මිගජාල ස්ථවිරගාථා වර්ණනාව
“සුදෙසිතො” යනු ආයුෂ්මත් මිගජාල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව සසර ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරගෙන වුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර විශාඛා මහ උපාසිකාවගේ පුතකු ලෙස උපන්හ. ඔහුගේ නම මිගජාල නම් විය. නිතරම විහාරයට යන ඔහු ධර්මශ්රවණය කොට, ලැබූ ශ්රද්ධාව නිසා සසුනේ පැවිදි විය. නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් වූ මිගජාල තෙරණුවෝ සිය රහත් බව ප්රකාශ කරමින් මේ ගාථා සය වදාළ සේක.
“සුදෙසිතො චක්ඛුමතො බුද්ධෙනාදිච්චබන්ධුනා,
සබ්බසංයෝජනාතීතො සබ්බවට්ට විනාසනො”
සබ්බසංයෝජනාතීතො සබ්බවට්ට විනාසනො”
“නිය්යානිකො උත්තරණො තණ්හාමූලවිසොසනො,
විසමූලං ආඝාතනං ඡෙත්වා පාපෙති නිබ්බුතිං”
විසමූලං ආඝාතනං ඡෙත්වා පාපෙති නිබ්බුතිං”
“අඤ්ඤාණමූලභෙදාය කම්මයන්ත විඝාටනො,
විඤ්ඤාණානං පරිග්ගහෙ ඤාණවජිරනිපාතනො”
විඤ්ඤාණානං පරිග්ගහෙ ඤාණවජිරනිපාතනො”
“වෙදනානං විඤ්ඤාපනො උපාදානප්පමොචනො,
භවං අංගාරකාසුංව ඤාණෙන අනුපස්සකො”
භවං අංගාරකාසුංව ඤාණෙන අනුපස්සකො”
“මහාරසො සුගම්භීරො ජරාමච්චුනිවාරණො,
අරියො අට්ඨංගිකො මග්ගො දුක්ඛුපසමනො සිවො”
අරියො අට්ඨංගිකො මග්ගො දුක්ඛුපසමනො සිවො”
“කම්මං කම්මන්ති ඤත්වාන විපාකා ච විපාකතො,
පටිච්චුප්පන්නධම්මානං යථා වා ලොකදස්සනො,
මහාඛෙමංගමො සන්තො පරියොසාන භද්දකො” තී.
පටිච්චුප්පන්නධම්මානං යථා වා ලොකදස්සනො,
මහාඛෙමංගමො සන්තො පරියොසාන භද්දකො” තී.
මෙහි “සුදෙසිතො” මනාව දෙසන ලදි. හික්මවිය යුතු ජනයාගේ අදහස් අනුව මෙලෝ පරලෝ දහම්, පරමාර්ථ දහම් යථාස්වභාවයෙන් දක්වමින් දෙසන ලදී යන අර්ථයයි. නැතහොත් “සුදෙසිතො” යනු මනාව දෙසන ලද පැවැත්ම, නැවැත්ම ද ඒ දෙකටම හේතුන් ද නොවෙනස්ව ප්රකාශ කිරීම් වශයෙන් දක්වන ලද, මනාව දෙසූ ස්වාක්ඛාත වූ. “චක්ඛුමතා” පසැස් ඇති; මසැස, දිවැස, ප්රඥා ඇස, බුදු ඇස හාසමතැස (සමන්ත චක්ෂු) යන පසැසින් යුතු. “බුද්ධෙන” සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින්. “ආදිච්ච බන්ධුතා” සූර්ය වංශික වූ. ලෝකයේ ක්ෂත්රිය වංශ දෙකකි. ආදිත්ය (සූර්ය) වංශය හා සෝම (චන්ද්ර) වංශය යනුවෙනි. මේ දෙකින් ආදිත්ය වංශය ඔක්කාක රජුගෙන් ඇරඹුණි. එම ඔක්කාක රජුගෙන් ඇරඹි ශාක්ය වංශය ද