මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරගාථා වර්ණනාව
“මනුජස්ස” යනාදී ගාථා ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහිදී පින්දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර, කොසොල් රට රාජ්‍ය අයකැමියාගේ පුතුව උපන්නේය. ඔහුගේ මව මාළුංක්‍යා නම් වූ බැවින් ඇගේ පුතා යන අරුතින් “මාලුංක්‍ය පුත්ත” යැයි ඔහුට නම් තැබුණි. තරුණවියට පත් එකුමරු කාමුක සම්පත් කෙරෙහි නොඇලුණු අදහස් ඇති බැවින්, ගිහි ගේ හැර දමා පිරිවැජි පැවිද්දෙන් පැවිදිව හැසිරෙන කල්හි ශාස්තෲන් වහන්සේ වෙතින් දහම් අසා, බුදුසසුනෙහි පැහැදී ශ්‍රද්ධාව උපදවාගෙන පැවිදි විය. විදසුන් කමටහන් වඩමින් භාවනා කළ මාලුංක්‍යපුත්ත තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. උන්වහන්සේ දිනක් ඥාතීන් කෙරෙහි කරුණාවෙන් සිය නෑ කුලයන් වෙත එළඹුනහ. උන්වහන්සේ දුටු නෑ සමූහයා සතුටුව ඉතා ප්‍රණීත ආහාර පානයන්ගෙන් උන්වහන්සේට උවටැන් කර, ධනය පෙන්වා පොළඹවාගනු කැමතිව, මහත් වූ ධන රැසක් ඉදිරියෙහි රැස්කරවූහ. “මේ ධනය නුඹට ම අයත් වේ. සිවුරු හැර අවුත් මේ ධනය රැගෙන අඹුදරුවන් පෝෂණය කරමින් පින් රැස්කරගන්න”යි උන්වහන්සේගේ ඥාතීහු ඉල්ලා සිටියහ. තෙරණුවෝ ඒ නෑයන්ගේ අදහස් පෙරළා ඉවත දමමින් අහසෙහි වැඩ හිඳ මේ ගාථා සයෙන් ඔවුන්ට දහම් දෙසූ සේක.
“මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාළුවා විය,
සො ප්ලවතී හුරාහුරං ඵල මිච්ඡංව වනස්මිං වානරො”
“යං එසා සහතෙ ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා,
සොකා තස්ස පඩ්ඪන්ති අභිවට්ටංව බීරණං”
“යො වෙ තං සහතී ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං,
සොකා තම්හා පපතන්ති උදබින්‍දුව පොක්ඛරා”
“තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා,
තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථොව බීරණං,
මාවො නළංව සොතොව මාරො භජි පුනප්පුනං.
“කරොථ බුද්ධවචනං ඛණො වො මා උපච්චගා,
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා”
“පමාදො රජො, පමාදානුපතිතො රජො,
අප්පමාදෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනො” තී.
එහි “මනුජස්ස” යනු සත්ත්‍වයාගේ. “පමත්තචාරිනො” සිහිමුළාවීමෙන් ප්‍රමාද වූ ප්‍රමාදීව හැසිරෙන, ධ්‍යාන - විදර්ශනා - මාර්ග ඵලාදිය නොවඩන. ගසක් වසාගෙන, හාත්පසින් වෙළාගෙන එහි විනාශය සලසමින් මාලුවා වැඩක් වැඩෙන්නාක් මෙන්, ඇස් කන් ආදී ඉඳුරන් සය නිසා මෙබඳු ප්‍රමාදී පුද්ගලයාගේ සිතේ නැවත නැවත උපදින තණ්හාව වැඩේ. එසේ වැඩෙන මාලුවා වැල, තමාට වැඩීමට පිහිටාධාර වූ ගස වසාගෙන එය බිමට ඇද දමන්නාක් මෙන් ම තණ්හාවට වසඟව, ඉන් වෙලී ගත් පුද්ගලයා අපායේ හෙලයි. “සො ප්ලවතී” ඒ තණ්හාවට වසඟවූ පුද්ගලයා නැවත නැවත කුදුමහත් භවයෙහි පැන පැන දුවයි. කෙසේ ද? ගෙඩි කැමතිව වනයේ ඒ ඒ ගසට පැන පැන යන වඳුරෙකු මෙනි. “ඵලමිච්ඡංව වනස්මිං වානරො” ගෙඩි කැමති ඒ වඳුරා වනයේ ගසක එක් අත්තක් අල්ලා ගනියි. ඒ වඳුරා අත්තක් නොඅල්වාගෙන සිටීමට අසමත් වේ. නිතරම කවර හෝ අත්තක් අල්වාගෙන සිටියි. තණ්හාවට වසඟ වූ පුද්ගලයා ද භවයෙන් භවයට දුවමින්, තණ්හාවෙන් අරමුණු අල්ලාගෙනම සිටියි. තණ්හාවෙන් අරමුණක් අල්ලා නොගෙන සිටීමකට නම් නො පැමිණෙයි**.
“යං” යම් පුද්ගලයෙක්, මෙසේ වූ ලාමක භාවයෙන් පහත් නීච බවට පැමිණ, විෂ සහගත ආහාර, මල්, ගෙඩි ආදී විෂ සහිත ද්‍රව්‍ය පරිභෝග කරන බැවින් ද රූපාදී අරමුණු කෙරේ ඇලී, ගැලී සිටින බැවින් “විසත්තික” නම් වූ සයක් වූ ඉඳුරන් හි හටගත් තණ්හාවෙන් ද වැඩී ගිය ඒ පුරුෂයා තණ්හාවෙන් මැඩී සිටියි. නැවත නැවත වැසි වටකල්හි බෙරු, සවැන්න තණ වහා වැඩෙන්නාක් මෙන් තණ්හාවෙන් වෙලුණු සසර පැවැත්මට මූලික වන ශෝකයෝ වැඩෙති. අභිවෘද්ධියට පැමිණෙති.
“යො චෙතං -පෙ- දුරච්චයං” යම් පුද්ගලයෙක් මෙසේ දැක්වූ ආකාර ඇති, ඉක්මවීමට දුරු කිරීමට අපහසු වූ තණ්හාව යටපත් කරයි ද මැඩ පවත්වයි ද ඒ පුද්ගලයාගෙන් තණ්හාවට මූලික වූ ශෝකයෝ දුරු වෙති. ඉවත් වෙති. ඒ නෙළුම් කොළයට, පියුම් පතට වැටුණු දිය බිඳු නොරැඳී බිම වැටෙන්නාක් මෙනි. එසේ ම තණ්හාව සිතින් පහ වේ.