කාතියාන ස්ථවිරගාථා වර්ණනාව
“උට්ඨෙහී” යනු ආයුෂ්මත් කාතියාන තෙරුන් වහන්සේගේ ගාථාව්නය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි පින්දහම් රැස්කරමින් පැමිණියහ. මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර එක් කෝසිය ගෝත්‍රික බ්‍රාහ්මණයෙකුගේ පුතු ලෙස උපන් හෙතෙම, මවගේ ගෝත්‍ර නාම වශයෙන් “කාතියාන” නමින් ප්‍රකට විය. තරුණවියට පත් එකුමරු සාමඤ්ඤකානි තෙරුන් වහන්සේගේ ගිහිකළ සහායක ව (යහලුවකුව) සිටි බැවින් තෙරුන් වහන්සේ නිසා බුදු සසුනේ පැවිදි විය. මහණදහම්, වත් පිළිවෙත් පිරූ කාතියාන තෙරණුවෝ දිනක් “රාත්‍රියේ නිදිමත දුරුකරන්නෙමි”යි සක්මන් කිරීම ඇරඹූහ. සක්මන් කරන උන්වහන්සේ නින්දෙන් මඬනා ලදුව පය පටලැවී, පෙරලී එහිම බිම වැටුණහ. එම සිදුවීම දුටු ශාස්තෲන් වහන්සේ එතැනට වැඩමවා අහසේ වැඩහිඳ “කාතියාන” යැයි ඇමතූ සේක. ශාස්තෲන් වහන්සේ දැක නැගී සිටි කාතියාන තෙරණුවෝ තම ක්‍රියාව පිළිබඳව සංවේගයට පත්වූහ. අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථා සයෙන් කාතියාන තෙරුන්ට දහම් දෙසූ සේක.
“උට්ඨෙහි නිසීද කාතියාන, මා නිද්දාබහුලො අහු ජාගරස්සු,
මා තං අලසං පමත්ත බන්‍ධු, කූටෙනෙව ජිනාතු මච්චුරාජා”
“ස යථාපි මහා සමුද්ද වෙගො, එවං ජාතිජරාතිවත්තතෙ තං,
සො කරොහි සුදීපමත්තනා ත්‍වං, නහි තාණං තව විජ්ජතෙව අඤ්ඤං”
“සත්‍ථාහි විජෙසි මග්ගමෙතං, සංගා ජාතිජරාභයා අතීතං,
පුබ්බාපරරත්තමප්පමත්තො, අනුයුඤ්ජස්සු දළ්හං කරොහි යොගං”
“පුරිමානි පමුඤ්ච බන්‍ධනානි, සංඝාටි ඛුරමුද්ධභික්ඛ භොජි,
මා ඛිඩ්ඩාරතිඤ්ච නිද්දං, අනුයුඤ්ජිත්‍ථ කාතියාන”
“ඣායාහි ජිනාහි කාතියාන, යොගක්ඛෙමපථෙසු කොවිදොසි,
පප්පුය්‍ය අනුත්තරං විසුද්ධිං, පරිනිබ්බාහිසි වාරිනාව ජොති”
“පජ්ජොතිකරො පරිත්තරංසො, වාතෙන විනම්‍යතෙ ලතාව,
එවම්පි තුවං අනාදියානො, මාරං ඉන්‍දසගොත්ත නිද්ධුනාභි”
“සො වෙදයිතාසු වීතරාගො, කාලං කංඛ ඉධෙව සීතිභූතො” තී.
