වඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව
“සාධුහී” යනු ආයුෂ්මත් වඩ්ඪ තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාදයේදී භාරුකච්ඡ නුවර ගහපති පවුලක ඉපිද වඩ්ඪ නමින් ප්රකට වූහ. වඩ්ඪ කුඩා කාලයේදීම සසර පිළිබඳව කළකිරුණු ඔහුගේ මව, තම පුත්ර ඤාතීන්ට පවරා භික්ෂුණී ශාසනයේ පැවිදි වූවාය. විදසුන් කමටහන් වැඩූ ඕ තොමෝ දිනකින්ම රහත් වූවාය. පසු කලෙකදී සිය පුතු ද නුවණැති බවට පත්ව සිටිනු දුටු ඇය, වේළුදත්ත තෙරුන් සමීපයේ තම පුතු පැවිදි කරවූවාය. පැවිදි වූ වඩ්ඪ තෙරුන් වහන්සේ තෙවළා බුදුදහම් ඉගෙන බහුශ්රැත ධර්මකථිකයෙක්ව ග්රන්ථ ධුරය පුරමින් සිටියහ. දිනක් හුදකලාවම ඉතා වේගවත්ව “සිය මව දකිමි”යි භික්ෂුණී අසපුවට වැඩි වඩ්ඪ තෙරුන් දුටු මවු මෙහෙණිය; “නුඹ කුමක් හෙයින් තනිවම ඉතා වහා මෙහි පැමිණියෙහි ද?”යි චෝදනා කළාය. සිය මව විසින් චෝදිත උන්වහන්සේ “මම නුසුදුසු දෙයක් කළෙමි”යි සංවේගයට පැමිණි සේක්, තමා වසන වෙහෙරට ගොස් දවල් වසන තැන හිඳ, විදසුන් වඩා රහත්වූහ. මවගේ අවවාද සම්පත්තිය ප්රකාශ කිරීම් වශයෙන් උන්වහන්සේ සිය රහත් බව පළකරමින් මේ ගාථා පහ වදාළහ.
“සාධූහි කිර මෙ මාතා පතොදං උපදංසයී,
යස්සාහං වචනං සුත්වා අනුසිට්ඨො ජනෙත්තියා
ආරද්ධ විරියො පහිතත්තො පත්තො සම්බොධි මුත්තමං”
යස්සාහං වචනං සුත්වා අනුසිට්ඨො ජනෙත්තියා
ආරද්ධ විරියො පහිතත්තො පත්තො සම්බොධි මුත්තමං”
“අරහා දක්ඛිණෙය්යොම්හි තෙවිජ්ජො අමතද්දසො,
ජෙත්වා නමුචිනො සෙනං විහරාමි අනාසවො”
ජෙත්වා නමුචිනො සෙනං විහරාමි අනාසවො”
“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා,
සබ්බෙ අසෙසා උච්ඡින්නා නච උප්පජ්ජරෙ පුන”
සබ්බෙ අසෙසා උච්ඡින්නා නච උප්පජ්ජරෙ පුන”
“විසාරදා ඛො භගිනි එතමත්ථං අභාසයී,
අපිහා නූන මයිපි වනථො තෙන විජ්ජති”
අපිහා නූන මයිපි වනථො තෙන විජ්ජති”
“පරියන්තකතං දුක්ඛං අන්තිමොයං සමුස්සයො,
ජාතිමරණ සංසාරො නත්ථිදානි පුනබ්භවො” තී.
ජාතිමරණ සංසාරො නත්ථිදානි පුනබ්භවො” තී.