ආදිත්ය ගෝත්ර වේ. එනිසාම භාග්යවතුන් වහන්සේ ආදිත්ය බන්ධු වේ. නැතහොත් සූර්යයාගේ නෑ වූ බැවින් භාග්යවත්හු ආදිත්ය බන්ධු වෙති. මේ අර්ථය ඉහතින් කියන ලද්දේමය. කාමරාගා දී සියලුම සංයෝජන මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ “සබ්බසංයොජනාතීතො” නම් වෙති. කර්ම, ක්ලේශ, විපාක ඇති සසර පැවතීම නම් වෘතය වනසන ලද, විධ්වංසනය කරන ලද හෙයින් “සබ්බවට්ටවිනාසනො” නම් වෙති. සංසාරය නැමති දැලෙන් මුදවන හෙයින් නිවණ නෛර්ය්යාණික “නිය්යානිකො” නම් වේ. සංසාර මහෝඝයෙන් සත්ත්වයා එතෙර කරවන හෙයින් “උත්තරණො” නම් වේ. කාම, තණ්හාදී සියලු ඇලීම්වලට මුල් වූ අවිද්යාවද අයෝනි සෝ මනසිකාරය ද (අනුවණින් මෙනෙහි කිරීම) වියලවා දමයි, වේලවා දමයි යන අරුතින් “තණ්හාමූල විසෙසනො” නම් වේ. ත්රිවිද්යා මනාව අවබෝධ කරගත් පුද්ගලයාගෙන් දුරුවන බැවින්, විෂවූ දුකට හේතුභූත - මූලාධාර වූ බැවින් සත්ත්වයන්ට විෂ මුලක් වූ “විසමුලං” ව්යසනයන්ට උත්පත්තිස්ථාන වූ බැවින් “ආඝාතනං” සතුන් හෝ මිනිසුන් මරණ තැනක් වූ කර්ම, කර්මක්ලේශ මුලිනුපුටා දමා “නිබ්බුතිං” නිවීමට, නිවණට පැමිණෙයි.
තෙවන ගාථාවේ නොදැනීමට හේතු වූ බැවින් “අඤ්ඤාණමූල” නම් වූ, අයොනිසෝ මනසිකාරය ද ආශ්රවයෝ ද අඥාන බවේ මූලයන්ය. “ආශ්රව ඇතිවීමෙන් අවිද්යාව ඇති වේ” යැයි කියන ලදි. ඒ අවිද්යාව බිඳ දැමීමට වජ්රයක් වැනි ඥානය යොදාගෙන, නැතිනම් “අවිද්යා ප්රත්ය හේතුවෙන් සංස්කාර ඇති වේ” යනාදී දේශනාව නිසා අවිද්යාවට, අඥාන බවට මුල් වූ බැවින් “අඤ්ඤාණ මූලං” නම් වන භව චක්රය, ආර්ය මාර්ග නම් වූ වජ්රයෙන් සිඳ බිඳ දැමීමට දෙසන ලද බැවින් “අඤ්ඤාණමූල භෙදාය” නම් වේ. “කම්මයන්තවිඝාටනො” කර්මය හා ගැළපූ ආත්මභාවය නම් යන්ත්රය විධ්වංසනය කර දමන, “විඤ්ඤාණානං පරිග්ගහෙ”, “කර්මභවාදියෙහි තම තමාට අයත් පරිදි කර්මය විසින් දැඩිව විඥානය අල්ලා ගැනීමට පැමිණි කල්හි.” යනුවෙන් සෙසු වදන් මීට ගලපාගත යුතුයි. ඒ ඒ භවයෙහි පිළිසිඳ ගත් බැවින් ඒ ඒ භවයට නියමිත වූ විඤ්ඤාණස්ථිතිය, විඤ්ඤාණයේ පැවැත්ම මෙහිදී ගන්නා ලද්දේමය. “ඤාණවජිරනිපාතනො” ප්රඥාව නම් වජ්රයේ වැටීමෙන්, ඤාණය නැමැති වජ්රායුධය හෙළා, ඒ අවිද්යාදී අඥාන මූලයන් නසා දැමීමෙන්, ලෝකෝත්තර ධර්මය වනාහි සත්ත්වයන් උපදින සප්ත භවයන්හි ඉපදීමට සුදුසු වූ විඥානය නසමින් ම උපදියි.
