සෝණ ස්ථවිරගාථා වර්ණනාව
“උපසම්පදා ච මෙ ලද්ධා” යනාදී ගාථා ආයුෂ්මත් සෝණ කුටිකණ්ණ තෙරුන් වහන්සේ විසින් වදාරණ ලදි. එම ගාථාවල උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටුවරයෙක් ව මහත් වූ ඉසුරු සම්පත් විඳිමින් සැප වින්දේය. ඔහු දිනක් ලක්ෂයක් මහරහතුන් පිරිවරා මහත් වූ බුද්ධ ලීලාවෙන්, මහත් වූ බුද්ධානුභාවයෙන් නුවරට වැඩමවන ශාස්තෲන් වහන්සේ දුටුවේය. එම දර්ශනයෙන් පැහැදුණු සිතැති ඔහු බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට වැඳගෙන සිටියේය. පසුබත් කල උපාසකවරුන් සමග විහාරයට ගිය හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්ම ශ්රවණය කළේය. එසේ බණ අසන විට ශාස්තෲන් වහන්සේ එක් භික්ෂු නමක් මිහිරි කටහඬ ඇති භික්ෂූන්ගෙන් අග්රස්ථානයට පත් කළ සේක. ඒ දුටු සිටුතුමා ද එම තනතුර පතමින් මහදන් දී අධිෂ්ඨාන කරගත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිතැඟි දැන, එය ඉටුවන බව දුටුසේක්; “මෙතෙම අනාගත ගෞතම බුද්ධ ශාසනයේ දී මිහිරි කටහඬ ඇති භික්ෂූන්ගෙන් අග්රවන්නේය”යි විවරණ දුන් සේක.
දිවි ඇතිතාක් පින්දහම් සිදුකළ හෙතෙම, එපින් බෙලෙන් කාමසුගතීන්හි සැප විඳිමින් සැරිසරා පැමිණ, විපස්සි භාග්යවතුන් වහන්සේගේ සසුනේ පැවිදි භූමියට පත්ව, වත් පිළිවෙත් පුරනුයේ දිනක් එක් භික්ෂුවකගේ සිවුරක් මසා දුන්නේය. නැවත බුද්ධශූන්ය වූ ලොවෙහි බරණැස් නුවර රෙදි වියන්නෙක්ව උපන් ඔහු, පසේ බුදුවරයෙකුට දිරාගිය කොණවල් බැහිරලා ගැළපූ සිවුරක් පූජා කළේය. මෙසේ ඒ ඒ භවයෙහි පින්දහම් රැස්කරගත් ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී අවන්ති රට කුරරඝරයේ මහා ධනවත් සිටු පුතෙක් ව උපන්නේය. “සෝණ” යන නමින් ප්රකට වූ ඔහුට, කෝටියක් අගනා කුණ්ඩලාභරණයක් දැරු බැවින් “කොටිකණ්ණ” යැයි කිවයුතු තැන “කුටිකණ්ණ” යැයි වහරන ලදි.
අනුපිළිවෙලින් වැඩුණු සෝණ කුටිකණ්ණ කුමරු, මනාව පවුල් රක්ෂණයෙහි යෙදුණේය. ආයුෂ්මත් මහා කච්චාන රහතන් වහන්සේ කුරර ඝරයෙහි පැවති පර්වත විහාරයේ විසූ බැවින් උන්වහන්සේගෙන් දහම් අසා සරණ සිල්හි පිහිටි සෝණකුමරු නිති සිවුපස දානයෙන් උන්වහන්සේ පිදුවේය. ඊට පසු කාලයක සසර බිය දැක හටගත් සංවේග ඇති ඔහු තෙරුන් ළඟ පැවිදි විය. ඉතා අමාරුවෙන්, දුක්විඳ දසවර්ග සංඝයා රැස්කරවාගත් සෝණ තෙරණුවෝ උපසම්පදාව ලබාගත්හ. කිහිප දිනක් ආචාර්යයන් වහන්සේ ළඟ විසූ සෝණ හිමියෝ ගුරු අවසරය ලැබ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවරට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ සමග එක ගඳකිළියෙහි විසීමට අවසර ලද උන්වහන්සේ, ඉතා අලුයම් කාලයෙහි අට්ඨක වර්ගයේ (සුත්ත නිපාත) සූත්ර දහසය ම මධුර ස්වරයෙන් ගායනා කළහ. එය ඇසූ භාග්යවතුන් වහන්සේ සාධුකාර දී වදාරන ලද; “දිසවා ආදීනවං ලොකෙ” යනාදී උදාන ගාථාව අවසන විදසුන් වැඩූ සෝණ හිමියෝ රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට යෝග්ය වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතුන් ලක්ෂයක් පිරිවරාගෙන නුවරට වැඩම කළ සේක.
තාදී ගුණ ඇති උපශාන්ත වූ උන්වහන්සේ නුවරට පිවිසෙන කල්හි රත්නයෝ තමාම බැබළුණහ. එකෙණෙහිම මහා ඝෝෂාවක් ද ඇති විය.
නගරයට පිවිසෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නොගැසූ බෙර ස්වයංවම නාද විය. වීණා ද තමාම වැයුණේය.
මහාමුනි වූ පදුමුත්තර බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ නොදකිමි. මේ ප්රාතිහාර්ය දැක උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වූයෙමි.
