ගයාකාශ්‍යප ස්ථවිරගාථා වර්ණනාව
“පාතො මජ්ඣන්තිකං” යනාදී ගාථා ආයුෂ්මත් ගයා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි කුලගෙයක උපන්හ. නුවණැති බවට පත් එකුමරු කාම සම්පත් කෙරෙහි නො ඇලුණු බැවින් ගිහිගේ හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී ආරණ්‍යයක ආශ්‍රමයක් කරවාගෙන වනමුල් ඵලවැලින් යැපෙමින් ජීවත් විය. එසමයේ දිනක් භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවම ඒ අසපුව සමීපයෙන් වැඩම කළහ. තාපස තෙම බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතින් සමීපයට පැමිණ, උන්වහන්සේට වැඳ එකත්පසෙක සිටියේය. කල්වේලා බලා මනහර වූ ඩෙබර ගෙඩි උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී බමුණු පවුලක ඉපිද වැඩිවියට පත් විය. කාමයෙන් වෙන්වීමේ සිත නිසා ගිහිගේ හැර දැමූ ඔහු තවුස් පැවිද්දෙන් පැවිදිව දෙසීයක් තවුසන් පිරිවරාගෙන ගයාවේ වාසය කළේය. ගයාවේ විසූ බැවින් ද කාශ්‍යප ගෝත්‍රයේ උපන් බැවින් ද ඒ තාපස තුමා “ගයාකාශ්‍යප” නාමයෙන් හැඳින්විණි. පිරිස සමඟම අප භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණි හෙතෙම, ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව ලබා, අනතුරුව ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව අසා රහත් විය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“එකල්හි අඳුන් දිවිසම් ඇඳි මම දිරාගිය සිවුරු දරමින් තවුස් පිරිකර කද ද ඩෙබර ගෙඩි ද ගෙන තම අසපුවට පැමිණියෙමි.
එසමයේ ශ්‍රේෂ්ඨ පුද්ගල වූ අසහාය නායක වූ සිඛි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. හැම කල්හි සිදු වන දේ දක්නා වූ උන්වහන්සේ මාගේ අසපුවට වැඩම කළහ.
සිත පහදවා ගත් මම උන්වහන්සේට වැඳ දෝතින්ම ඩෙබර ගෙඩි රැගෙන පූජා කළෙමි.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියකට නොගියෙමි. ඩෙබර ගෙඩි දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ තම පිළිවෙත් මඟ සිහිපත් කර බලා පාපී දිවි පෙවෙත දුර ලූ බව ප්‍රකට කර දක්වමින් සිය රහත් බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා පහ වදාළහ.
“පාතො මජ්ඣන්තිකං සායං තික්ඛත්තුං දිවසස්සහං,
ඔතරිං උදකං සොතං ගයාය ගය එග්ගුයා”
“යං මයා පකතං පාපං පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු,
තං දානීධ පවාහෙමි එවං දිට්ඨි පුරෙ අහුං”
“සුත්‍වා සුභාසිතං වාචං ධම්මත්‍ථ සහිතං පදං,
තථං යථාවකං අත්‍ථං යොනිසො පච්චවෙක්ඛිසං”
“නිණ්හාත සබ්බ පාපොම්හී නිම්මලො පයතො සුචී,
සුද්ධො සුද්ධස්ස දායාදො පුත්තො බුද්ධස්ස ඔරසො”
“ඔගය්හට්ඨංගිකං සොතං සබ්බං පාපං පවාහයිං,
තිස්සො විජ්ජා අජ්ඣගමිං, කතං බුද්ධස්ස සාසනං” තී.