මෙහි “උට්ඨෙහි” නිදාගෙන සිටින සයනයෙන්, හොත් ඉරියවුවෙන් නැගී සිටීමට උට්ඨාන වීර්යය කරව. නිදාගෙන සිටීම, සයනය කිරීම කුසීත පක්‍ෂයට බරවූවක් බැවින් නො නිදන්න. “නිසීද” පලක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සතිය ඉදිරියෙ පිහිටුවාගෙන හිඳගන්න. “කාතියාන” මෙනෙමින් කාතියාන තෙරුන් ඇමතූ සේක. “මා නිද්දා බහුලො අහූ” නිදන සුළුව, බොහෝ කාලයක් නිදමින් සිටීම, නින්දෙන් මැඩී විසීම නොකරව. නිදි වැරීමෙහි, නින්ද දුරු කිරීමෙහිම යෙදෙව. “මා තං අලසං” නිදි වැරීමෙහි යෙදීමෙන් ඒ අලස වූ කුසීත වූ ප්‍රමාදීන්ට ඥාති වූ මාර නම් මෘත්‍යුරාජයා වංචාවෙන් වැද්දකු - මුවන් හෝ කුරුල්ලන් බැඳගන්නාක් මෙන් ජරා මරණ රෝගයන්ගෙන් නො පෙලේ වා. අභිභවනය නොකරාවා. මැඩපවත්වා විනාශ නොකරාවා.
“සයථාපි” යම්සේ “මහා සමුද්දවෙගො” මහා මුහුදේ රළ වේගය. “එවං” එසේ. යම්සේ මහමුහුදේ එළ එකපිට එක නැගෙමින් පැමිණේද එය ඉක්මවා යෑම අපහසුවේද ඒ වෙත යන පුරුෂයා මැඩලා අභිබවා රළ පහර පැතිර යන්නේද එලෙසින්ම ජාතිජරාදී දුක් ද කුසීත කම්මැලි පුද්ගලයා වසාගෙන මැඬගෙන සිටියි. නැවත නැවත ඔහු මැඩපවත්වයි. “සො කරොහි” කාතියානය! ඒ නුඹ, සතර ඕඝයන්ගෙන් මැඬපැවැත්විය නොහැකි වූ අර්හත් ඵලය නම් වූ සුරක්‍ෂිත දිවයිනක් බවට තමා පත්කර ගනුව. එම අර්හත් ඵලය ස්ව සන්තානයේ උපදවා ගනුව. “නහි තාණං තව විජ්ජතෙව අඤ්ඤං” මෙහි “හි” යනු හේතුවර්ථයේ නිපාතයකි. යම් හෙයකින් ද? යත්. ඒ ආර්ය වූ රහත් බව නම් අග්‍රඵලයෙන් අන්‍ය වූ වෙනත් පිහිටක් මෙලොව හෝ පරලොව නොලැබේ. එනිසා ඒ අර්හත් බවෙහි, උතුම් පිහිටෙහි පිහිටන්නේ ය.
යම්හෙයකින් ද ඒ ශාස්තෲන් වහන්සේ යම් මාර්ගයක ගමන් කිරීමෙන් මැඩලීමට අපහසු වූ මාරයා පරදා දිනූ සේක් ද ඒ අන්‍ය තීර්ථක බොහෝ දෙනා පැරදූ සේක් ද ඒ මේ පිහිටට, ආර්ය මාර්ගයේ පිහිටීමට හේතුව මෙසේ දක්වයි. පස් වැදෑරුම් රාගාදී සංගයන්ද ජාතිජරා දී භය ද ඉක්මවා ඉන් මිදී, දේවපුත්‍ර - ක්ලේශාදී පස්මරුන් පරදා උතුම් ආර්යමාර්ගයට නුඹගේ ශාස්තෲන් වහන්සේ පත් වූ සේක. ජයගත් සේක. එනිසාම උන්වහන්සේගේ ශ්‍රාවක වූ නුඹලා විසින් ද එය කළ යුතුයි. අත්නොහැරිය යුතුය. ඒ අර්හත්ඵලය සාක්‍ෂාත් කරගැනීම පිණිස රෑ පෙරයමෙහි හා රෑ පසුයමෙහි එකලෙසින්ම අප්‍රමාදීව සිහියෙන්, නුවණින් යුක්තව කමටහන් වඩව. යෝග භාවනාවෙහි දැඩි වීර්යයේ යෙදෙව.