සිරිමන්ද ස්ථවිරගාථා වර්ණනාව
“ඡන්නමති වස්සති” යනු ආයුෂ්මත් සිරිමන්ද තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී පින්දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී සුංසුමාර ගිරියේ බමුණු පවුලක උපන්හ. සිරිමන්ද නමින් ප්රකට වූ මේ බමුණු තරුණයා තුරුණුවියට පත්ව, භේසකලාවනයේ වෙසෙන බුදුරදුන් වෙත එළඹ ධර්මශ්රවණය කළේය. ඉන් ජනිත වූ ශ්රද්ධාව නිසා බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලැබූ සිරිමන්ද තෙරණුවෝ, මහණදම් පුරමින් සිටියහ. එක් උපෝසථ දිනයක පාමොක් උදෙසන ස්ථානයෙහි වැඩසිටි උන්වහන්සේ; නිදාන උදෙසීම අවසන් වූ කල්හි, “මේ ඇවැත් ප්රකට කළ පුද්ගලයාටම පහසුවක් වේ” යනුවෙන් පෙළෙහි අරුත් සලකා බලමින්, විමසමින් “තමා පැමිණි ඇවැත නොපවසා සඟවන්නාට ඒ මත තව තවත් ඇවැත් ඇති වේ. එය ඔහුට මහණදම් පිරීමට පහසුවක් නොවේ. තම සිදු වූ ඇවැත් හෙළිකරමින් ඊට අවශ්ය පිළියම් කරන්නාටම පහසු ඇති වේ” යනුවෙන් සිතූහ. මෙසේ අර්ථ විමසා බලත්ම “පුදුමයි! මේ ශාස්තෲ ශාසනය ඉතා පිරිසිදු වූවකි”යි යන පහන් සිත උන්වහන්සේට ඇති විය. එසේ උපන් ප්රීතිය මැඩපවත්වා ගනිමින් විදසුන් වැඩූ උන්වහන්සේ රහත් වූහ. තමාගේ ශාසනික පිළිවෙත් මග සිහිපත් කර බලමින් ඒ පිළිබඳව පහන් සිත් ඇති සිරිමන්ද රහතන් වහන්සේ, සෙසු පුහුදුන් භික්ෂූන්ට අවවාද දෙමින් මේ ගාථා සය වදාළහ.
“ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති,
තස්මා ඡන්තං විවරෙථ එවන්තං නාතිවස්සති”
තස්මා ඡන්තං විවරෙථ එවන්තං නාතිවස්සති”
“මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො,
තණ්හා සල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූපායිතො සදා”
තණ්හා සල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූපායිතො සදා”
“මච්චුනාබ්භාහතො ලොකො, පරික්ඛිත්තො ජරාය ච,
හඤ්ඤති නිච්චමත්තාණො පත්තදණ්ඩොව තක්කරො”
හඤ්ඤති නිච්චමත්තාණො පත්තදණ්ඩොව තක්කරො”
“ආගච්ඡන්තග්ගික්ඛන්ධාව මච්චුඛ්යාධිජරා තයො,
පච්චුග්ගන්තුං බලං නත්ථි, ජයො නත්ථි පලායිතුං”
පච්චුග්ගන්තුං බලං නත්ථි, ජයො නත්ථි පලායිතුං”
“අමොඝං දිවසං කයිරා අප්පෙන බහුකෙන වා,
යං යං විහරතෙ රත්තිං තදූනං තස්ස ජීවිතං”
යං යං විහරතෙ රත්තිං තදූනං තස්ස ජීවිතං”
“චරතො තිට්ඨතො වාපි ආසීන සයනස්ස වා,
උපෙති චරිමා රත්ති, නතෙ කාලො පමජ්ජිතුං” තී.
උපෙති චරිමා රත්ති, නතෙ කාලො පමජ්ජිතුං” තී.
මෙහි “ඡන්නං” වසන ලද, විවෘත නොකළ, ප්රකාශ නොකළ දුශ්චරිතයයි. ඇවැතයි. “අතිවස්සති” අපත්ති වැස්සක් එකතු වී අතිශයින් වසියි. ඇවැත් සැඟවීම; අලජ්ජි, ලැජ්ජා නැති බවට හේතු වේ. එසේ ඇවැත් සැඟවීමෙන්, ඊටත් වඩා වැඩි වූ අතිශය පාපී ක්රියා ලැජ්ජාව නොමැති කමින් සිදු කරයි. ඇවැත්වලට පැමිණෙයි. ඇවැත් සැඟවීම ඇවැත් වර්ෂාවට හේතුවන බව කියන ලදි. “විවටං” නොවැසුණු. විවෘත වූ. “නාති වස්සති” මෙහි “අති” යනු උපසර්ගයකි. “නොවසියි” යන අර්ථයයි. මෙහි කෙලෙස්, ඇවැත් වර්ෂාව නොපැවතීම ඉහත විස්තර කළ ක්රමයෙන් දතයුතුයි. චිත්ත සන්තානයේ ඉතා පිරිසිදු බව නිසා කෙලෙස්, ඇවැත් වර්ෂාව නොපවතියි. “තස්මා” යනු මුලින් කියූ අර්ථයම හේතු කාරණා වන බැවින් “එනිසා” යැයි දක්වයි. සැඟවූ දුශ්චරිතය නිසා ඇවැත් කෙලෙස් අධික වර්ෂාව ඇති වේ. දුශ්චරිත හෙළි කිරීමෙන් ඒ වර්ෂාව නොපවතියි යන අර්ථයයි. “ඡන්නං විවරෙථ” පුහුදුන් බව නිසා ඇවැත් සැඟවීමේ අදහස උපන්නත්, ඒ සිතේ නොපිහිටා ඇවැත (වරද) හෙළි කරන්නේය. ප්රකට කරන්නේය. සුදුසු පරිදි පිළියම් කරන්නේ ය. “එවං” සුදුසු පරිදි ධර්මානුකූලව පිළියම් කරමින් ඇවැත හෙළිකිරීමෙන්, “තං” යනු ඒ සැඟවූ ඇවැත, “නාතිවස්සති” කෙලෙස් හා ඇවැත් වර්ෂාව නොපවත්වයි. ඒ පුද්ගලයා පිරිසිදු භාවයෙහි පිහිටුවයි.
දැන් “ඒකාන්තයෙන්ම, වහාම සිය සිත පිරිසිදු කළ යුතුයි. අප්රමාදීව මහණ දම් පිරිය යුතුයි.” යන්නට හේතුවන සංවේග වස්තුව දක්වමින්, “මච්චුනාබ්භාහතො ලොකො” යන දෙවන ගාථාව වදාරති. එහි “මච්චුනාබ්භාහතො ලොකො” යනු මේ සියලු සත්ත්ව ලෝකය; සොරෙකු මෙන්, චෞර ඝාතකයෙකු නියමිත සියලු සොරු නසන්නාක් මෙන්, මාරයා විසින් මරණයෙන් නසනු ලැබේ. කිසිවකු ඔහුගේ අතින් නොමිදේ. “ජරාය පරිවාරිතො” මේ ලෝකයා උපතින් පසුව මරණයට පත්වන තුරුම දිරායෑමෙන් පිරිවරාගෙන ඇත. ජරාවෙන් මැඬගෙන ඇත. ජරා රාශියෙන් නොමිදුණේය යන අර්ථයයි. “තණ්හාසල්ලෙන ඔතිණ්ණො”, තණ්හාව නම් සැත, ශරීරයේ ඇතුළතින් ඇනී ගිය විෂ පිරි ඊතලයක් මෙන් උපාදාන ලක්ෂණයෙන් බැස ගත්තේය. හදවතේ ඇතුලතට බැස ගත්තේය. තණ්හාවෙන් පෙලීම්, විඩාවීම් ඇති කරමින් අධ්යාත්මයට පීඩා කරන බැවින් ද අධ්යාත්මය උදුරා දමන බැවින් ද සැතක් යැයි කියන ලදි. “ඉච්ඡාධූපායිතො” යනු අරමුණු පතන ලක්ෂණයෙන් ආශාවෙන් තවන ලද්දේය. ඒ ඒ විෂය අරමුණු කැමැත්තා වූ පුද්ගලයා තමා කැමති වූ අරමුණ ලැබුවත්, නොලැබුවත්; ඒ ආශාව නිසාම දැවේ. තැවේ. ආශාවෙන් සංත්රාසයට පරිදාහයට පැමිණේ. “සදා” යනු සැමදාම. මේ පදය ඉහත කී සෑම පදයක් සමගම යෙදිය යුතුයි.
