යසදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“උපාරම්භ චිත්තො” යනු ආයුෂ්මත් යසදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒ ගාථාවන්ගේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින් රැස් කරගනිමින් අවුත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු පවුලක ඉපිද සියළු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පත්වූහ. පස්කම් සැප කෙරෙහි කළකිරුණු ඒ බමුණා සෘෂි පැවිද්දෙන් පැවිදිව කැළයෙහි වසනුයේ දිනක් ශාස්තෲන් වහන්සේ දැක පහන් සිතින් ඇඳිලි බැඳගෙන උන්වහන්සේට ස්තූති කළේය. ඒ පින්කමේ විපාක විඳිමින් සසර සැරිසරා දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී මල්ල රට, මල්ල රජ පවුලක ඉපිද යසදත්ත යැයි ප්‍රකට විය. නිසිවියට පැමිණි ඔහු තක්සලාවට ගොස් සිප්සතර උගත්තේය. මනාව සිප් සතර හදාළ යසදත්ත; සභිය නම් පිරිවැජියා සමග ම හැසිරෙමින් අනුපිළිවෙලින් සැවැත් නුවරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියේය. සභිය පිරිවැජියා ඇසූ ප්‍රශ්න ඉතා විසිතුරුව බුදුපියාණන් වහන්සේ විසඳන කල්හි මනාව ඒ සාකච්ඡාවටම සිත් යොමුකළ යසදත්ත; “ශ්‍රමණ භළුත් ගෞතමයන්ගේ වාග් දෝෂයක් සොයමි”යි එය අසා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන, සභිය සූත්‍ර දේශනාවසානයේදී යසදත්තට අවවාද දෙන සේක්; මේ ගාථා පහ වදාළ සේක.
“උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං,
ආරකා හොති සද්ධම්මා නභසො පඨවී යථා.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං,
පරිහායති සද්ධම්මා කාලපක්ඛෙව චන්‍දිමා.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං,
පරිසුස්සති සද්ධම්මෙ මච්ඡො අප්පොදකෙ යතා.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං,
න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංව පූතිකං.
යොච තුට්ඨෙන චිත්තෙන සුණාති ජිනසාසනං,
ඛෙපෙත්‍වා ආසවෙ සබ්බෙ සච්ඡිකත්‍වා අකුප්පතං,
පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බාති අනාසවො” තී.
එහි “උපාරම්භචිත්තො” එකට එක කරන සිත, දෝෂාරෝපණය කරන සිත් ඇති. “දුම්මෙධො” දුෂ්ප්‍රාඥ. “ආරකා හොති සද්ධම්මා” එබඳු අනුවණ පුද්ගලයා අහසට පොළොව මෙන් ප්‍රතිපත්ති සද්ධර්මයෙන් පවා දුරු වේ. ඈත් වේ. ප්‍රතිවේධ සද්ධර්මයෙන් ඈත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. “නුඹ මේ දහම් විනය නො දන්නෙහිය” ආදී කලහ විවාද මූලික කථාවෙන් යුක්ත තැනැත්තාට කෙසේ නම් දහම් විනයේ අර්ථ වැටහේ ද?
“පරිහායති සද්ධම්මො” නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෙන් ද පූර්වභාගී වූ ශ්‍රද්ධාදී සද්ධර්ම සම්පත්තියෙන් ද පිරිහේ. “පරිසුස්සති” වියැලෙයි. කය හා සිත පිනවන්නා වූ ප්‍රීතිය, ප්‍රමෝදය ආදී කුසල දහම්හි රසවත්භාවය නොලබයි. “න විරූහති” අභිවෘද්ධියට, වැඩිදියුණු බවට නොපැමිණෙයි. “පූතිකං” රැකීම්, සැළකීම් ආදියෙන් දුරු වූ බැවින් කුණු වූ බවට ගිය.
“තුට්ඨෙන චිත්තෙන” ඉත්‍ථම්භූතාර්ථයේ තතියා විභක්ති වචනයකි. තම සිතින් සතුටුවෙමින්, ප්‍රීතියෙන්. “ඛෙපෙත්‍වා” මුළුමනින්ම නසා, ක්‍ෂය කොට. “අකුප්පතං” රහත් බවට, ස්ථිරත්‍වයට, “පප්පුය්‍ය” පැමිණ. “පරමං සන්තිං” අනුපාදිසේස නිර්වාණය අවබෝධ කෙරේ. හුදෙක්ම සන්සිඳීමට පත් වේ. “කවරාකාරයෙන් ද?” යන්න දැක්වීමට “පරිනිබ්බායිස්සති අනාසවො” ආශ්‍රව රහිතව පිරිනිවෙන්නේ ය”යි වදාළහ.
මෙසේ වදාළ ශාස්තෲන් වහන්සේගේ අවවාදය ඇසීමෙන් උපන් සංවේග ඇති යසදත්ත කුමරු බුදුසසුනේ පැවිදිව විදසුන් භාවනාවේ සිත පිහිටුවා නොබෝ කලකින්ම කෙලෙස් නසා රහත් විය. යසදත්ත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“කිණිහිරි රුකක් මෙන් දිළිසෙන, පහන් ගසක් වැනි වූ බබළන රන් රැසක් මෙන් රැස් පතුරුවන දෙපා ඇත්තන් අතර ප්‍රධාන වූ බුදුරදුන් දුටු මම; කමැඬලාව ද වැහිරි සිවුර ද පැන් කෙණ්ඩිය ද පසෙක තබා අඳුන් දිවි සම ඒකාංශ කර පොරවා උන්වහන්සේට ස්තූති කළෙමි.
“මහා මුනීන්වහන්ස! මෝහ ජාලයෙන් අවුල් වූ ගණදුර නසමින් ඥානාලෝකය දක්වා සසර සයුරින් එතෙර වූහ.
නිරුත්තර වූ තථාගතයන් වහන්ස! සියලු සත්ත්‍වයන් සහිත මේ ලෝකයා සසරින් ගොඩලනු මැනවි. ලෝකය මුළුල්ලෙහිම ඔබවහන්සේගේ නුවණ පිළිබඳ උපමාවක් නම් නැත.
ඒ අනූපම වූ ඥානයෙන් සර්වඥ වූ ඔබ වහන්සේ “බුද්ධ” නම් වන සේක. මහාවීරයන් වහන්ස! ආවරණ නොමැති ඒ සර්වඥතා ඥානයට මම වඳින්නෙමි.”
මීට කල්ප ලක්‍ෂයකට පෙර දී මම ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේට ස්තූති කළෙම් ද ඒ පින හේතුවෙන් දුගතියකට නොගියෙමි. බුදුනුවණ පැසසීමේ විපාකය මෙබඳුය.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ යසදත්ත තෙරුන් වහන්සේ සිය රහත් බව ප්‍රකාශ කරමින් මෙම ගාථාවන්ම නැවත වදාළ සේක.