සබ්බකාමී ස්ථවිරගාථා වර්ණනාව
“දිපාදකො” යනාදී ගාථා ආයුෂ්මත් සබ්බකාමී තෙරුන්වහන්සේ විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඇති වූ අර්බුදයක් පිරිසිදු කර, නැවත මුල් ස්වභාවයට ගෙනවුත් (දුර්මත බැහැර ලා පිරිසිදු බුදු දෙසුමම හෙළිකර) තැබූ එක් මහතෙරනමක් දැක; “මම ද අනාගතයේ එක් බුදුවරයෙකුගේ සසුනේ පහළවන අර්බුද බැහැරලා නැවත නියම බුදු දෙසුම පිරිසිදු කර දැක්වීමට සමර්ථයෙක් වේවා”යි පැතූහ. ඒ ප්‍රාර්ථනාවට අනුකූල වූ පින් දහම් සිදුකරමින් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට පෙරදීම විශාලා මහනුවර ක්‍ෂත්‍රිය පවුලක ඉපිද “සබ්බකාමී” නමින් ප්‍රකට විය. නිසි වයසට එළඹි ඒ රජකුමරුට නෑයන් විසින් සුදුසු මනාලියක් ගෙනවුත් පාවාදනෙ ලදි. නමුත් කාමුක සම්පත්හි නොඇලුණු සිතැති සබ්බකාමී කුමරු ගිහිගේ පිළිකුල් වූ බැවින් ගිහිසැප හැරදමා ගොස්, ධර්මභාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වයි. මහණදම් පුරමින් සිය උපාධ්‍යායන් වහන්සේ සමග විශාලාවට පැමිණ; සිය ඥාතීන් බැලීමට වැඩම වූ සබ්බකාමී තෙරුන් වෙත; උන්වහන්සේගේ ගිහිකල භාර්යාව ස්වාමි විප්‍රයෝගය නිසා කෘශ වූ දුර්වර්ණ සිරුරින් ද අලංකාර නොවූ කිලිටි වස්ත්‍රවලින් ද යුතුව අඬමින් පැමිණ තෙරුන්ට වැඳ එකත් පසෙක සිටියාය. ඇය දුටු සබ්බකාමී තෙරණුවෝ කරුණාව පෙරටුකරගත් මෙත් සිත ඇය කෙරෙහි පැතිරවූහ. නුසුදුසු අරමුණ පැතිර වූ මේ මෙත් සිත අනුවණින් මෙනෙහි කිරීම නිසා (අයෝනිසෝ මනසිකාරයෙන් යුතු හෙයින්) උන්වහන්සේගේ සිතේ වහා කෙලෙස් දහම්, රාගී හැඟීම් වර්ධනය විය.
ඉන්පසු එකරුණ දුටු තෙරුන් වහන්සේ කසපහර ලද උසස් කුලයේ (අජානීය) අශ්වයකු මෙන් වහා සොහොනට වැඩමවා අසුභ නිමිත්තක් ලැබ, එය සිහිකිරීමෙන් ලබනලද ධ්‍යානය පාදක කරගෙන විදසුන් සිහිකිරීමෙන් ලබන ලද ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා රහත් වූහ. එවිට උන්වහන්සේගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) තම දුවණියන් ඉතා අලංකාරවත්ව සරසා ගෙන මහත් වූ පිරිවරින් තෙරුන් සිවුරු හරවා ගැනීමේ අදහසින් විහාරයට පැමිණි අවස්ථාවෙහි; සබ්බකාමී තෙරණුවෝ ඔවුන්ගේ අභිප්‍රාය දැන, තමන් වහන්සේ කාමයන්හි නොඇලුණු බවත්, සෑම තැනකම නො ඇලෙන බවත් ප්‍රකාශ කරමින් මේ ගාථා සය වදාළහ.