“වෙදනානං විඤ්ඤාපනො” සුඛ දුක්ඛාදී ත්රිවිධ වේදනාවන් පිළිවෙලින් දුක් හුල්, අනිත්යාදී වශයෙන් තත්වූ පරිද්දෙන් දැනුම් දෙන, පවසන. “උපාදානප්පමොචනො” කාමාදී සිවු උපාදානයන්ගෙන් තම චිත්ත සන්තානය මුදවන. “භවං අංගාරකාසුංව ඤාණෙන අනුපස්සකො” කාමාදී නවවිධ භවයන්හි එකොළොස් ගින්නෙන් දැවෙන බැවින්, ඒ කාමාදීභවයන්ට ඇලුණු පුද්ගලයා අඟුරුවලක සේ දැවෙන බව මාර්ග ඥානයෙන් ප්රත්යක්ෂ වශයෙන් ම දැන දක්වන ලද.
ශාන්ත ප්රණීත භාවයෙන් අතෘප්තිකර අර්ථයෙන් මහාරස ඇති, නැතිනම් පරිඥාදී මහත් වූ කටයුතු ඇති බැවින් ද ශ්රමණබවේ ඵල ලැබීම් වශයෙන් මහත් වූ සම්පත් විඳින බැවින් ද “මහාරසො” මහා රස ඇති, රැස් නොකළ උපකරණ ඇති බැවින් අල්ලාගැනීම ඉතා අපහසු, පිහිටක් නොලබන බැවින් ඉතා ගැඹුරු වූ “සුගම්හීරො” අතිගැඹුරු. “ජරාමච්චුනිවාරණො” අනාගතයේ භවයන්හි ඉපදීම වැළකීම නිසා ජරාවෙන්ද මරණයෙන් ද මුදවන, ජරාමරණ වළකන. දැන් මෙසේ වර්ණනා කරන ලද ධර්ම රත්නයේ ස්වරූපය, ආකාරය දක්වමින් “අරියො අට්ඨංගිකො මග්ගො” යනුවෙන් පවසා නැවත එහි ගුණ කිහිපයක් විවරණ කිරීමට “දුක්ඛුපසමනො” යනාදිය පැවසූහ. එහි අර්ථ මෙසේය. ඉතා පිරිසිදු අර්ථයෙන් “අරියො” ආර්ය වූ. සම්මා සමාධිය ආදී අංග අටක එකතුවක් බැවින් “අට්ඨංගිකො” අට්ඨංගික වූ. නිවණ සොයා යෑම් අර්ථයෙන් “මග්ගො” මාර්ගයක් වූ. සියලු සර දුක් සන්සිඳුවන හෙයින් “දුක්ඛූපසමනො” නම් වූ. ක්ෂේම නිර්භය ස්ථානයක් වූ බැවින් “සිවො” නම් වූ.
මේ සස්නෙන් බැහැර සමයක සම්මා සම්බුද්ධ නොවූවන් විසින් දෙසන ලද පරිදි කර්ම විපාකයෝ විපර්යාස වේ. වෙන් වේ.” යැයි කියත් ද එසේ වෙනස් නොකර ප්රත්යෝත්පන්න ධර්ම “ප්රතීත්ය සමුත්පාද ධර්මයන්” ලෙස කර්මය “කර්මය” යැයි ද විපාක “විපාක” වශයෙන් දැන, පූර්වභාග ඥානයෙන් දැනගැනීම් හේතුවෙන්, “ශාශ්වත-උච්ඡේද යන දෘෂ්ටි දුරුකර, තත්වාකාරයෙන් ආලෝකය දක්නා වූ, ඒ අරි අටඟ මඟ යෑමෙන් ලෝකෝත්තර ඤාණාලෝකය දක්නා වූ. නිවන් දුටු කිසිවකුට කිසිතැනෙක, කිසිදාක උපද්රවයක් නොවන බැවින් “මහාඛෙමං” මහා ක්ෂේම භූමියක් වූ නිවණට සත්ත්වයන් කැඳවාගෙන යන බැවින් “මහා ඛෙමංගමො” නම් වූ; සියලු කෙලෙස් දැවීම්, තැවීම්, පිරිතැවීම් සන්සිඳුවන්නා වූ හෙයින් “සන්තො” ශාන්ත වූ; නොවෙනස්වන චෙතෝ විමුක්තියෙන් අනුපාදිසේස නිර්වාණ ධාතුවට පැමිණීමෙන් අවසානය ඉතා යහපත් වූ, “පරියොසානභද්දකො” ආර්ය අෂ්ටාංගික මාර්ගය පසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදි.