තෙකිච්ඡකානි ස්ථවිරගාථා වර්ණනාව
“අතිහිතා වීහි” යනාදී ගාථාවන් ආයුෂ්මත් තේකිච්ඡකානි තෙරණුවන්ගේ ය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණිසේක්, මීට කල්ප අනූ එකකට පෙර දී විපස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි වෙද පවුලක උපන්හ. තරුණවියට පැමිණ වෛද්‍ය ශිල්පයෙහි පරතෙරට ගිය හෙතෙම විපස්සි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වූ අශෝක නම් තෙරුන්ගේ රෝගාබාධය දුරු කළේය. සෙසු රෝගාබාධිත සත්ත්‍වයන්ට ද අනුකම්පාවෙන් බෙහෙත් කළේය.
මෙම පින්කම්වල විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී සුබන්‍ධු නම් බමුණාගේ පුතකු ලෙස උපන්නේය. ඔහු ගැබේ වසන සමයේ සිටම වෛද්‍යවරු විසින් කරන ලද ආරක්‍ෂා සංවිධාන ඇතිව පාලනය වූ බැවින් තෙකිච්ඡකානි යැයි නම් තැබිණ. එකුමරු තම කුලයට යෝග්‍ය වූ විද්‍යා ශිල්ප ශාස්ත්‍ර මනාව උගනිමින් වැඩුණේය. එකල චාණක්‍ය ඇමතියා මේ සුබන්‍ධුගේ ප්‍රඥාවේ විපුලබවත්, ක්‍රියාවන්හි උපාය කෞශල්‍ය බවත් දැක; “මොහු මේ රජකුලයේ පිහිට ලැබ මා අභිභවනය කරන්නේය” යනුවෙන් ඊර්ෂ්‍යාවෙන් වසඟව, චන්‍ද්‍රගුප්ත රජු ලවා සුබන්‍ධු බන්‍ධනාගාර ගත කළේය. තේකිච්ඡාකානි කුමරු පියා බන්‍ධනාගාර ගතවූ බව දැන බියෙන් පලාගොස් වනවාසී තෙරනමක් වෙතට පැමිණියේය. තමාගේ බිය, සංවේගයට හේතු වූ කරුණ තෙරුන්වහන්සේට දැන්වූ හෙතෙම; එතැන පැවිදි වී කමටහන් ගෙන, අබ්භොකාසිකාංගය (එළිමහනෙහිම විසීම) හා නෙසජ්ජිකංගය (හිඳගෙනම සිටීම) යන ධූතාංග පුරමින් කෙලෙස් දුරු කිරීමෙහි නිරත විය. සීතල හා උණුසුම නොසලකා මහණදම් පමණක් ම පිරුවේය. විශේෂයෙන් බ්‍රහ්ම විහාර සිත් වැඩීමෙහි ද නිරත විය. මෙය දුටු පාපී මාරයා, “මොහුට මාගේ විෂය ඉක්මවීමට ඉඩ නොදෙමි”යි කලබල ඇතිකරනු කැමතිව, කුඹුරු වැඩ නිම වූ කල්හි කෙත් රකින්නා වූ පුද්ගලයකු ලෙසින් තෙරුන් වහන්සේ සමීපයට ගොස්, උන්වහන්සේ තැතිගන්වමින් - මෙසේ පැවසීය.
“අතිහිතා වීහි - ඛලගතා සාලි,
නචලභෙ පිණ්ඩං කථමහං කස්සං”
“වී කොටුගුළෙහි තැබුවෙමි. සහල් කල විටෙහි රැස්කර තැබුවෙමි. පිඬු නොලබමි. මම කෙසේ නම් සී සාන්නේ ද?”
මෙය ඇසූ තෙරුන් වහන්සේ මේ ගාථා තුන වදාළහ.
“බුද්ධමප්පමෙය්‍යං අනුස්සර පසන්නා, පීතියා ඵුටසරීරො හොහිසී සතතමුදග්ගො”
“ධම්ම මප්ප මෙය්‍යං -පෙ- සඞ්ඝ මප්පමෙය්‍යං”
එය ඇසූ පාපී මාරයා මේ ගාථාව පැවසීය.
“අබ්භොකාසෙ ච විහරසි සිතා හෙමන්තිකා ඉමා රත්තියො,
මා සීතෙන පරෙතො විහඤ්ඤිත්‍ථො, පවිස ත්‍වං විහාරං ඵුසිතග්ගලං”
නැවත තෙරුන් වහන්සේ මේ ගාථාව වදාළහ.
“ඵුස්සිස්සං චතස්සො අප්පමඤ්ඤායො තාහි ච සුඛිතො විහරිස්සං,
නාහං සීතෙන විහඤ්ඤිස්සං අනිඤ්ජිතො විහරන්තො” තී.
