ කොධො, ආවජ්ජ කකචූපමං,
උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා, පුත්තමංසූපමං සර”
“සචෙ ධාවති චිත්තං තෙ කාමෙසු ච භවෙසු ච,
ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” තී.
මෙහි “අක්කොධස්ස” යනු ක්‍රෝධ, වෛර රහිතයාට. ආර්‍ය්‍ය මාර්ගයෙන් මුලිනුපුටා දැමූ ක්‍රෝධ සිත් ඇත්තහුට ක්‍රෝධයත් කෙසේ උපදිත් ද? ඒ ඒ ක්‍රෝධ සිත ඉපදීමට බලපාන හේතු නැත යන අර්ථයයි. “දන්තස්ස” යනු උතුම් වූ දමනයෙන්, ආර්‍ය්‍ය මාර්ග දමනයෙන් දැමුණු පුද්ගලයාට “සමජීවිනො” කාය විෂම වූ සියලු පැවතුම් අතහැර සම වූ දිවි පැවතුම් වශයෙන් ශාන්ත වූ දිවි පැවතුම් ඇත්තහුට. උපශාන්ත වූ මනා නුවණැති බවින් මනාව සිය ඉරියවු පවත්වන්නහුට. “සම්මාදඤ්ඤා විමුත්තස්ස” මනාව අර්හත්‍වය, අභිඥාදී ධර්ම දැන සියලු ආශ්‍රවයන්ගෙන් සිත මුදවා ගත්, ඉෂ්ටාදී අරමුණු පිළිබඳව නො ඇලෙන, තාදී ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේට. “කුතො කොධො” ක්‍රෝධයක් කොයින් ද? මෙසේ සිය රහත් බව දැක්වූ තෙරණුවෝ තමාගේ සිතේ ක්‍රෝධ රහිත බව ද ඊට හේතුන් ද පවසා; දැන් ක්‍රෝධයේ ආදීනව හා අක්‍රෝධයේ ආනිසංස දක්වමින් දහම් දෙසන සේක්, “තස්සෙව” යන දෙවන ගාථාව වදාළහ. එහි “යො කුද්ධං පටිකුජ්ඣති”, යම් පුද්ගලයෙක් තමාට කිපුණු, දොස් කියන පුද්ගලයාට නැවත කිපේ ද දොස් කියයි ද ඉන් පසුව කිපෙන්නාට ම, පසුව අක්‍රෝශ පරිභව කරන්නාටම අයහපත වේ. මෙලොවදීම නුවණැත්තන්ගේ ගැරහීම් ආදී දුකට ද පරලොව දී නිරයේ දුක් විඳීම් ආදියට ද ඉතාම අයහපත්, කල්‍යාණ නොවූ දුක්ඛයන්ට පත් වේ. “කිපීමෙහි දී කෝපාන්විත පුද්ගලයාට පාපයක්, අයහපතක් වන්නේය” යන්න කිවයුත්තක් නොවේ. ඇතැම්හු “යමෙක් නොකිපී සිට නැවත කිපෙන්නා නිසා ඔහුට කිපෙයි” යනුවෙන් අර්ථ කියයි. “කුද්ධං අප්පටිකුජ්ඣන්තො”, යමෙක් “මේ පුද්ගලයා කිපියේය, “මේ පුද්ගලයා කිපියේය. ක්‍රෝධ පරවශ වූවෙකි”යි දැන ඔහුට නැවත නොකිපෙයි ද ඉවසයි ද, ඔහු ජය ගැනීම අසීරු කෙලෙස් සංග්‍රාමය ජයගන්නේය. ඉක්බිතිව දෙදෙනාටම හිත වැඩ සලසන, යහපත් පිළිවෙත ද දක්වමින් මේ තෙවන ගාථාව වදාළහ. “උභින්නමත්‍ථං -පෙ- උපසම්මති” යමෙක්, අනෙක් පුද්ගලයා කෝපාන්විත වූ බව දැක, “මොහු දැඩි සේ කෝප වසඟ වූවෙකි” යි දැන ඔහුට මෙත් සිත පතුරුවමින් හෝ මධ්‍යස්ථශීලීව හැසිරෙමින් සිහි ඇතිව කල්පනාවෙන් ඉවසයි ද ක්‍රියා කරයි ද, ද්වේෂය නොපතුරුවයි ද; ඔහු තමාටත් අනිකාටත් යන දෙදෙනාට ම මෙලෝ පරලෝ යන උභයාර්ථ සිද්ධිය ගෙනදෙමින් හැසිරෙයි.
“උභින්නතිකිච්ඡන්තං” තමාගේ ද අනිකාගේ ද යන දෙදෙනාගේම ක්‍රෝධ ව්‍යාධියට පිළියම් කරන, වෛරය ඉවසන ඒ පුද්ගලයා දෙස; “මේ බාලයෙකි”යි උතුම් හැසිරීම් පිළිබඳ නිපුණ නොවූ අදක්‍ෂ අඳබාලයෝ බලති. “තමාට ආක්‍රෝශ පරිභව කරන, පහරදෙන විට කිසිවක් නොකර සිටින මොහු මෝඩයෙකි”යි සිතති. ඔවුහු එසේ සිතනුයේ යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහිකර බැලීම) නැති බැවිණි. “තිකිච්ඡන්තං” යන්න “තිකිච්ඡන්ති” යනුවෙන් ද දක්වති. “පිළියම් කරන ස්වභාවය” යන අර්ථයයි.
