කුල්ල ස්ථවිරගාථා වර්ණනාව
“කුල්ලො සීවථිකං” යනු ආයුෂ්මත් කුල්ල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කෙළෙඹියෙක් ව උපන්හ. කුල්ල නම් වූ හෙතෙම වැඩිවියට පත්ව, ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ රාගචරිතයෙක් වූ බැවින් තියුණු රාග ඇත්තෙක් වූහ. එනිසා උන්වහන්සේගේ සිත නිරතුරුවම කෙලෙස් වසඟව පැවතුණි. උන්වහන්සේගේ මේ සිතේ හැසිරීම දැනගත් ශාස්තෲන් වහන්සේ අසුභ කර්මස්ථානය දී, “කුල්ලය! නුඹ නිතරම සොහොනේ හැසිරීම කළ යුතුයි” නියම කළ සේක. සොහොන් බිමට වැඩම කළ කුල්ල තෙරණුවෝ, උද්ධුමාතකාදී ඒ ඒ අසුභයන් දැක ඒ පිළිබඳව මොහොතක් අසුභය සිහිපත් කරති. නමුත් සොහොනෙන් බැහැරවනවාත් සමගම නැවත කාමරාගෙන් සිත වෙලීයයි. නැවත ද භාග්‍යවතුන් වහන්සේ මේ පුවත දැනගත් සේක්, කුල්ල තෙරුන් සොහොනට වැඩම කළ අවස්ථාවකදී එක් තරුණියකගේ රුවක් දැන් මැරුණාක් මෙන්, පිරුණු අංගප්රත්යංගයන්ගෙන් යුක්තව මවා පෙන්වූ සේක. ඒ රුව දුටු වහාම, ජීවත්වන තරුණියක් දුටු කලක මෙන් තෙරුන්ගේ සිත වහා රාගයෙන් මුසපත් විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, කුල්ල තෙරුන් එ් රුව කෙරෙහි ඇලී බලා සිටියදීම, එහි නව දොරින් වැගිරෙන අශූචි මිශ්‍ර පණු ආදීන්ගෙන් යුක්ත වූ අතිශය පිළිකුල් ජනක දුගඟ හමන, භයානක ස්වරූපයක් මවා පෙන්වූ සේක. එය දුටු තෙරුන්ගේ සිත ඒ රුව අප්‍රිය කරන, නොඇලෙන ස්වභාවයට පත්වූ අයුරු නුවණැසින් දත් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ ආලෝකයක් පතුරුවා, කුල්ල තෙරුන්ට සිහි ඉපිද වූ සේක.
“අතුරං අසුචිං පූතිං පස්ස කුල්ල සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දනං”
උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දනං”
“කුල්ලය, දුකින් පීඩිත වූ අපවිත්‍ර වූ කුණු වූ උඩින් යටින් නව දොරින් අශුචි වැගිරෙන්නා වූ පුහුදුන් බාලයන්ගේ තණ්හාමානාදියෙන් දැඩි ඇලී පවතින්නා වූ මේ සිරුර දෙස බලන්න.”
එය ඇසූ තෙරණුවෝ, එකෙණෙහිම ශරීරයේ සැබෑ තත්ත්වය සලකා බලා, අසුභ සංඥාව උපදවා ගත්හ. ඒ අසුභ සංඥාවෙහිම පළමු ධ්‍යානය උපදවා ගත් උන්වහන්සේ එය ම පාදක කරගෙන විදසුන් වඩා රහත් ඵලය ලබාගත්හ. ඒ තම පිළිවෙත් මඟ සිහිකරමින් ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් මේ ගාථා සය වදාළ සේක.
“කුල්ලො සීවථිකං ගන්ත්වා අද්දසං ඉත්ථිමුජ්ඣිතං,
අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්තිං කිමිහී ඵුටං”
අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්තිං කිමිහී ඵුටං”
“ආතුරං අසුචිං පූතිං පස්ස කුල්ල සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං”
උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං”
“ධම්මා දාසං ගහෙත්වාන ඤාණදස්සනපත්තියා,
පච්ච වෙක්ඛිං ඉමං කායං තුච්ඡං සන්තරබාහිරං”
පච්ච වෙක්ඛිං ඉමං කායං තුච්ඡං සන්තරබාහිරං”
“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං,
යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො”
යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො”
“යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා,
යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ.”
යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ.”
“පඤ්චංගීකෙන තුරියෙන න රතී හොති තාදිසී,
යථා ඒකග්ග චිත්තස්ස සම්මා ධම්මං විපස්සතො” තී.
යථා ඒකග්ග චිත්තස්ස සම්මා ධම්මං විපස්සතො” තී.
එහි “කුල්ලො” තෙරුන් තමාටම වෙනත් අයකුට මෙන් අමතයි.
