උරුවේලකස්සප ස්ථවිරගාථා වර්ණනාව
සයවන නිපාතයේ “දිස්වාන පාටිහීරානි” ආයුෂ්මත් උරුවේල කාශ්‍යප තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසරින් මිදීම සඳහා කුසල් දහම් රැස් කරන්නාහු, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයේදී කුලගෙයක උපන්හ. වැඩිවියට පත් ඒ සිටුතුමා ශාස්තෲන් වහන්සේගෙන් නිතරම බණ අසයි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් මහත් වූ පිරිස් ඇත්තන්ගෙන් අග්‍රභාවයට පත්කළ සේක. එය දුටු සිටුතුමාද ඒ තනතුර පතා මහදන් පවත්වා අධිෂ්ඨානයක් කළේය. භාග්‍යවතුන් වහන්සේගේ ඔහුගේ ඊළඟ හේතු සම්පත් දැක, “මෙතෙම අනාගතයේ ගෞතම බුදු සසුනේ දී මහ පිරිස් ඇත්තවුන්ගෙන් අග්‍රවන්නේය”යි විවරණ දුන් සේක.
දිවි ඇතිතාක් පින්දහම් කළ හෙතෙම ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර දී ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ පියාට දාව වෙනත් මවුකුසක බාල සොහොයුරෙක්ව උපන්නේය. ඔහුට තවත් බාල සහෝදරයෝ දෙදෙනෙක් වූහ. මේ තිදෙනාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉතා උතුම් වූ පූජාවන්ගෙන් පූජාකරමින් දිවි ඇතිතාක් පින්දහම් සිදුකළහ. ඒ කුසල් බලයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ ඒ තිදෙන අප භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙරදී ම බරණැස බමුණු කුලයක සොහොයුරන්ව ඉපිද අනුපිළිවෙලින් වැඩුනාහ. උපන් ගෝත්‍ර නාම වශයෙන් ඔවුන් තිදෙනාම “කස්සප” නාමයෙන් හැඳින්විණි. වැඩිවියට පත් ඔවුහු ත්‍රිවේදය උගත්හ. ඔවුන්ගෙන් වැඩිමලාට තරුණයෝ පන්සීයක් පිරිවර වූහ. දෙවැනියාට පිරිවර තුන්සීයකි. තෙවැනියාට පිරිවර දෙසීයකි. තමන් හදාළ වේද ග්‍රන්ථයන්හි සාරයක් නොදුටු ඔවුහු මෙලොවම විඳිය යුතු සැප කැමතිව පැවිදිවූහ. ඒ තිදෙනාගෙන් වැඩිමල් සෝයුරා තම පිරිවර සමග උරුවෙල් ජනපදයට ගොස් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව උරුවේල කාශ්‍යප නාමයෙන් ප්‍රකට විය. දෙවැනියා මහාගංගාව හැරී යන නදී වංකයක පැවිදිව හුන් බැවින් නදී කාශ්‍යප නමින් ප්‍රකට විය. ගයාවෙහි පැවිදි වී සිය පිරිස සමග සිටි බාල සෝයුරා ගයා කාශ්‍යප නම් විය.
මෙසේ ඒ ඒ තැන ඔවුහු සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ඒ ඒ තැන විසූහ. මෙසේ වෙසෙමින් බොහෝ කලක් ගතවූ පසුව අපගේ බෝධිසත්වයෝ මහබිනික්මන් කොට, අවබෝධ කරගත් සර්වඥ ඤාණ ඇතිව, අනුපිළිවෙලින් පැවැත් වූ දම්සක් පැවතුම් දෙසුම් ඇතිව, පස්වග මහණුන් අර්හත් ඵලයෙහි පිහිටුවා, යස ප්‍රධාන පනස් පහක් වූ යහලු පිරිස හික්මවා ලොව ප්‍රථම රහත් සැටනම ඇතිකරවා “මහණෙනි! දහම් චාරිකාවෙහි හැසිරෙවු” යනුවෙන් ඔවුන් පිටත් කර යැවූහ. ඉන්පසුව බුදුපියාණන් වහන්සේ භද්‍රවර්ගිය කුමාරවරුන් හික්මවා ඔවුන් ද සදහම් චාරිකාවෙහි පිටත්කර යවා, උරුවේල කාශ්‍යප වසන තැනට වැඩමවා රාත්‍රී වාසය සඳහා ගිනිහල් ගෙට වැඩ එහිදී නාගදමනාදියෙන් ප්‍රාතිහාර්ය තුන්දහස් පන්සීයක් දැක්වූහ. මෙසේ පිරිවර සහිතව උරුවෙල් කසුප් තවුසා දමනය කර පැවිදි කරවූ භාග්‍යවතුන් වහන්සේ වෙත සෙසු දෙසොහොයුරෝ ද සිය පිරිස සමග පැමිණ පැවිදි වූහ. ඒ සියලු දෙනම ඒහිභික්‍ෂු මහණ උපසම්පදාව ලැබූහ.