මෙහි “සාධු හි කිර මෙ මාතා පතොදං උපදංසයී” ඒකාන්තයෙන් මගේ මව මනාව අවවාද නම් වූ කෙවිට දැක්වූවාය. ඉන් උත්සාහවත් වූ මම වීර්ය වඩා සිරසින් ප්රඥා නම් හිස විද්දෙමි. ප්රඥාව අවබෝධ කළෙමි. “යස්සා” ඒ මාගේ මව විසින් “සම්බොධිං” රහත් බව. මෙහි අර්ථය මෙසේ දත යුතුයි. “අවවාද කරන මවගේ, ඒ අවවාද අනුශාසනා ඇසූ මම ඇරඹූ වීර්ය ඇතිව, උත්සාහයෙන් වාසය කළෙමි. අග්රඵලය වූ අර්හත් වූ නිර්වාණාවබෝධය ලැබුවෙමි.
එසේම කෙලෙස් දුරලූ බැවින් මම “අරහා” අර්හත් වෙමි. පින්කෙතක් වූ බැවින් “දක්ඛිණෙය්යො” දක්ෂිණාවට සුදුසු වෙමි. පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ආදී කොට ඇති ත්රිවිද්යා අවබෝධකරගත් බැවින් “තෙවිජ්ජො” ත්රිවිද්යා ඇත්තෙමි. නිවණ සාක්ෂාත් කරගත් බැවින් “අමතද්දසො” නිවන් දුටුවෙමි. කෙලෙස් මර සෙනඟ, කෙලෙස් නම් සතුරන් බෝධිපාක්ෂික ධර්ම නම් සේනාව ලවා නැසුවෙමි. එසේ දිනූ බැවින් ම ආශ්රව රහිතව සුවසේ වෙසෙමි.”
දැන් “අනාසවො” ආශ්රව රහිතව වෙසෙමියි කියූ කරුණ අතිශයින් ප්රකට කිරීමට “අජ්ඣත්තං” යන ගාථාව වදාළහ. එහි අර්ථය මෙසේය. “ආධ්යාත්මික වූ ද ආධ්යාත්මික වස්තූන්හි පිහිටියාවූ ද බාහිර වූ ද බාහිර වස්තූන්හි පිහිටියාවූ ද ඒ ආශ්රව සමූහය ම විසින් ආර්ය මාර්ගාවබෝධයට පෙර දීම විධ්වංසනය කළෙමි. දුරු කළෙමි. ඒ සියලුම ආශ්රව ඉතිරි නොවන සේ ආර්ය මාර්ගයෙන් ම මුලිනුපුටා දැමුවෙමි. ප්රහීණ කළෙමි. නැවත කිසිදු ආශ්රවයක් නූපදින්නේය. ඇති නොවන්නේමය.
දැන් මවගේ වදන් හෙණ්ඩුවක් මෙන් ගෙන තමා රහත් වූ බැවින් ඒ මවුට ස්තූති කරන තෙරණුවෝ “විසාරදා” යන ගාථාව වදාළහ. එහි “විසාරදා” ඒකාන්තයෙන්ම පැතිර ගිය නුවණැති, විශාරද වූ. මෙසේ තමා ද මවු ද රහත් වූ හෙයින් තමා දැන් ශාස්තෲන් වහන්සේගේ ඖරස පුත්ර වූ බව හඟවනු සඳහා මවට “නැගණිය” යනුවෙන් අමතයි. “එතමත්ථං අභාසයී” මේ මට අවවාද වශයෙන් මේ අර්ථය නුඹ කීවෙහි. මෙසේ මට අවවාද දුන් නුඹ හුදෙක් විශාරද වූ තැනැත්තියක් පමණක් නොවන්නෙහි. ඔබතුමිය මාගේ මවුද වන්නීය. මේ අදහසින් කවර ප්රයෝජනයක් ද? නුඹ කෙරෙහි කෙලෙස් වනය නැත. අවිද්යාදී කෙලෙස් ධර්ම නුඹගේ සන්තානයෙහි නොමැත්තේමය. යම් සිතකින් මා භවක්ෂය කිරීමෙහි යොදවන ලද ද ඒ සිත කෙලෙසුන්ගෙන් මිදුණකි යන අදහසයි.