නදීකාශ්යප ස්ථවිරගාථා වර්ණනාව
“අත්ථාය වත මෙ” යනු ආයුෂ්මත් නදී කාශ්යප තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් අවුත්, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක, පහන් සිතින් තමාම සිටවූ අඹ ගසක පළමුව හටගත් රත්සිරියල් පැහැ ඇති එක් අඹ ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට බමුණු පවුලක උරුවේල කාශ්යපගේ සොහොයුරා වී උපන්නේය. වැඩිවියට පැමිණි ඔහු ගිහිගෙයින් නික්මීමේ අදහස් ඇතිව ගිහිගේ හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව තුන්සීයක් ශිෂ්ය තවුසන් පිරිවරාගෙන නේරංජා නදී තෙර අසපුවක් සාදාගෙන විසීය. නදී තෙර විසූ බැවින් ද කාශ්යප ගෝත්රයේ උපන් බැවින් ද ඔහු නදී කාශ්යප නමින් ප්රකට විය. අප භාග්යවතුන් වහන්සේ පිරිවර සහිත වූ ඔහුට ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබාදුන් සේක. ඒ සියලු තොරතුරු මහා ඛන්ධකයෙහි දැක්වුණු පරිදි දත යුතුයි. ආදිත්ත පරියාය සූත්ර දේශනාව ඇසූ නදී කාශ්යප තෙරණුවෝ රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දුටු මම, ඒ ලොවට අසහාය නායක වූ තාදී ගුණ ඇත්තා වූ උතුම් යසස් දරන්නා වූ ශාස්තෲන් වහන්සේට අග්රඵලයක් පූජා කළෙමි.
ඒ පින්කමේ බලයෙන් ශක්ර දේවේන්ද්රව, ලොවට නායකව, මිනිසුන්ට ප්රධානව සැප විඳි මම දැන් ජය පරාජ දෙකම දුරලා අචල වූ නිර්වාණය අවබෝධ කළෙමි.
මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. අග්රඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවෙහි පිහිටි නදී කාශ්යප තෙරණුවෝ, පසුකලෙක තම පිළිවෙත් මඟ සිහිකර බලා මිසදිටු බව මුලිනුපුටා දැමූ බව ප්රකාශ කිරීම් වශයෙන් සිය රහත් ඵලාවබෝධය ප්රකට කරමින් මේ ගාථා පහ වදාළහ.
“අත්ථාය වත මෙ බුද්ධො නදිං නේරංජරං අගා,
යස්සාහං ධම්මං සුත්වාන මිච්ඡාදිට්ඨි විවජ්ජයිං”
යස්සාහං ධම්මං සුත්වාන මිච්ඡාදිට්ඨි විවජ්ජයිං”
“යජිං උච්චාවචෙ යඤ්ඤෙ අග්ගිහුත්තං ජුහිං අහං,
එසා සුද්ධීති මඤ්ඤන්තො අන්ධභූතො පුථුජ්ජනො”
එසා සුද්ධීති මඤ්ඤන්තො අන්ධභූතො පුථුජ්ජනො”
“දිට්ඨිගහන පක්ඛන්තො පරාමසෙන මොහිතො,
අසුද්ධිං මඤ්ඤිසං සුද්ධිං අන්ධභූතො අවිද්දසු”
අසුද්ධිං මඤ්ඤිසං සුද්ධිං අන්ධභූතො අවිද්දසු”
“මිච්ඡා දිට්ඨි පහීණා මෙ භවා සබ්බෙ විදාළිතා,
ජුහාමි දක්ඛිණෙය්යග්ගිං, නමස්සාමි තථාගතං”
ජුහාමි දක්ඛිණෙය්යග්ගිං, නමස්සාමි තථාගතං”
“මොහා සබ්බෙ පහීණා මෙ, භවතණ්හා පදාළිතා,
වික්ඛිණො ජාතිසංසාරො, නත්ථිදානි පුනබ්භවො” තී.
වික්ඛිණො ජාතිසංසාරො, නත්ථිදානි පුනබ්භවො” තී.
එහි “අත්ථාය වත මෙ” ඒකාන්තයෙන්ම මාගේ හිත වැඩ සඳහා. “බුද්ධො” සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ. “නදිං නෙරංජරං අගා” නේරංජරා නම් වූ නදියට වැඩම කළහ. ඒ නදී තීරයේ මගේ සෝයුරු උරුවෙල් කාශ්යපගේ අසපුවට වැඩම වූහ යන අදහසයි.
දැන් ඉහතින් කියූ අර්ථය - යහපත කුමක්දැයි විවරණය කර දක්වනු සඳහා “යස්සාහං” යනාදිය වදාළහ. “යස්ස” යනු යම් ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ “ධම්මං සුත්වා” චතුරාර්ය සත්ය ප්රතිසංයුක්ත ධර්ම දේශනාවක් අසා, ශ්රෝතද්වාර යට (කණට) අරමුණු වී. “මිච්ඡාදිට්ඨිං විවජ්ජයී”, “යාගාදී නිරර්ථක දෙයින් සංසාර ශුද්ධිය ලැබේය”යි ආදී වශයෙන් පැවති විපරීත දැක්ම - අමනෝඥ අදහස් දුරු කළෙමි.