මෙසේ තෙරුන් වහන්සේ විසින් දෙසන ලද දහම් ඇසූ අක්කෝසක බමුණා (බැණවැදුණු බමුණා) සංවේගයට පත් ව, සිය තරහ සිත අත්හැර ප්‍රසන්න භාවයට පැමිණ, තෙරුන්ගෙන් සමාව ඉල්ලීය. උන්වහන්සේ කමාකරවා ගෙන, උන්වහන්සේ ළඟම පැවිදි විය. ඔහුට කමටහන් දෙනවිට “මොහුට මෛත්‍රී කමටහනම සුදුසුය”යි දුන් බ්‍රහ්මදත්ත තෙරණුවෝ, ක්‍රෝධය සිතට නැඟුණු විට සිහිපත් කර බැලිය යුතු ආකාරය දක්වමින් “උප්පජ්ජෙ තෙ” යන පස්වන ගාථාව වදාළහ. “උප්පජ්ජෙ තෙ සචෙ”, ඉදින් නුඹට කමටහන් වඩමින් සිටින විට කිසියම් පුද්ගලයකු නිසා බොහෝ කලක් පුරුදු කළ ක්‍රෝධ සිත උපන්නේ නම්, ඒ සිත සන්සිඳවීම පිණිස,
“ඉදින් මහණෙනි! පහත් ළාමක හැසිරීම් ඇති සොරු දෙපැත්තෙහිම දඬු ඇති (දෙපසට ඇදීමෙන් කැපෙන) කියතකින් ඔබගේ ශරීරය කපන්නාහු ද, එවිට සිත දූෂ්‍ය කරගන්නා වූ යමෙක් වේ නම් හෙතෙම මාගේ අනුශාසනය ඉටු කරන්නෙක් නොවේ” යනාදී වශයෙන් බුදුපියාණන් වහන්සේ කකචූපම සූත්‍රයේ දී වදාළ උපමාව හා අවවාදය සිහිපත් කරගන්න. “උප්පජ්ජෙ චෙ රසෙ තණ්හා”, ඉදින් නුඹට මිහිරි, රසවත් ආදී වශයෙන් රස තෘෂ්ණාව, ආහාරයේ දැඩි ආශාව ඇති වේ නම් ඒ ආහාර ගිජු සිත සංසිඳවීම සඳහා පුත්‍රමාංසෝපමාව ගත යුතුයි. කාන්තාරයේ ගිය දෙමාපිය දෙදෙන මරණයට පත් තම පුතුගේ ශරීර කොටස් කමින් කාන්තාරයෙන් එතෙර වූවාක් මෙන් ආහාර තෘෂ්ණාවෙන් වැළකී, රස තෘෂ්ණාව බැහැරලා සසුනේ පැවිදි වූ කුලපුත්‍රයා විසින් පිණ්ඩපාතය වැළඳිය යුතුයි. එසේ සැපවිහරණයෙන් යුක්ත වන්න”යි වදාළ පුත්‍ර මාංස උපමාව හා අවවාදය සිහිපත් කරගන්න.
“සචෙ ධාවති තෙ චිත්තං” අනුවණින් මෙනෙහි කිරීමෙන් නුඹගේ සිත පංචකාම ගුණයන්හි කැමැත්තෙන්, ආශාවෙන් ඇලේ. කාමභවාදියෙහි ඇලී භවයන් පැතීම් වශයෙන් දුවයි. ඇලෙයි. හැසිරෙයි. “ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසුං” එසේ දිවීමට නොදෙමින්, ගොයම් කෑමට ලොල් වූ දුෂ්ට, නපුරු කුළු මීමකු යොතින්, රැහැනින් දැඩිව බැඳ තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නා දක්‍ෂ පුරුෂයකු මෙන් තම සිත ද සතිය නම් රැහැනින් සමාධි නම් ටැඹෙහි බැඳ වහා ම, ක්‍ෂණිකව නිග්‍රහ කරව. යම්සේ කෙලෙස් දුරලා, කෙලෙස් රහිත වූවක් කරන්නේ ද එසේ සිත දමනය කරව. ඇතැම්හු මේ බ්‍රහ්මදත්ත තෙරුන් පුහුදුන්ට සිට තමාට කළ ආක්‍රෝශ පරිභව ඉවසා, ඒ මිනිසුන්ට ආර්යගුණ ප්‍රකාශ කරමින් දහම් දෙසා, පසුව අවසානයට දැක්වූ දෙකින් තමන් වහන්සේටම අවවාද කරගනිමින් විදසුන් වඩා රහත් ව, ඒ බව ප්‍රකාශ කිරීම සඳහා මේ ගාථා සය ම නැවතත් වදාළ බව කියති.