සප්පදාස ස්ථවිරගාථා වර්ණනාව
“පණ්ණවීසති” යනු ආයුෂ්මත් අපර සප්පදාස තෙරුන්ගේ ගාථාවන්ය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් පැමිණ, මේ බුද්ධෝත්පාදයේදී කපිලවත්‍ථු පුරයේ සුදොවුන් මහ රජුගේ පුරෝහිත බමුණාගේ පුතු ලෙස උපන්හ. එකුමරු සප්පදාස යැයි නම් කරන ලදි. තරුණවියට පත් වූ සප්පදාස; උපන් බිමට වැඩම වූ ශාස්තෲන් වහන්සේගේ ඥාති සමාගමය දැකීමෙන් හටගත් ශ්‍රද්ධා ඇතිව පැවිදි වී බඹසර හැසිරුණු නමුත් කෙලෙස් මැඩපැවැත්වීමෙන් චේතෝ සමාධිය ලබාගත නොහැකි විය. මේ පිළිබඳව සංවේගයට පත් උන්වහන්සේ, පසුව කැපෙන ආයුධයක් ගෙන නුවණින් මෙනෙහි කිරීමෙන් කමටහන් වඩා රහත් බවට පත්වූහ. අනතුරුව රහත් බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ මේ ගාථා සය වදාළ සේක.
“පණ්ණවීසතිවස්සානි යතො පබ්බජිතො අහං,
අච්ඡරා සංඝාතමත්තම්පි චෙතො සන්තිං අනජ්ඣගං”
“අලද්ධා චිත්තස්සෙකග්ගං කාමරාගෙන අද්දිතො,
බාහා පග්ගය්හ කත්‍දන්තො විහාරානුපනික්ඛමිං”
“සත්‍ථං වා ආහරිස්සාමි කො අත්‍ථෙ ජීවිතෙන මෙ,
කථං හි සික්ඛං පච්චක්ඛං කාලං කුබ්බෙථමාදිසො”
“තදාහං ඛුරමාදාය මඤ්චකම්හි උපාවිසිං,
පරිනීතො ඛුරො ආසි ධමනිං ඡෙත්තමත්තනො”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
එහි “පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතො අහං” යම් තැනෙක පටන් මම පැවිදි වූයෙම් ද එතැන් පටන් ගත වූ වසර විසිපහ තුල, “අච්ඡරා සංඝාතමත්තම්පි චෙතො සන්තිං අනජ්ඣගං” ඒ මම බඹසර හැසිරෙමින් මෙතරම් කාලයක් ඇසුරු සනක් පමණකුදු, ඇඟිලි දෙකක් එකට ගසන මොහොතක් පමණකුදු ක්‍ෂණයක් චිත්ත සමාධියක්, සිතේ එකඟවීමක් නොලැබුවෙමි.
මෙසේ චිත්ත ඒකාග්‍රතාව නොලැබීමට හේතුව මෙසේ දක්වයි. “කාමරාගෙන අද්දිතො” යනුවෙන්. මෙහි “අද්දිතො” යනු පෙළුනෙමි. මැඩුනෙමි. “බාහාපග්ගය්හ කන්‍දන්තො” මෙසේ “කාමුක සිතින් විසීම ඉතා නුසුදුසු වූවකි. මේ නෛර්යාණික සසුනේ පැවිදි වී තමාගේ සිත කෙලෙස් මඬින් උඩට ගැනීමට නොහැකිවූයෙමි.” මෙසේ සිතූ මම දෙඅත් මුදුනෙහි බැඳගෙන හඬමින් විහාරයෙන් නික්මුණෙමි. වසන්නා වූ විහාරයෙන් පිටතට ගියෙමි.
එසේ නික්මුණේ යම් අදහසකින් ඒ අදහස දැක්වීමට “සත්‍ථං වා අහරිස්සාමි” යන ගාථාව කියන ලදි. එහි “සත්‍ථං වා ආහරිස්සාමී” මෙහි “වා” ශබ්දය විකල්පාර්ථයේ යෙදේ. ප්‍රපාතයකින් හෝ පතමි, බෙල්ලේ වැළලා හෝ ගනිමි. ආදී වශයෙන් මැරෙන ආකාරයක් දක්වයි. “සික්ඛං” අධිශීල ශික්‍ෂාව, “පච්චක්ඛං” ප්‍රතික්‍ෂේප කරමින්, අත් හරිමින් “පච්චක්ඛා” යන පාඨය ද යෙදේ. ප්‍රතික්‍ෂේප කරයි යන අර්ථයයි. “කාලං” මරණයට. “කෙසේ නම් මා වැන්නෙක් ගිහි බවට පත්ව මැරෙම් ද?” යන අර්ථයයි. ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර ගිහිවීම ආර්ය විනයෙහි මරණයට පත්වීමකි. “මරණ” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි! යමෙක් මේ සස්නෙහි ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර හීන බවට (ගිහි බවට) පත්වන්නේ ද එය මරණයෙකි” යනුවෙනි. “සික්ඛං පච්චක්ඛා” යන පාඨය ගත් විට “කෙසේ නම් මා වැන්නකු ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර මරණයට පත්වෙන්නෙම් ද?” අධිශීල ශික්‍ෂාවෙන් යුක්තවම කළුරිය කරන්නෙමි. එනිසා “ආයුධයක් හෝ ගෙන දිවි තොරකර ගන්නෙමි. මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?” යනුවෙන් අර්ථ ගත යුතුයි.