“මිච්ඡාදිට්ඨිං විවජ්ජයි” කියන ලද අර්ථයම - කරුණම විස්තර කොට දක්වනු සඳහා. “යජිං” යන දෙවන ගාථාව වදාළහ. එහි “යජිං උච්චාවචෙ යඤ්ඤෙ” සෝමයාග, වාජපෙය්ය දී නානාවිධ යාගයන් සිදුකළෙමි. “අග්ගිහුත්තං ජුහිං” ඒ යාගයන් පැවැත්වීමට, යැදීමට හෝම ද්රව්යගෙන ගිනි පිදුවෙමි. ‘අග්ගිහුත්තං ජුහිං” ඒ යාගයන් පැවැත්වීමට, යැදීමට හෝම ද්රව්යගෙන ගිනි පිදුවෙමි. “එසා සුද්ධීති මඤ්ඤන්තො” මේ යාග ක්රියාවෙන්, ගිනි පිදීමෙන් පිරිසිදුභාවයට කාරණ වූ සංසාරික පාපයන්ගෙන් පිරිසිදුවීම ලැබේයැයි සිතුවෙමි. “අන්ධභූතො පුථුජ්ජනො” ප්රඥා ඇස විකල් වූ හෙයින් අවිද්යා අන්ධකාරයෙන් වෙලී අන්ධ වූ පුහුදුන් පුද්ගලයෙක්ව; වන පර්වත ගිරි දුර්ග ගහන වූ මාවතකට පිවිසි අන්ධයෙකු මෙන් මිසදිටුගත් බැවින් හසර නොදැන වල්මත්ව පැකිලෙමින්, වැටෙමින් සිටියෙමි. “පරමාසෙන” ධර්ම ස්වභාවය ඉක්මවා “මෙයම සත්ය වේ” යැයි දැඩිව ගැනීමෙන් පරාමර්ශනය නම්, මිසදිටු අදහස් දැඩිව ගැනීමෙන් මුලාවූයෙමි. මෝඩකම නිසා පාපී වූ අශුද්ධි මාර්ගය ශුද්ධ-පිරිසිදු මාවත යැයි සිතා සිටියෙමි. ඊට හේතු මෙසේ දක්වයි. “අන්ධභූතො අවිද්දසු” අවිද්යාව නිසා අන්ධවූයේ ධර්ම අධර්මද සුදුසු නුසුදුසු දේ ද නොදත් හෙයින්, එසේ මෝඩ සිතුවිලි ඇතිව සිටියෙමි.
“මිච්ඡාදිට්ඨි පහීණා මෙ” මෙසේ විසූ මම ශාස්තෲන් වහන්සේ ගේ ඉදිරියේදී චතුරාර්ය සත්යය ගැබ් වූ දහම් දෙසුමක් අසා නුවණින් මෙනෙහි කර ඒ ආර්ය්ය මාර්ගයෙහි යහපත් දැක්මකින් යුතුව ගමන් කිරීමෙන්, ඒ අනුව පිළිපැදීමෙන් එතෙක් මාගේ සන්තානයේ පැවති සියලුම මිසදිටු අදහස් මුලිනුපුටා දැමුවෙමි. සම්පූර්ණයෙන් ම ප්රහීණ කළෙමි. “භවා” කාමාදී සියලු භවයෝ ආර්ය මාර්ගය නැමති සැනින් විධ්වංසනය කළෙමි. දැදුරු කළෙමි. “ජුහාමි දක්ඛිණෙය්යග්ගිං” යාග කිරීම්, ගිනි පිදීම් අත්හැර දෙවියන් සහිත ලෝකයේ අග්ර දක්ෂිණාවට සුදුසු වූ බැවින් සියලු පවු දවන-ක්ෂය කරන බැවින් දක්ෂිණෙය්යග්ගි වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදමි. පරිචරණය කරමි. ඒ මාගේ දක්ෂිණෙය්යග්ගි පරිචරණය පටන් ගැනීමෙන් කන බොන ගිතෙල් ආදී දෙය අපේක්ෂා නොකරමි. එය හුදෙක් ශාස්තෲන් වහන්සේට වන්දනා කිරීම පමණකි. “නමස්සාමි තථාගතං”. නැතහොත් “ජුහාමි දක්ඛිණෙය්යග්ගිං” යනු දායකයන්ගේ ආමිෂ දානාදිය මහත්ඵල ඇත්තක් කරන බැවින් ද පව් දහනය කරන බැවින් ද දක්ෂිණාමය ගින්නක් (දක්ෂිණෙය්යග්ගියක්) වූ මම යාග කරමි. පූජා කරමි. එසේ කොට හැසිරෙමි. එසේ කොට තමා රැකගනිමි. පවත්වා ගනිමි. පෙර මම ගිනිදෙවියාට නමස්කාර කළෙමි. දැන් තථාගතයන් වහන්සේට නමස්කාර කරමි.