මෙහි පළමු ගාථාවේ “සංක්‍ෂිප්ත අර්ථය මෙසේය - “උදෑසන සූර්යයා උදාවන වේලාවෙහි ද මධ්‍යාහ්න වේලාවෙහි ද සවස සන්ධ්‍යාකාලයෙහි ද යනුවෙන් දිනකට තුන්වරක් බැගින් මම දියෙහි බැස්සෙමි. කිමිදුනෙමි. එසේ කිමිදෙන ම මම එකම තැනක සැමදා නොකිමිදෙමි. ඉක්බිති මම ගයාවේ “මහජනයාගේ පව් සෝදා හරින්නේයැ”යි සම්මත වූ ගයා තීර්ථයෙහි “ගයාඑග්ගු” නම් වූ මැදින් මස උතුරුපල් නැකතෙහි වාර්ෂිකව පැවති ජලයට බැසීම සම්බන්ධ වූ “උදකෝරෝහන” උත්සවයෙහි නියුක්ත වූයෙමි.
යම් අදහසකින් ඒ දියට බැසීම සිදු කළේ ද ඒ අදහස දක්වනු සඳහා දෙවන “යං මයා” යන ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේය. - පෙර, මේ ආත්මභාවයට මුලින් වූ අන්‍ය ආත්මභාවයන්හිදී මවිසින් සිදුකළ පාප කර්ම, රැස්කළ පව්කම්; දැන් ගයා තීර්ත්‍ථයෙහි දී මේ ගයාඑල්ගු නම් දියට බසින උත්සවයේදී සෝදා හරිමි. දුරු කරමි. පහ කරමි. “පුරෙ” යනු ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව ඇසීමට පෙර දී. මෙබඳු වැරදි අදහස් - විපරීත දැක්මක් මා හට විය.
“ධම්මත්‍ථසහිතං පදං” යනුවෙන් විභක්ති ලොප් නොකර දැක් වූ ධර්ම අර්ථ සහිත වූ ත්‍රිපිටක සද්ධර්මය, මුල මැද අග යන තුන් ස්ථානයම ධර්ම අර්ථ දෙකින් යුක්ත වූ. මනාව දෙසූ. ඒකාන්තයෙන්ම නිවණ අරමුණු කොට දෙසූ බැවින් සුභාෂිත වූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදන් අසා, උන්වහන්සේ වදාළ පරමාර්ථ සහිත යථාර්ථ වූ සත්‍ය වූ, සුදු සේ පැවැත්ම - නැවැත්ම - පිළිවෙල ඇති වැරදි ස්වභාව හා හැසිරීම් නැත්තා වූ තත්ත්‍වාකාරයෙන් දුකෙහි ස්වභාවය චතුරාර්ය සත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් පිරිසිඳ දැනීම් වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කළෙමි. “දුක පිරිසිඳ දන්නේය. සමුදය නම් තණ්හාව ක්‍ෂය කළ යුතුයි. නිරොධය - නිවණ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි.” මෙසේ නිතර සිහි කළෙමි. නුවණැසින් දුටුවෙමි. අවබෝධ කළෙමි.
“නිණ්හාත සබ්බපාපොම්හි” සෝදා හළ සියලු පව් ඇත්තෙමි යි මෙසේ අවබෝධ කරගත් සත්‍ය ඇති බැවින් ම ආර්ය මාර්ගය නම් ජලයෙන් සෝදාහළ සියලු පවු ඇත්තෙමි. එසේම රාගාදී කිලිටි නැති බැවින් “නිම්මලො” නිර්මල වූ. නිර්මල වූ බැවින් ම ඉතා පිරිසිදු කායික හැසිරීම් ඇති බැවින් “පයතො” පිරිසිදු වූ. “සුචි” පිරිසිදු වාග් හැසිරීමෙන් ද මනෝ හැසිරීමෙන් ද යුතු මම මෙසේ තිදොරින් ම පාරිශුද්ධ වූයෙමි. පූර්ව පුරුදු සහිත සියලු කෙලෙස් මළ දුරලා ඉතා පිරිසිදු භාවයට පත් වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ලෝකෝත්තර ධර්මය පිළිගෙන ඒ අනුව හැසිරීමෙන්, උන්වහන්සේගේ ධර්මයට දායාද වූයෙමි. ඒ දෙසූ දහම ඤාණයෙහි පිහිටුවා, හදවතින් දරා ක්‍රියාත්මක කිරීමෙන් බුදුරදුන්ගේ ඖරස පුත්‍රයෙක් වූයෙමි.