කෝසිය ස්ථවිරගාථා වර්ණනාව
“යො වෙ ගරූනං” යනු ආයුෂ්මත් කෝසිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම පිණිස කුසල් දහම් රැස්කරමින් පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුලවත් ගෙයක උපන්හ. නුවණැති බවට පත්වූ ඒ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ දැකීමෙන් හටගත් පහන් සිත් ඇතිව, උන්වහන්සේට උක් කඬක් දුන්නේය. ඒ පින්කමේ විපාක වශයෙන් හෙතෙම දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රට බමුණු කුලයක උපන්නේ ය. ඔහුට කෝසිය යන නම ගෝත්‍ර වශයෙන් ලැබුණේය. නුවණැති බවට පත් කෝසිය බමුණා නිතරම ආයුෂ්මත් ධර්ම සේනාපතීන් වහන්සේ ඇසුරු කළේය. වෙත පැමිණ බණ අසයි. සාකච්ඡා කරයි. උන්වහන්සේ නිසා සසුනේ පැහැදි ඒ බමුණා උපන් ශ්‍රද්ධාවෙන් පැවිදිව කමටහන් ගෙන, ඒ අනුව ක්‍රියා කරනුයේ නොබෝ දිනකින්ම රහත් විය. අපදාන පාළියේ දී කෝසිය තෙරණුවෝ මෙසේ වදාළහ.
“මම පෙර බන්‍ධුමතී නුවර දොරටුපාලකයෙක් වූයෙමි. සියලු දහම්හි පරතෙර දුටුවා වූ ඒ කෙලෙස් දුරලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
උක් දණ්ඩක් ගෙන උන්වහන්සේ වෙත පැමිණි මම එය ශාස්තෲන් වහන්සේට පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙරදී යම් උක් දඬු දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. උක් දඬු දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
රහත් බවට පත් වූ උන්වහන්සේ තමා ලද සම්පත් පිළිබඳව නැවත හැරී බලා ගුරුවරුන්ගෙන් ඇසුරත් සත්පුරුෂ ආශ්‍රයත් ප්‍රශංසාවට ලක්කරමින් මේ ගාථා පහ වදාළහ.
යොවෙ ගරූනං වචනඤ්ඤෑ ධීරො, වසෙ ච තම්හි ජනයෙථ පෙමං,
සො භත්තිමා නාම ච හොති පණ්ඩිතො, ඤත්‍වා ච ධම්මෙසු විසෙසි අස්ස.
යං ආපදා උප්පතිතා උළාරා, නික්ඛම්භයන්තෙ පටිසංඛයන්තං,
සො ථාමවා නාම ච හොති පණ්ඩිතො, ඤත්‍වා ච ධම්මෙසු විසෙසි අස්ස.
යො වෙ සමුද්දොව ඨිතො අනෙජො, ගම්භීර පඤ්ඤො නිපුණත්‍ථදස්සී,
අසංහාරියො නාම ච හොති පණ්ඩිතො, ඤත්‍වා ච ධම්මෙසු විසෙසි අස්ස.
බහුස්සුතො ධම්මධරොච හොති, ධම්මස්ස හොති අනුධම්මචාරී,
සො තාදිසො නාම ච හොති පණ්ඩිතො, ඤත්‍වා ච ධම්මෙසු විසෙසි අස්ස.
අත්‍ථඤ්ච යො ජානාති භාසිතස්ස,
අත්‍ථඤ්ච ඤත්‍වාන තථා කරොති,
අත්‍ථන්නරො නාම සහොති පණ්ඩිතො,
ඤත්‍වාච ධම්මෙසු විසෙසි අස්සා” තී.
එහි “යො” ක්‍ෂත්‍රියාදී සිවුපිරිසෙන් යම් කිසිවෙක්. “වෙ” ඒකාන්තයෙන්. “ගරූනං” සීලාදී ගරු කටයුතු ගුණයන්ගෙන් යුතු පඬුවරුන්ගේ. “වචනඤ්ඤෑ” ඔවුන්ගේ අනුශාසනා මනාව දැන, එහි පිහිටා පිළිපැදීමෙන් ප්‍රතිඵල ලබන බව දන්නා. “ධීරො” ධෛර්ය, උත්සාහයෙන් යුතු. “වසෙ ච තම්හි ජනයෙථ පෙමං” ඒ ගුරුවරුන්ගේ වචනයෙහි, අවවාදයෙහි පිහිටා ඒ අනුව වෙසෙන්නේ ය. පිළිපදින්නේ ය. “මේ ජාති ආදී දුක් කෙළවර කළ යුතුය” යන අවවාදය අසා එහි ප්‍රේමය, ගෞරවය උපදවන්නේ ය. මෙසේ ගරුකටයුත්තන්ටත්, ඔවුන්ගේ ගරු කටයුතු වචනයන්ටත් යන දෙකටම ප්‍රේම කරන, ගරු කරන ධෛර්යවත් වූවෙකු වීමි.” යනුවෙන් අර්ථ ගත යුතුයි. “සො” යනු ගුරුවරුන්ගේ වචන දන්නා වූ, පිළිගන්නා වූ ධෛර්යවත් වූ පුද්ගලයා එසේ ක්‍රියා කිරීමෙන්, ඒ වදන් අනුව පිළිපැදීමෙන් භක්තිමත් පුද්ගලයෙක් වේ. සිය දිවි ගියද ඊට පටහැනි වූ ක්‍රියාවක් නොකරන හෙයින් “පණ්ඩිත” නම් වේ. “ඤත්‍වා ච ධම්මෙසු විසෙසි අස්ස” එසේ පිළිපැදීමෙන්, එම ප්‍රතිපත්තියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගෙන අවබෝධ කළ නිසාත්, ලෞකික ලෝකෝත්තර ධර්මයන්හි විද්‍යාමානවීම් වශයෙන් ත්‍රිවිද්‍යාලාභියෙක්, ෂඩ් අභිඥාලාභියෙක්, පටිසම්භිදාවන්ට පත්වූවෙක් යනුවෙන් විශේෂාධිගමයන්ට පත්වූයෙමි.