“ආතුරං” නානාවිධ දුක්ඛයන්ගෙන් නිරන්තරව පෙළෙන්නා වූ. “අසුචිං” පිරිසිදුභාවයෙන් තොර වූ ජුගුප්සාජනක වූ පිළිකුල් වූ. “පූතිං” දුගඳ හමන, කුණු වූ. “පස්ස” ස්වභාවය බලව. යථාර්ථ වශයෙන් බලව. “කුල්ල” යනු තෙරුන්ට අවවාද දෙන අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්රණයයි. එම වදනම උදන් අණන අවස්ථාවේ තමන් වහන්සේම පවසයි. “සමුස්සයං” ශරීරය. “උග්ඝරන්තං” උඩි ඇති වණ, තුවාලවලින්, දොරටුවලින් මළ වැගිරෙන. “පග්ඝරන්තං” යටින් වූ වණ මුඛයන්ගෙන් මළ වැගිරෙන, “බාලානං අභිනන්දිතං” බාල වූ අඳ බාල පුහුදුන් අය විසින් දෘෂ්ටි, තණ්හා, මානා දී වශයෙන් “මමය, මගේ යැ”යි ඇලී සිටින. සතුටුවන.
“ධම්මාදාසං” ධර්ම නම් කැඩපත. යම්සේ සත්ත්වයෝ කැඩපතින් තමාගේ මුහුණේ හෝ කයේ හෝ ඇති ගුණ දොස් බලත් ද, එසේම යෝගාවචරයා යම් ආත්මභාවයකදී කිලිටි කරන හා පිරිසිදු බව ඇතිකරන ධර්ම යථා ස්වභාවයෙන් දකියි ද ඒ විදසුන් නුවණ මෙහි ධර්මය නම් කැඩපත යැයි කියන ලදි. ඒ ඤාණ දර්ශනය වූ මාර්ග ඤාණ නම් වූ දහම් ඇස අවබෝධ කරගෙන, ඒ දහම් ඇස තම සන්තානයේ උපදවාගෙන, “පච්චවෙක්ඛිං ඉමං කායං” මේ සිවුමහා භූතමය කය, නිත්‍ය-සාරවත් ආදී ගුණයන්ගෙන් දුරු වූ බැවින් හිස් වූ තමාගේ හා අන්‍යයන්ගේ සන්තානයන් විභාග වශයෙන් දැක, අභ්‍යන්තර-බාහිර වූ නුවණැසින් ප්රත්යවේක්ෂා කළෙමි. සිහිකර බැලුවෙමි.
යම්සේ ප්රත්යවේක්ෂා කළෙම් ද ඒ බව දැක්වීමට, “යථා ඉදං” යන ගාථාව වදාළහ. එහි “යථා ඉදං තථා එතං” යම් සේ මේ මගේ ශරීරය නම් වූ අසුභ කයින් ආයුෂ, උණුසුම, විඤ්ඤාණය පහ නොවී තිබෙනතාක් නානා විධ වූ මායාවක් වැනි ක්‍රියා දක්වයිද එසේම මේ මළ සිරුර ද පෙර ඒ ආයුෂ, උණුසුම ආදී ධර්ම පහනොවී පැවතුණි. දැන් මේ මළසිරුරින් ඒ ධර්ම පහ වූ බැවින්, කිසිදු ක්‍රියාවක් නොදක්වන්නාක් මෙන් මේ මාගේ ශරීරයෙන් ද මේ ධර්ම පහවූ අවස්ථාවේ මෙසේම අක්‍රිය වන්නේ ය. මගේ කය දැන් සොහොනේ නොදමා, නොමැරී, සයනය නොකර, උද්ධුමාතකාදී තත්ත්වයන්ට නොපැමිණ පවතින්නාක් මෙන් මීට මොහොතකට පෙර මේ මළ සිරුරද පැවතුණි. දැන් මේ සොහොනේ හොවන, උද්ධුමාතකාදී තත්ත්වයන්ට පැමිණියා වූ මළසිරුර මෙන්ම මගේ සිරුර ද අනාගතයේ පත්වන්නේ ය. නැතහොත් අශුචියෙන් පිරි, දුගඳ හමන, පිළිකුල් ජනක, අනිත්‍ය-දුක්ඛ-අනාත්ම භාවයන්හි පැමිණි මේ මළසිරුර මෙන් වූ තත්ත්වයකට මගේ සිරුර ද පත්වන්නේ ය. “යථා අධො” මේ මළ සිරුරේ නාභියෙන් යට කොටස යම් සේ අශුචියෙන් වැකි, දුගඟ හමන අප්‍රිය, පිළිකුල් සහගත තත්ත්වයට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වයට පත්වූයේද එලෙසින්ම නාභියෙන් උඩ ශරීර කොටස් ද අශුචි වැකි පිළිකුල් සහගත තත්ත්වයටම පත්වන්නේ ය.