විජිතසේන ස්ථවිරගාථා වර්ණනාව
“ඔලග්ගෙස්සාමි” යනු ආයුෂ්මත් විජිත සේන තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් පැමිණ, අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී කුලගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ගිහි ගේ හැර දැමූ ඒ කුල කුමරු සෘෂි පැවිද්දෙන් පැවිදිව අරණ්‍යයෙහි වෙසේ. දිනක් අහසින් වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දුටු හෙතෙම සිත පහදවාගෙන ඇඳිලි බැඳ වැඳගෙන සිටියේය. ඔහුගේ අදහස් දුටු තථාගතයෝ අහසින් බැස ඔහු ඉදිරියේ වැඩහුන්හ. එවිට ඒ තවුසා රසවත් පළතුරු උන්වහන්සේට පිළිගැන්වීය. එම දානය පිළිගත් බුදුපියාණෝ ඔහුට පුණ්‍යානුමෝදනා කළහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැප විඳිමින් සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ඇතුන් මෙහෙයවන කුලයක ඉපිද විජිතසේන නමින් ප්‍රකටව නුවණැති බවට පත්විය. ඔහුගේ මාමාවරු වූ සේන හා උපසේන යන හස්තාචාරීහු දෙදෙන ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව නිසා සසුනේ පැවිදි වූහ. ඔවුහු පැවිදිව විදර්ශන ධුරය පිරීමෙන් රහත් බවට පැමිණියහ. විජිතසේන ද හස්ති ශිල්පයේ කෙළවරට ගොස්, කාමුක සම්පත් කෙරෙහි ඇල්මක් නොවූ බැවින් ගිහිගේ හැර දමා, ශාස්තෲන් වහන්සේගේ යමාමහ පෙළහර දැකීමෙන් උපන් ශ්‍රද්ධාව නිසා මාමාවරුන් වූ තෙරුන් වහන්සේලාගේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව විදසුන් කමටහන වැඩූ විජිතසේන හිමියෝ බාහිර විවිධ අරමුණු වෙත දිවයන තම සිතට අවවාද කරමින් මෙම ගාථා පහ වදාළහ.
“ඔලගෙස්සාමි තෙ චිත්ත ආණිද්වාරෙව හත්‍ථිනං,
න තං පාපෙ නියොජෙස්සං කාමජාල සරීරජ”
“ත්‍වං ඔලග්ගො න ගඤ්ඡිසි ද්වාරවිවරං ගජොව අලභන්තො,
න ච චිත්තකලී පුනප්පුනං පසහං පාපරතො චරිස්සසි”
“යථා කුඤ්ජරං අදන්තං නවග්ගහං අංකුසග්ගහො,
බලවා ආවත්තෙති අකාමං, එවං ආවත්තයිස්සං තං”
“යථා වරහයදමකුසලො සාරථීපවරො දමෙති ආජඤ්ඤං,
එවං දමයිස්සං තං පතිට්ඨතො පඤ්චබලෙසු”
“සතියා තං නිබන්‍ධිස්සං පයතත්තො වො දමෙස්සාමි,
විරිය ධුරනිග්ගහීතො නයිතො දූරං ගමිස්සසෙ චිත්තා” තී.
එහි “ඔලගෙස්සාමි” සංවර කරගන්නෙමි. වළකන්නෙමි. “තෙ” ඒ. මෙහි කර්ම විභක්ති අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදී ඇත. ‘ඒ මාර්ගයෙන්” යන අදහසයි. “හත්‍ථීනං” ඇතෙකු යන අර්ථයයි. “චිත්තා” තමාගේ සිතට ආමන්ත්‍රණය කරයි. යමකින් එය වළකනු කැමැත්තේද ඒ දෙය දක්වමින් “ආණිද්වාරෙව හත්‍ථීනං” යනුවෙන් කියන ලදි. ආණි ද්වාරය නම් මහාප්‍රාකාරයකින් වටකළ නගරයේ ඇතුලට යා හැකි කුඩා දොරයි. එකට බැඳී සිදුරු ඇති කුරු බිලියෙහි දැමූ කල්හි එහි ඇතුලේ වූවන්ට උත්සාහයෙන් තොරව පිටතට පැමිණීමට නොහැක. මනුෂ්‍ය, ගව, මහීෂාදීන්ට ඉන් පිටවීමට නොහැක. නගරයෙන් පිටතට නික්මෙනු කැමති වූ ඇතා, කුරුබිලයට පොළඹවන හස්ත්‍යාචාරීහු ඌගේ ගමන වළක්වති. නැතිනම් ආණිද්වාර යනු දොර පොලු සහිත දොරයි. එහි හරහට දොර පොලු දමා, ගස් කූරු වලින් කරන ලද, බාධා සහිත දොර “පාපෙ” රූපාදී අරමුණු කෙරෙහි ඇතිවන දැඩි ලෝභ ආදී පාප ධර්මයන්හි. ඒ පවිටු සිත්වලින් සිත වළක්වමි. ඒ සිත් නොවඩමි. “කාමජාලා” කාමය දැලක් බඳුය. මසුන්, මුවන් බඳිනු ලබන්නේ දැලෙනි. සිහිකල්පනාවෙන් තොරවූ මතස්‍යාදීහු දැලේ බැඳී වැනසෙන්නාක් මෙන් අනුවණින් සිත යොමුකිරීම නිසා ඒ පාපී සිත මාරයාගේ කැමැත්ත ඉටුකරයි. මරු වසඟ වේ. එනිසා එබඳු සත්ත්වයෝ වැනසීමට දුකට පත්වෙති. “සරීරජා” ශරීරයෙන් උපදින පඤ්චවෝකාර භවයන්හි සත්‍වයන්ගේ (කාමාවචර භූමි එකොළොස හා රූපාවචර භූමි පසළොස යන විසිහය භූමිය) සිත රූපය හා බැඳී පවතියි. එනිසා ශරීරජ නම් වේ.