ඒ සිය දහසකට වැඩි වූ පිරිස සමග ගයා ශීර්ෂයට වැඩම කළ ශාස්තෲන් වහන්සේ එහිදී ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කළ සේක. ඒ සැමදෙනා වහන්සේම ඒ සූත්‍රදේශනාවසානයේදී රහත් වූහ. අපදාන පාළියේදී උරුවේල කාශ්‍යප තෙරණුවෝ මෙසේ වදාළහ.
“පසැස් ඇති, සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගන්නා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණෝ මීට කල්ප ලක්‍ෂයකට පෙර ලොව පහළ වූහ.
සියලු සත්ත්‍වයන්ට අවවාද දෙන, දහම් අවබෝධ කරවන, සත්ත්‍වයන් සසරින් එතෙර කරවන, දම් දෙසුමෙහි දක්‍ෂ වූ බුදුරජාණෝ බොහෝ ජනයා සසරින් එතෙර කරවූහ.
සියලු සත්නට අනුකම්පා කරන කාරුණික වූ අන්‍යයන්ගේ යහපත කැමති උන්වහන්සේ තමා වෙත පැමිණි සියලු තීර්ථකයන් සරණ සිල්හි පිහිටවූහ.
මෙසේ ඒ කාලය තීර්ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්ච වශීතාවයෙන් යුතු රහතුන්ගෙන් පිරුණු සමයක් විය.
උන්වහන්සේගේ උස රියන් පනස් අටකි. රන් ඇගෑයක් වැන්න. දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි සේක.
එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්‍ෂයකි. එපමණ කල් වැඩහුන් ඒ සර්වඥයන් වහන්සේ ජන සමූහයා සසරින් එතෙර කරවූ සේක.
එකල මම හංසවතී නුවර යහපත් යැයි සමාජය පිළිගත් බ්‍රාහ්මණයෙක් වූයෙම්, ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් ඇසුවෙමි.
එකල මම මහත් පිරිස් ඇත්තන් අතරින් අග්‍ර වූ තෙරනමක් අග තනතුරු ලබනු දුටුවෙමි. සතුටු වූ මම බමුණන් දහසක් පිරිවරාගෙන’වුත් ආරාධනා කොට බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මහ දන් පැවැත්වූයෙමි. ඉන්පසු වැඳගෙන මෙවදන් පැවසුවෙමි.
“වීරයන් වහන්ස, මවිසින් ඔබවහන්සේට සැදැහැයෙන් කළ පූජා සත්කාර නම් අධිකාර ගුණ හේතුවෙන් ඒ ඒ උපනුපන් ජාතියෙහි දී මා හට මහ පිරිස් ඇතිවේවා.”
එය ඇසූ ශාස්තෲන් වහන්සේ මේඝ ගර්ජනාවක් බඳු මනා වූ ගැඹුරු ස්වර ඇති කුර කෙවිල්ලකට බඳු කටහඬින් මුළු පිරිස අමතා මෙසේ වදාළහ.
“රන්වන් වූ මහත් බාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌර්ධ රෝමයක් ඇති, ප්‍රීතියෙන් මාගේ ගුණයන්හි සැදැහැවත් වූ මේ බමුණා දෙස බලවු.