මහානාග ස්ථවිරගාථා වර්ණනාව
“යස්ස සබ්රහ්මචාරීසු” යනු ආයුෂ්මත් මහානාග තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් පැමිණියහ. කකුසඳ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන් හෙතෙම නුවණැති බවට පත්ව, දිනක් කකුසඳ භාග්යවතුන් වහන්සේ අරණ්ය වාසයට වැඩ එක්තරා රුක්මුලක ධ්යාන සුවයෙන් වැඩසිටිනු දැක, පහන් සිතින් බුළු ඇට මද පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී සාකේත නුවර මධුවාසෙට්ඨ නම් බමුණාගේ පුතුව උපන්නේ ය. එකුමරුට “මහානාග” යන නම තබන ලදි. නුවණැති බවට පත් එකුමරු අප භාග්යවතුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයේ වැඩවසන සමයෙහි දී, ආයුෂ්මත් ගවම්පති තෙරුන් වහන්සේගේ ප්රාතිහාර්ය දැකීමෙන් හටගත් ශ්රද්ධාව නිසා ඒ තෙරුන් ළඟම පැවිදි ව, ඒ තෙරුන්ගේ අවවාද අනුව ක්රියා කොට රහත් භාවය ලබා ගත්තේය. මහානාග තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.
“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන්ව වන වාසයට පැමිණි සේක.
මම බුළු ඇට මද ගෙන වැලක ඇමිණුවෙමි. භාග්යවතුන් වහන්සේ එකල්හි පර්වත අතර ධ්යාන වැඩූ සේක.
උන්වහන්සේ දුටු මම පහන් සිතින් වීර වූ දක්ෂිණාර්හ වූ ඒ උත්තමයන් වහන්සේට බුළු ඇට මද පූජා කළෙමි.
මේ මහා භද්ර කල්පයෙහිම කරන ලද ඒ ඵල පූජාවේ විපාක වශයෙන් මම අද දක්වාම දුගතියකට නොගියෙමි. ඵල පූජාවේ විපාක මෙබඳුය.
දැන් මම කෙලෙසුන්ගෙන් මිදුණෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් සිටි මහානාග තෙරණුවෝ, ඡබ්බග්ගිය භික්ෂූහු එකට මහණදම් පුරණ භික්ෂූන්ට ගරු නොකර වෙසෙනුදැන, ඔවුන්ට අවවාද වශයෙන් මේ ගාථා සය වදාළහ.
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී,
පරිහායති සද්ධම්මා මච්ඡො අප්පොදකෙ යථා”
පරිහායති සද්ධම්මා මච්ඡො අප්පොදකෙ යථා”
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී,
න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච පූතිකං”
න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච පූතිකං”
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී,
ආරකා හොති නිබ්බාණා ධම්මරාජස්ස සාසනෙ”
ආරකා හොති නිබ්බාණා ධම්මරාජස්ස සාසනෙ”
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භති,
න විහායති සද්ධම්මා මච්ඡොන බහ්වොදකෙ යථා”
න විහායති සද්ධම්මා මච්ඡොන බහ්වොදකෙ යථා”
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භතී,
සො විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච භද්දකං”
සො විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච භද්දකං”
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භතී,
සන්තිකෙ හොති නිබ්බාණං ධම්මරාජස්ස සාසනෙ”
සන්තිකෙ හොති නිබ්බාණං ධම්මරාජස්ස සාසනෙ”