“බුදුරජාණෝ ඉතා අසිරිමත් යහ. ධර්මය ආශ්චර්යජනකය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය. අචේතනික වූ ගායන වාදන භාණ්ඩ ස්වයංවම නාද විය.”
මෙසේ මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් බුද්ධ සංඥාවක් ලැබුවෙම් ද එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුද්ධ සංඥාවේ විපාක මෙබඳුය.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාගේ උපාධ්යායන් වහන්සේ වදාළ අයුරින්ම ප්රත්යන්ත ජනපදයන්හිදි විනයධර භික්ෂුවක් පස්වැනි වූ සංඝයාගෙන් උපසම්පදාව ලැබීම ද දිනපතා නෑම ද සම් ඇතිරිළි ද පට කිහිපයක් ඇති පාවහන් දැරීමද අමතර සිවුරු ඉවසීම ද යන පංචවරය ඉල්ලා, භාග්යවතුන් වහන්සේගේ අනුමැතිය ලබාගත්හ. එසේ අනුමැතිය ලබාගෙන නැවතත් පෙර තමා සිටි තැනට වැඩම කළ සෝණ කුටිකණ්ණ හිමියෝ මේ බව තම උපාධ්යායන් වහන්සේට දැනුම් දුන්හ. මේ දැක්වූයේ ඉතා සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් උදානට්ඨකථාවේ පැමිණි අයුරින් දතයුතුයි. අංගුත්තරට්ඨකථාවෙහි වනාහී “උපසපන්වීමෙන් අනතුරුව සිය උපාධ්යායන් වහන්සේ ළඟදීම කමටහන් ගෙන, විදසුන් වඩා රහත් වූයේය”යි කියැවේ.
ඊට පසුකාලයකදී විමුක්ති සුවය විඳිමින් වැඩවසන උන්වහන්සේ තමාගේ පිළිවෙත් මඟ දෙස නැවත හැරී බලා හටගත් සතුටින් ප්රීතිය පහළකිරීම් වශයෙන් මේ ගාථා පහ වදාළහ.
“උපසම්පදා ච මෙ ලද්ධා. විමුත්තො චම්හි අනාසවො,
සො ච මෙ භගවා දිට්ඨො, විහාරෙච සහාවසිං”
සො ච මෙ භගවා දිට්ඨො, විහාරෙච සහාවසිං”
“බහුදෙවරත්තිං භගවා අබ්භොකාසෙ’තිනාමයි,
විහාර කුසලො සත්ථා විහාරං පාවිසී තදා”
විහාර කුසලො සත්ථා විහාරං පාවිසී තදා”
“සන්ථරිත්වාන සංඝාටිං සෙය්යං කප්පෙසි ගොතමො,
සිහො සෙලගුහායංව පහීණ භය භෙරවො”
සිහො සෙලගුහායංව පහීණ භය භෙරවො”
“තතො කල්යාණවාක්කරණො සම්මා සම්බුද්ධසාවකො,
සොණො අභාසි සද්ධම්මං බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
සොණො අභාසි සද්ධම්මං බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
“පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය භාවයිත්වාන අඤ්ජසං,
පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බායිස්සත්යනාසවො” තී.
පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බායිස්සත්යනාසවො” තී.
එහි “උපසම්පදා ච මෙ ලද්ධා” යම් ඒ උපසම්පදාවක් ඉතා දුකසේ දස නමක් වූ මහා සංඝරත්නය රැස්කරවා තමා විසින් ලබන ලද ඒ උපසම්පදාවත්, ප්රත්යන්ත ජනපදයන්හිදී විනයධර තෙරනමක් සහිත පස්නමක් වූ මහා සංඝයාගෙන් යම් උපසම්පදාවක් කිරීමට බුද්ධානුමැතිය ලබන ලද ද ඒ උපසම්පදාවත් යන දෙකම මෙහිදී අදහස් වේ. “ච” ශබ්දය සමුච්චාර්ථයේ නිපාතයකි. ඉන් සෝණකුටිකණ්ණ හිමියන් ශාස්තෲන් වහන්සේ වෙතින් ලබාගත් සෙසු වරප්රසාද අදහස් කරයි. “විමුත්තො චම්හි අනාසංවා” ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් සියලු කෙලෙස් වස්තූන්ගෙන් මිදුණෙම් වෙමි. එසේම කාමාදී ආශ්රවයන්ගෙන් ද මිදුණෙමි. “සොච මෙ භගවා දිට්ඨො” යම් අර්ථයක් සඳහා අවන්ති රටේ සිට මම සැවැත්නුවරට ගියෙම් ද පෙර නොදුටු නොවිරූ ඒ භාග්යවතුන් වහන්සේ ම විසින් දක්නා ලද්දෙමි. “විහාරෙ ච සහාවසිං” හුදෙක් මම ඒ භාග්යවතුන් වහන්සේ දැකීම පමණක් නොලැබූවෙමි. උන්වහන්සේ දැකීමත්, කථාබහ කිරීමත් මෙන්ම කරුණු සලකා බැලූ ශාස්තෲන් වහන්සේ සමඟ එක කුටියෙහි විසීමද මම ලැබුවෙමි. “විහාරෙ” යනු ඇතමෙක් විහාරය සමීපයෙහි යැයි කියති.