“දිපාදකොයං අසුචි දුග්ගන්‍ධො පරිහීරති,
නානා කුණප පරිපූරො විස්සවන්තො තතො තතො”
“මිගං නිලීනං කූටෙන බලිසෙනෙව අම්බුජං,
වානරං විය ලෙපෙන බාධයන්ති පුථුජ්ජනං”
“රූපා සද්දා රසා ගන්‍ධා ඵොට්ඨබ්බා ච මනොරමා,
පඤ්චකාම ගුණා එතෙ ඉත්‍ථි රූපස්මිං දිස්සරෙ”
“යෙ එතා උපසෙවන්ති රත්තචිත්තා පුථුජ්ජනා,
වඩ්ඪෙන්ති කටසිං ඝොරං ආචිණන්ති පුනබ්භවං”
“යො වෙතා පරිවජ්ජෙති සප්පස්සෙව පදාසිරො,
සොමං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”
“කාමෙසවාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො,
නිස්සටො සබ්බකාමෙහි පත්තො මෙ ආසවක්ඛයො” තී.
මෙහි “දිපාදකො” පා ඇති, නැති නැති සැම සත්ත්‍වයකුගේම කය අශූචියෙන් පිරුණේම ය. මෙහි “දෙපා ඇති” යනුවෙන් අධිකාර වශයෙන් හෝ ඉතා උසස් වෙන්කිරීම් වශයෙන් විශේෂ කර දක්වන ලදි. අනෙකුත් අශූචියෙන් පිරි සත්ත්‍වයන්ගේ ශරීර ලුණු, ඇඹුල් දමා මනුෂ්‍යයන්ගේ භෝජනය සඳහා ගනිති. නමුත් මිනිස් ශරීර කොටස් එසේ නො ගනියි. එනිසා එසේ මිනිස් ශරීරය ඉතාමත් අශුචි සහගත බව දැක්වීමට මෙසේ “දෙපා ඇති” යනුවෙන් කියන ලදි. “අයං” මේ, ඒ ඥාතීන් විසින් ඉදිරියේ තැබූ ස්ත්‍රී රූපය සඳහා මෙය කියන ලදි. “අසුචි” අසුචි, අපවිත්‍ර වූවක් මය. මේ ශරීරයේ කිසිදු පිරිසිදු, පවිත්‍රභාවයක් නොමැත. “දුග්ගන්‍ධො පරිහීරති”. ඉතා දුගඳ පිළිකුල් වූ මේ ශරීරය මල් ගඳ විලවුන්වලින් සකසාගෙන පරිහරණය කරනු ලැබේ. “නානා කුණපපරිපූරො” කෙස්, ලොම් ආදී අනේකප්‍රකාර කුණපයන්ගෙන් පිරිපුන්ය. “විස්සවන්තො තතො තතො” මල් ගඳ විලවුන් ආදියෙන් පිළිකුල් බව වසා ගැනීමට වෑයම් කළත්, ඒ උත්සාහය නිෂ්ඵල කරමින් මේ නව දොරින් කෙළ, සෙම්, සොටු ආදී අශුචීත්, රෝම කූපයන්ගෙන් දහඩියත් වැගිරෙන්නේ ම ය. එසේ වගුරුවමින් පරිහරණය කරයි.
මෙසේ ඉතා පිළිකුල් සහගත වූ මේ කය උගුල් ආදියෙන් මුවන් බැඳගන්නාක් මෙන්, රූපාදී ප්‍රිය අරමුණු අඳබාල පුහුදුන් පුද්ගලයන් රවටා විපතට පමුණුවන්නේයැයි දක්වමින් “මිගං නිලීනං” ආදි දෙවන ගාථාව වදාළහ. “මිගං නිලීනං කූටෙන” වැදිපුත්‍රයා දැල්, උගුල් ආදියෙන් සැඟවී සිටින, මුවහ වී සිටින මුවකු අල්ලාගන්නාක් මෙන්, මෙහි අර්ථ පවසන විට “ඉව” ශබ්දය යොදා අර්ථ ගතයුතුයි. “ඉව” මෙන්, “බලිසෙනෙව අම්බුජං” බිලී කටුවෙන් ආහාරයේ ලොල් වූ මාළුවකු අල්ලා ගන්නා මසුන් මරන්නකු මෙන් “වානරං විය ලෙපෙන” ගල්, ගස්, අතුවල ගැල් වූ වඳුරු මලයෙන්, වඳුරු ආලේපයෙන් වඳුරකු අල්ලා ගන්නා මුව වැද්දකු මෙන් මේ අඳබාල පුහුදුන් පුද්ගලයා රවටා විපතට පත්කර ගනියි.