එහි “සබ්රහ්මචාරීසු” සමාන වූ බ්රහ්මචර්යාවෙහි සීලාදී ධර්මයන්හි හැසිරෙන්නේය යන අරුතින් “සබ්රහ්මචාරී” නම් ව, සීල-දෘෂ්ටි ආදියෙන් සමාන වූ බැවින් “සහධම්මික” නම් වන. සබ්රහ්මචාරීන් කෙරෙහි. “ගාරවො” ගරුභාවයෙන් ශීලාදී ගුණ නිමිතිකරගෙන ගරු කරන්නා වූ. “නූපලබ්භතී” නොපවතියි. විද්යමාන නොවේ. සමීපයේ නොසිටියි. “නිබ්බාණා” කෙලෙසුන් නිවන බැවින්, කෙලෙස් ක්ෂය කිරීම, නිර්වාණාවබෝධය. “ධම්මරාජස්ස” ශාස්තෲන් වහන්සේගේ; උන්වහන්සේ “දෙවියන් සහිත ලෝකයාට සුදුසු පරිදි ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගෙන් සතුටු කරවයි, සිත් අලවයි, දේශනා කරයි” යන අරුතින් “ධර්මරාජ” නම් වන සේක. මෙහි “ධම්මරාජස්ස සාසනෙ” යනු මේ නිවණ නම් ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිම ලැබෙන්නකි. වෙනත් සසුන නොලැබෙන්නකි. එහි යමෙක් සබ්රහ්මචාරීන් කෙරෙහි ගරුකිරීම් රහිතව වෙසේ ද ඔහු නිවණින් ඉතා දුරට ගිය තැනැත්තෙකි. එසේම ධර්මරාජයන් වහන්සේගේ ශාසනයෙන් ද බැහැර වූවෙකි. “බහ්වොදකෙ” දිය පිරුණු විලෙහි. “සන්තිකෙ හොති නිබ්බාණං” නිවණ ඔහුගේ සමීපයේම වේ. ළඟම තිබේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය. මෙම ගාථා සයම මහානාග තෙරුන්ගේ රහත්බව ප්රකාශ කරන ගාථා විය.
මහානාග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කුල්ල ස්ථවිරගාථා වර්ණනාව
“කුල්ලො සීවථිකං” යනු ආයුෂ්මත් කුල්ල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කෙළෙඹියෙක් ව උපන්හ. කුල්ල නම් වූ හෙතෙම වැඩිවියට පත්ව, ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ රාගචරිතයෙක් වූ බැවින් තියුණු රාග ඇත්තෙක් වූහ. එනිසා උන්වහන්සේගේ සිත නිරතුරුවම කෙලෙස් වසඟව පැවතුණි. උන්වහන්සේගේ මේ සිතේ හැසිරීම දැනගත් ශාස්තෲන් වහන්සේ අසුභ කර්මස්ථානය දී, “කුල්ලය! නුඹ නිතරම සොහොනේ හැසිරීම කළ යුතුයි” නියම කළ සේක. සොහොන් බිමට වැඩම කළ කුල්ල තෙරණුවෝ, උද්ධුමාතකාදී ඒ ඒ අසුභයන් දැක ඒ පිළිබඳව මොහොතක් අසුභය සිහිපත් කරති. නමුත් සොහොනෙන් බැහැරවනවාත් සමගම නැවත කාමරාගෙන් සිත වෙලීයයි. නැවත ද භාග්යවතුන් වහන්සේ මේ පුවත දැනගත් සේක්, කුල්ල තෙරුන් සොහොනට වැඩම කළ අවස්ථාවකදී එක් තරුණියකගේ රුවක් දැන් මැරුණාක් මෙන්, පිරුණු අංගප්රත්යංගයන්ගෙන් යුක්තව මවා පෙන්වූ සේක. ඒ රුව දුටු වහාම, ජීවත්වන තරුණියක් දුටු කලක මෙන් තෙරුන්ගේ සිත වහා රාගයෙන් මුසපත් විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, කුල්ල තෙරුන් එ් රුව කෙරෙහි ඇලී බලා සිටියදීම, එහි නව දොරින් වැගිරෙන අශූචි මිශ්ර පණු ආදීන්ගෙන් යුක්ත වූ අතිශය පිළිකුල් ජනක දුගඟ හමන, භයානක ස්වරූපයක් මවා පෙන්වූ සේක. එය දුටු තෙරුන්ගේ සිත ඒ රුව අප්රිය කරන, නොඇලෙන ස්වභාවයට පත්වූ අයුරු නුවණැසින් දත් භාග්යවතුන් වහන්සේ මහත් වූ ආලෝකයක් පතුරුවා, කුල්ල තෙරුන්ට සිහි ඉපිද වූ සේක.