වක්කලී ස්ථවිරගාථා වර්ණනාව
“වාත රොගාභිනීතො” යනු ආයුෂ්මත් වක්කලී තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර කුලගෙයක උපන්හ. නුවණැති බවට පත් එකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ හමුවට යන උපාසකවරුන් සමග විහාරයට ගොස් පිරිස් කෙළවර හිඳ ධර්ම ශ්‍රවණය කළේය. එවිට ශාස්තෲන් වහන්සේ එක් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සද්ධාමුත්ත තෙරවරුන්ගෙන් අග්‍රභාවයට පත්කරනු දුටු සිටුකුමරු ද එම තනතුර ප්‍රාර්ථනා කළේය. සත් දිනක් බුදුපාමොක් මහ සඟනට මහ දන් දුන් හෙතෙම ඒ සඳහා ප්රණිධානය කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අනාගතය දැන විවරණ දුන් සේක.
දිවි ඇති තාක් පින්දහම් සිදුකොට දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් සැප විඳි හෙතෙම, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන කාලයෙහි බමුණු කුලයේ උපන්නේ ය. “වක්කලී” නමින් ප්‍රකට වූ ඔහු නිසිවියට පත්ව ත්‍රිවේදයේ පරතෙරට ගොස්, බමුණු ශිල්ප ශාස්ත්‍රයන් සියල්ල ඉගෙන, ශාස්තෲන් වහන්සේගේ අතිශය ශෝභාසම්පන්න ශරීර ශෝභාව දැකීමෙන් තෘප්තියට පත් නොවී උන්වහන්සේ වෙතම රැඳුණේය. ගිහිගේ විසීමෙන් නිතරම ශාස්තෲන් වහන්සේ දැකීමට නොලැබේයැයි සිතූ ඔහු ශාස්තෲන් වහන්සේ ළඟ පැවිදි වී, ආහාර ගන්නා වේලාවෙහි හැර සෙසු මුළු කාලයම යම් තැනෙක හිඳ දසබලයන් වහන්සේ මනාව දැක බලා ගත හැකිවන්නේ ද එබඳු තැන්වලම හිඳිමින්, වෙනත් සෑම කටයුත්තක්ම බැහැර ලා, බුදුකය දෙස බලමින්ම වාසය කළේය. මෙසේ විසූ වක්කලී තෙරුන්ගේ ඤාණයේ මුහුකුරා යෑම බලමින් බුදුරජාණන් වහන්සේ ද කිසිවක් නොපවසා සිටි සේක. සුදුසු අවස්ථාවෙහි දී දිනක් “වක්කලිය! මේ කුණු කය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? වක්කලිය! යමෙක් දහම් දකින්නේ ද ඔහු මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ ද ඔහු ධර්මය දකින්නේය. “වක්කලිය! ධර්මය නිසි පරිදි වටහාගන්නාම මා දකින්නේය. මා නිවැරදිව දකින්නා දහම දකින්නේය”යි වදාළහ.
ශාස්තෲන් වහන්සේ මෙසේ දෙසුවත් වක්කලී තෙරුන් උන්වහන්සේගේ දර්ශනයෙන් වෙන්ව වෙනතක යෑමට, ඉවතට යෑමට අසම්ත විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මේ භික්ෂුව සංවේගයට පත් නොවී සත්‍ය අවබෝධ කර නොගන්නේයැ”යි දැන වස් එළඹෙන දිනයෙහි “වක්කලී, මෙතැනින් ඉවත්ව යන්නැයි” වදාරා ශ්‍රී හස්තය දිගු කළ සේක. ශාස්තෲන් වහන්සේ විසින් බැහැර කරන ලද වක්කලී තෙරුන්, උන්වහන්සේ ඉදිරියෙහි සිටීමට අසමත්ව, “ශාස්තෲන් වහන්සේ දක්නට නොලැබෙන මාගේ ජීවිතයෙන් කවර ප්රයේජනයක් ද?”යි සිතා ගිජුකුළු පවුවෙහි ප්රපාතස්ථානයට නැංගේය. ශාස්තෲන් වහන්සේ එහිමියන්ගේ එම හැසිරීම දැක, “මේ භික්ෂුව මාගේ සමීපයේදී පිහිටක් නොලැබ දැන් මාර්ගඵලාවබෝධයට ඇති හේතු සම්පත් ද නසා ගන්නේ ය”යි තමන් වහන්සේ දැක්වීමට ආලෝකයක් විහිදුවා -
“පාමොජ්ජබහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ,
අධිගච්ඡෙ පදං සන්තං සංඛාරූප සමං සුඛං” තී.
අධිගච්ඡෙ පදං සන්තං සංඛාරූප සමං සුඛං” තී.
“බුදුසසුනේ පැහැදුණු සිත් ඇති ප්‍රමෝදයෙන් - සතුටින් යුක්ත භික්ෂුව ශාන්ත වූ නිර්වාණපදය අවබෝධ කරගන්නේ ය. සංස්කාරයන්ගේ සන්සිඳීම සැපයකි.”