තෙවන ගාථාවේ “පරික්ඛිත්තො ජරාය ච” යනු හුදෙක් මාරයා විසින් පමණක් ලෝක සත්ත්වයා මඬින ලද්දේ නොවේමය. “ලෝක සත්ත්වයා ජරාවෙන් ද මඩනා ලද්දේය. ජරාවෙන් පෙලෙන්නේය. ජරාව නමැති පවුරින් වටකරන ලද්දේ එය ඉක්මවා නොයන්නේය” යන අර්ථයයි. “හඤ්ඤති නිච්චමත්තාණො” තමා නිතරම පිහිටක් නැතිව අසරණ කරමින් ජරා මරණ දෙක අපට බාධා කරයි. පීඩා කරයි. ඒ කෙසේ ද? පැමිණි දඬුවම් ඇති වරදකරුවෙක්, සොරෙක්, කළ අපරාධ ඇත්තෙක්, වදයට පත්වූවෙක් රාජාඥාවෙන් පිහිටක් නැත්තෙකු කර නසන්නාක් මෙනි. එලෙසින්ම මේ ලෝක සත්ත්වයා ජරා මරණ දෙක නිසා අසරණ වේ යැයි දක්වයි.
“ආගච්ඡන්තග්ගික්ඛන්ධාව”, මහ වනය ගිනිගත් කල්හි, ඒ මහවනය විනාශ කරමින් නැගී එන ඉතා විශාල ගිනිකඳක් මෙන් මරණ, ව්යාධි, ජරා යන දැවීම් තැවීම් කරන හෙයින් “ගිනි කඳු” නම් වූ මේ ධර්මතා තුන සත්ත්ව ලෝකයා මැඩලමින්, වනසමින් පැමිණේ. ඊට විරුද්ධව නැගී සිටීමට පෙරට ගොස් ඒ ධර්මතා මැඩ පැවැත්වීමට සමත් වූ බලයක්, උත්සාහයක් නැත. එබඳු ජවයක් මේ ලෝක සත්ත්වයාට නැත. මේ ජරා මරණ ව්යාධි යන ධර්මතා බැහැර දමා ඒවා ඉක්මවා පලායෑමට සමත් කාය බලයක් ද මේ ලෝක සත්ත්වයාට නැත. “පච්චුග්ගන්තුං” පෙරට එන්නට “බලං නත්ථි” බලයක් නැත. “ජයො නත්ථි පලායිතුං” පලා යෑමට ශක්තියක් ද නැත. චිත්ත සමාධි ආදී කුසලාභිවර්ධනයේ අසමත් වේ නම්, ප්රතිකාර නොලබන මේ මරණව්යාධීහු බලවත් වේ. මේ නිතර නැගී සිටින්නා වූ පසමිතුරන්ගේ බල බිඳීමට ඉදින් කුමක් කළ යුතු ද? “අමොඝං දිවසං කයිරා අප්පෙන බහුකෙන වා” යටත් පිරිසෙන් කිරිදෝනා පමණ වූ හෝ කාලයක්, ඊට වැඩි වූ කාලයක් හෝ මුලු රෑ දාවල් දෙකෙහිම හෝ විදසුන් භාවනාව වඩමින්, විදසුන් මනසිකාරයෙන් නොසිස්ව, නොවඳව දවස ගත කරන්නේය. කාලය ගෙවන්නේය. “යං යං විහරතෙ රත්තිං තදූනං තස්ස ජීවිතං” මේ සත්ත්වයා යම් යම් රාත්රියක් වෙසේ ද ගත කරයි ද ඉක්මවයි ද ඒ ඒ රාත්රියක්, රාත්රියක් පාසා එම සත්ත්වයාගේ ජීවිතය අඩු වේ. ක්ෂය වේ. රෑ ඉක්මවීම යනු ජීවිතය ඉක්මවීමයි. නොනැවතී රෑ ගෙවී යාමත් ජීවිතය ගෙවී යාමත් සිදු වේ.