“ඔලග්ගො න ගඤ්ඡිසි” එම්බා කාලකණ්ණි සිත! ම විසින් සිහිය නම් කෙවිටෙන්, ප්‍රඥාව නම් අංකුසයෙන් වළක්වන ලද නුඹ දැන් තමාට රිසි සේ නොම හැසිරෙන්නෙහි. අනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් කැමති සේ පැවතීමට, සිටීමට ඉඩ නො ලබන්නෙහිය. ඒ කෙසේ ද? දොරටුවෙන් නික්මීමට නොහැකි ඇතෙකු මෙනි. නගරයෙන් පිටතට නික්ම යෑමට දොරටුව විවෘත කරගත නොහැකි ඇතෙකු මෙනි. “චිත්තකලී” යනු කාලකණ්ණි සිත. “පුනප්පුනං” නැවත නැවත. “පසහං” සරභ නම් මුව සමූහයා නපුරු ක්‍රියා ඉවසන්නාක් මෙන් පාපයේ ඇලී, පවිටු ක්‍රියාවල යෙදෙමින් පෙර මෙන් නො හැසිරෙන්නෙහිය. එසේ හැසිරීමට ඉඩ නොදෙමි. යන අර්ථයයි.
“අදන්තං” දමනය නොවූ, හස්ති ශික්‍ෂණයෙන් නොහික්මුණු. නවග්ගහං අලුත අල්වාගත්, “අංකුසග්ගහො” ඇත්ගොවුවා. “බලවා” කාය බලයෙන් ද ඤාණ බලයෙන් ද බලවත් වූ. “ආවත්තෙති අකාමං” නොකැමතිවම, සේවනය නොකිරීමෙන් වලකයි. “එවං ආවත්තයිස්සං” ඉහත කියූ පරිදි ඇත්ගොවුවා ඇතා හසුරුවන්නාක් මෙන්, එම්බා කාලකණ්ණි සිත! මම ද නුඹ දුශ්චරිතයෙන් වළක්වමි.
“වරහයදම කුසලො” උතුම් වූ අශ්ව දමනයෙන්, අසුන් දමනයට දක්‍ෂ වූ, එසේම උතුම් රියදුරෙක් වූ, අශ්ව දමනයෙහි ප්‍රකට වූ අස්ගොවුවකු දේශකාලානුරූපී වූ මෘදු පරුෂ වදනින් අශ්වයන් දමනය කරයි. හික්මවයි. වැරදි දෙයින් වළක්වයි. මෙසේ ඔහු අජානීය අශ්වයින් හික්මවයි. “පතිට්ඨිතො පඤ්චබලෙසු” ශ්‍රද්ධාදී පඤ්ච බලයන්හි මනාව පිහිටා, අශ්‍රද්ධාවාදී දෙයින් සිත වළක්වමින් දමනය කරන්නෙමි.
“සතියා තං නිබන්‍ධිස්සං” ගොදුරු ගැනීම් ආදිය සඳහා පිටත යෑමට නොදී සිහිය නම් යොතින් කමටහන් නම් ටැඹෙහි නුඹ තබා බඳින්නෙමි. නුඹ එහි යොදවන්නෙමි. “පයතත්තො වොදපෙස්සාමි” එහි බැඳ තැබීමෙන්ම, සිහියෙන් කමටහනෙහි සිත යෙදවීමෙන්ම සිත පිරිසිදු කරන්නෙමි. කිලිටි පාප දහම්වලින් සිත පවිත්‍ර කරන්නෙමි. “විරියධුර නිග්ගහිතො” ඉහත කී අයුරින් දක්‍ෂ වූ අශ්වයන් දමනය කරන්නෙකු විසින් වියදණ්ඩෙහි යෙදූ, මනාව හික්මවූ වියදඬු අතරෙහි හුන් අශ්වයා සකසා - මැනවින් කටයුතු කරන්නේ ය. අන් අයුරකින් පැවතීමට ඉඩ නොලබන්නේය. ගොදුරු ගැනීමට ඉන් බැහැරට නො යන්නේ ය. එමෙන් භාවනා කමටහනෙහිම යෙදුණු සිතට ඒ කමටහනින් බැහැර වූ ආසන්න වූ ලක්‍ෂණය පවා ඉතා දුරවූවක් ම ය. මෙසේ සිත දමනය කරගනිමින්, තම සිතට නිග්‍රහ කළ තෙරණුවෝ විදසුන් වඩා රහත්ඵලයට පත්වූහ. අපදාන පාළියේදී විජිතසේන තෙරණුවෝ මෙසේ වදාළහ.