මෙහි මුල් ගාථාවේ “අතිහිතා වීහි” වී ආදි ධාන්‍ය කෝෂ්ඨාගාරයට පමුණුවා තැන්පත් කරන ලදි. එහි ස්වාමීනි (හිමියන්) විසින් ගොයම් කපන තැනින් ගෙදරට ගෙන ගොස් තබන ලදි. “වී” ගැනීමෙන් මෙහිදී සෙසු ධාන්‍ය වර්ගද අදහස් විය. හාල් යනු බොහෝ සෙයින් වී වලින් පසුව ලැබෙන්නකි. “ඛලගතා සාලි” කලවිටට, ධාන්‍ය සහල් කරන තැනට ගිය සහල් ඇති, එහි රාශිවීම් වශයෙන් මැඩීම්, දිවීම් වශයෙන් පැවති. ප්‍රධාන ධාන්‍ය වර්ගය වූ වී සහ සහල් වෙනම ගැනීමෙන් ඒ ප්‍රධාන ධාන්‍යවලින් ගම් නියම්ගම් ද ඉන් පිටත ප්‍රදේශයන්ද පිරී පැවති බව දක්වයි. “නචලභෙ පිණ්ඩං” මෙසේ ධනධාන්‍යයන්ගෙන් පිරි, සුභික්‍ෂ කාලයක පවා මා හට ආහාර පිණ්ඩයක් (පිඬක්) පමණවත් නො ලැබේ. “දැන් මම කෙසේ නම් සී සාන්නෙම් ද?” “මම කෙසේ ජීවත්වන්නෙම් ද?” යනුවෙන් කෙලි කවටකම් කළේය.
මෙය ඇසූ තෙරුන් වහන්සේ, “මේ අසරණයා තමාගේ දුක්ඛිතභාවය මා හට පැවසීය. මවිසින් මොහුට කිසිවක් නොකිව යුතුයි. මම මා හටම අවවාද කරගත යුතුයි” යනුවෙන් සිතා ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමට තමා යොදවමින් “බුද්ධමප්පමෙය්‍යං” ආදී ගාථා තුන වදාළ සේක. එහි “බුද්ධමප්ප මෙය්‍යං අනුස්සර පසන්නො” පෙර පුරුදු සමඟ අවිද්‍යාව සම්පූර්ණයෙන් ම දුරුකළ බැවින් ද බුද්ධියේ වූ විකසිත භාවයෙන් ද බුද්ධ වූ භාග්‍යවත් බව ප්‍රමාණකරන රාගාදී සියලු කෙලෙස් නැතිකිරීමෙන් ලද අප්‍රමාණ ගුණ සමුදායෙන් යුක්ත වූ පමණ කළ නොහැකි පින්කෙතක් වූ අප්‍රමාණ විශ්වාසවන්ත (ශ්‍රද්ධාව ඇති කරන) වඩ වඩාත් පහදවන, ප්‍රසන්න වූ, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි “ඒ භාග්‍යවත්හු අර්හත්ය. සම්මා සම්බුද්ධයහ.” ආදී වශයෙන් ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව වඩන්න. “පීතියා ඵුටසරීරො හොහීසි සතතමුදග්ගො” එසේ සිහිකරත්ම ශරීරයේ පැතිර යන ස්වභාව ඇති ප්‍රීතිය, නිරතුරුව සැමකල්හි ස්පර්ශ කරන ලද ශරීරය ඇතිව, ප්‍රීතියෙන් නැගුණු උසස් රූපයන්ගෙන් වසා පැතිරගත් ශරීර ඇතිව, උද්වේගයට පත්ව උබ්බේග ප්‍රීතියෙන් නැගුණු උසස් රූපයන්ගෙන් වසා පැතිරගත් ශරීර ඇතිව, උද්වේගයට පත්ව උබ්බේග ප්‍රීතියෙන් ඔදවැඩී අහසෙහි පැන නැගීමට සමත්වූවෙක් වන්නේ ය. බුද්ධානුස්සතියෙන් බුද්ධ රත්නය අරමුණු කරගෙන මහත් වූ ප්‍රීතියක් සතුටක් විඳින්නේ ය. ඒ හේතුවෙන් සීතෝෂ්ණ දෙක ඉවසන්නාක් මෙන්ම සාපිපාසා දෙක ද ඉවසන්නෙක් වැන්න. ඒ දෙකට යටත්වන්නෙක් නොවන්න.
“ධම්මං” ආර්ය වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය “සංඝං” ආර්ය වූ පරමාර්ථ සංඝරත්නය සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය. “අනුස්සර” යන මෙහිදී (දෙවන ගාථාවේදී) “භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව දෙසන ලදි” ආදී වශයෙන් ධර්මය ද “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපිළිපන්නයහ” ආදී වශයෙන් සංඝරත්නය ද සිහිකරව” යනුවෙන් අදහස් ගත යුතුයි.
මෙසේ තෙරුන් වහන්සේ තමා රත්නත්‍රය ගුණ සිහිකිරීමෙහි යොදවමින් තමාට ම අවවාද කරගත් කල්හි, උන්වහන්සේගේ විවේකයේ ඇලුණු සිත විවේචනය කරමින්, ඉතා හිතවත් වූවෙකු මෙන් මාරයා “අබ්භොකාසෙව විහරසි” යන පස්වන ගාථාව පැවසීය. එහි අර්ථ මෙසේය. “මහණ, නුඹ එළිමහනෙහි කිසියම් නොසෙවුණු තැනක, විවෘත වූ තැනෙක වෙසෙන්නෙහිය. ඉරියවු පවත්වන්නෙහිය. දැන් මේ හේමන්ත කාලයේ හිම වැටෙන සමයයි. මෙකල රාත්‍රිය ඉතා ශීතලය. එනිසා ශීතලෙන් පීඩිතව, මැඩී වෙහෙසට පත් නොවන්න. විඩාවට පත්නොවන්න. ක්ලාන්ත නොවන්න. වැසූ දොරකවුළු, වා කවුළු ඇති සෙනසුනකට හෝ කුටියකට පිවිස සුවසේ වසන්න.”