යන ගාථාව වදාරා, “එන්න, වක්කලී”යි ශ්‍රී හස්තය දිගු කළසේක. තෙරණුවෝ “දසබලයන් වහන්සේ මා දැක ඇත. එන්න යැයි මා හට පැවසූ සේක”යි බලවත් ප්‍රීතියට සතුටට පැමිණියහ. “කොහි යන්නේද?”යි තමාගේ ගමන පිළිබඳව අමතක වූ වක්කලී හිමි භාග්‍යවතුන් වහන්සේ දෙස බලාගෙනම අහසට පැන්නේය. එක පයක් පර්වතයේ පිහිටා තිබියදීම ශාස්තෲන් වහන්සේ වදාළ ගාථාව ආවර්ජනය කරමින් සිටි වක්කලී හිමියෝ අහසේදීම ප්‍රීතිය මැඩ පවත්වාගෙන, සිවුපිළිසිඹියා පත් මහරහත් බවට පත් වූ සේක. මෙසේ අංගුත්තර අටුවාවේ ද ධම්මපද වර්ණනාවේද පැවසෙන නමුත් මේ ථේරගාථා අටුවාවෙහි මෙසේ පැවසේ.
“වක්කලිය! මේ ශරීරය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ අවවාද දුන් කල්හි, ගිජුකුළු පවුවෙහි වෙසෙමින් වක්කලී තෙරණුවෝ විදසුන් භාවනාව වැඩූහ. උන්වහන්සේගේ සිතේ ශ්‍රද්ධාව ඉතා බලවත් බැවින් නිසි සේ සිත විදසුන් වීථියට නො බසී. නො වැටේ. එකරුණ දුටු භාග්‍යවතුන් වහන්සේ නැවත කමටහන පිරිසිදු කරදුන් සේක. නැවතද විදසුන් භාවනාව මස්තක ප්‍රාප්ත කර ගැනීමට නො හැකිවූයේම ය. ඉක්බිති උන්වහන්සේට ආහාර විපරීතවීමෙන් වාතාබාධයක් උපන්නේ ය. වක්කලී හිමියන් වාතාබාධයෙන් පෙළෙනු දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා ඒ පිළිබඳව මෙසේ විමසූ සේක.
“වාතරොගාභිනීතො ත්වං විහරං කානනෙ වනෙ,
පවිට්ඨ ගොචරෙ ළූඛෙ කළුං භික්ඛු කරිස්සසී” තී.
පවිට්ඨ ගොචරෙ ළූඛෙ කළුං භික්ඛු කරිස්සසී” තී.
එය ඇසූ තෙරණුවෝ ඊට පිළිතුරු ලෙස මේ ගාථා සතර වදාළහ.
“පීති සුඛෙන විපුලෙන ඵරමානො සමුස්සයං,
ළූඛම්පි අබිසම්භොන්තො විහරිස්සාමි කානනෙ”
ළූඛම්පි අබිසම්භොන්තො විහරිස්සාමි කානනෙ”
“භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්ද්රියානි බලානි ච,
බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනෙ”
බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනෙ”
“ආරද්ධවිරියො පහිතත්තො නිච්චං දළ්හ පරක්කමො,
සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ”
සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ”
“අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං,
අතන්දිතො රත්තිංදිවං විහරිස්සාමි කානනෙ” තී.
අතන්දිතො රත්තිංදිවං විහරිස්සාමි කානනෙ” තී.
මෙහි “වාතරොගාභිනීතො” වාතාබාධයෙන් පෙළී ශරීරය තමාට අවසඟභාවයට පත් වූයෙහි ද? වාත රෝගයෙන් පීඩිත වූයෙහි ද? “ත්වං” යනුවෙන් තෙරුන්ට ආමන්ත්‍රණය කරයි. “විහරං” ඒ ඒ ඉරියවු පවත්වමින් වාසය කරමින් “කානනෙ වනෙ” කැලෑවක් වූ වනයෙහි. මහා වනයක් යන අරුතයි. “පවිට්ඨගොචරෙ” හැර දැමූ ගොදුරු ඇති, දුලබ වූ ප්‍රත්‍ය ඇති, වාතරෝගයට සුදුසු වූ ගිතෙල් ආදී බෙහෙත් නොමැති බැවින් ද කර්කශ භූමිභාගයක සිටින බැවින් ද රූක්ෂ වූ රළු ස්ථානයක. “කථං භික්ඛු කරිස්සසී”, “මහණ, නුඹ කෙසේ වෙසෙන්නේ ද?”යි භාග්‍යවතුන් වහන්සේ විමසූ සේක.
මෙය ඇසූ තෙරණුවෝ නිරාමිස ප්‍රීති සොම්නසින් යුක්ත වූවාහු, තමා විඳින සැප විහරණය ප්‍රකාශ කරනු සඳහා “පීතිසුඛෙන” යන ගාථා සතර වදාළහ. පීති සුඛෙන උද්වේග ලක්ෂණයෙන් ද පැතිරයන ලක්ෂණයෙන් ද යුතු ප්‍රීතිමය සුවයෙන් යුක්ත වූ. “විපුලෙන” මහත් වූ. “ඵරමානො සමුස්සයං” ඉහත කියූ පරිදිම ප්‍රීතිසුවයෙන් යුක්තව, ප්‍රණීත වූ රූපයෙන් මුළු කයම පතුරුවමින්, නිරන්තරව ඒ සුවය ස්පර්ශ කරමින්, “ථෑඛම්හි අභිසම්හොන්තො” අරණ්‍යයෙහි විසීමෙන් හටගත් සැහැල්ලු පැවැත්ම නිසා ඉවසිය නොහැකි, ප්‍රත්‍යයන්ගේ රූක්ෂ බව අභිභවනය කරමින්, ඉවසමින්. “විහරිස්සාමි කානනෙ” ධ්‍යාන සුවයෙන් ද විදසුන් සුවයෙන් ද අරණ්‍යයෙහි වෙසෙන්නෙමි යන අර්ථයයි. එනිසා “කායික සුවය ද වින්දනය කළෙමි” යි කියන ලදි.