සුමන ස්ථවිරගාථා වර්ණනාව
“යං පත්‍ථයානො” යනු ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණියහ. මීට කල්ප අනූ පහකට පෙර ලොව බුදුවරුන්ගෙන් ශූන්‍ය වූ කාලයක සිටුගෙයක උපන් හෙතෙම නුවණැති බවට පත්විය. දිනක් එක් පසේ බුදුවරයක් ආබාධිත වී සිටිනු දැක අරළු ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් කාම සුගතීන්හි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට - බමුණු පවුලක ඉපිද සුමන නමින් ප්‍රකටව සැපසේ වැඩුණේය. ඔහුගේ මාමා පැවිදිව රහත් බවට පත්වී අරණ්‍යයේ වාසය කරනුයේ, නිසි වයසට එළඹි සුමන පැවිදි කරවා චරිතයට ගැලපෙන කමටහන් දුන්නේය. සුමන හිමියෝ ඒ කමටහන් වඩා සතර ධ්‍යානයන් ද පඤ්ච අභිඥාවන් ද උපදවා ගත්හ. අනතුරුව මාමා වූ තෙරණුවෝ උන්වහන්සේට විදසුන් කමටහන් දේශනා කළහ. ඒ විදසුන් භාවනාවෙහි නිරත වූ සුමන හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුළු, බෙලි යන පළතුරු මම ම රැස් කළෙමි.
කඳු බෑවුමක වැඩහුන් ධ්‍යාන වඩන ධ්‍යානයෙහි ඇලුණු අසමසම වූ බුදුපියාණන් වහන්සේ ආබාධයකින් පෙළෙනු දුටු මම, අරළු ගෙන පූජාකළෙමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුණි.
කයෙහි විඩාව සන්සිඳුණු පසු බුදුපියාණෝ මාහට පුණ්‍යානුමෝදනා සිදුකළහ. “මෙම බෙහෙත් දානය හා රෝගය සන්සිඳවීම නිසා ලැබූ පින හේතුවෙන් නුඹ දෙවිව හෝ මිනිස්ව හෝ අන් අත්භවෙක හෝ උපන්නේ සියලු තැන්හි සැප ඇත්තෙක් වේවා. කිසිකලෙක නුඹට ව්‍යාධියක් නොපැමිණේවා.”
“සියල්ල තමාම අවබෝධ කරගත් පස්මරුන් දිනූ බුදු පියාණෝ මේ වදන් පවසා අහසේ යන හංස රාජයකු මෙන් අහසට නැඟ වැඩි සේක.
යම් අත්භවෙකදී සියල්ල තනිව අවබෝධ කළ බුදුරදුන්ට අරළු දානයක් දුනිම් ද එදා සිට මේ දක්වාම මාහට ව්‍යාධියක් - ලෙඩක් දුකක් නොවිණි.
[missing trans]
මීට කල්ප අනූ පහකට පෙර දී යම් ඖෂධ දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ සුමන තෙරණුවෝ දිනක් මාමා වූ තෙරුන්ට උපස්ථාන කිරීමට උන්වහන්සේ වෙත ගියහ. එහිදී මාමා වූ තෙරණුවෝ “නුඹගේ අධිගමයන් කවරේද?”යි විමසූහ. එවිට මේ ගාථා පහෙන් සිංහනාද පවත්වන සුමන හිමියෝ සිය රහත්බව ප්‍රකාශ කළහ.
“යං පත්‍ථයානො ධම්මෙසු උපජ්ඣායො අනුග්ගහී,
අමතං අභිකඞ්ඛන්තං කතං කත්තබ්බකං මයා”
“අනුපත්තො සච්ඡිකතො සයං ධම්මො අනීතිහො,
විසුද්ධ ඤාණො නික්ඛඞ්ඛො බ්‍යාකරොමි තවන්තිකෙ”
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං,
සදත්‍ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං”
“අප්පමත්තස්ස මෙ සික්ඛා සුස්සූතා තව සාසනෙ,
සබ්බෙ මෙ ආසවා ඛීණා, නත්‍ථිදානි පුනබ්භවො”
“අනුසාසිං මං අරියවතා අනුකම්පී අනුග්ගහී,
අමොඝො තුය්හ මොවාදො අන්තෙවාසිම්හි සික්ඛිතො” තී.
මෙහි “යං පත්‍ථයානො ධම්මෙසු උපජ්ඣායො අනුග්ගහී අමතං අභිකඞ්ඛන්තං” යනු සමථ විදර්ශනා ආදී නිරවද්‍ය වූ ධර්මයන්හි, යම් දහම් අවබෝධයක් පතන, කැමති වූ මා හට, අමාමහ නිවණ කැමැත්තා වූ මාහට අවවාද දීම් වශයෙන් උපාධ්‍යාය වූ ඔබවහන්සේ අනුග්‍රහ කළෙහිය. “කතං කත්තබ්බකං මයා” ඒ නිවණ අවබෝධ කරගැනීම සඳහා කළයුතු පිරිසිඳ දැනීම් ආදී දහසය වැදෑරුම් කටයුතු මවිසින් කොට නිමවූයෙමි.
එසේම සතරක් වූ මාර්ග ධර්මයන් මවිසින් අවබෝධ කළෙමි. ඊට පැමිණියෙමි. “සච්ඡිකතො සයං ධම්මො අනීතිහො” තමා විසින්ම නිර්වාණ ධර්මය ද ඵල දහම ද අනුන්ගේ උපදෙසක් නොමැතිවම ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දෙමි. අවබෝධ කළෙමි. “මෙසේය” “මෙසේ වීලු” යනාදී වශයෙන් අනුන්ගෙන් අසන ලද “ඉතීහ” නම් වූ සැක සංකාවෝ ආර්ය මාර්ගයෙන් සහමුලින්ම නසා දැමුවෙමි. එනිසා කියන ලදි. “විසුද්ධ වූ පිරිසිදු වූ ඥාන ඇතියෙම් නිසැකව ම’ යන අර්ථ ඇති “විසුද්ධඤාණො නික්ඛඞ්ඛො” එහි සියලුම කිලිටිබව ඇතිකරන දහම් වලින් පිරිසිදුවීම විසුද්ධ ඤාණ නම් වේ. “විසුද්ධඤාණො” “තවන්තිකෙ” යනු නුඹ වහන්සේගේ සමීපයේදී.
“සදත්‍ථො” යනු රහත් භාවයයි. “සික්ඛා” යන්නෙන් අධි සීල ශික්‍ෂාදී ශික්‍ෂා අදහස් කරන ලදි. “සුස්සුතා” පර්යාප්ති බහුශ්‍රැතභාවය හා ප්‍රතිවේධ බහුශ්‍රැතභාවය යන බොහෝ ඇසූ පිරූ තැන් සම්පූර්ණ වීම් වශයෙන් මනාව අසන ලද්දෙමි. “තව සාසනෙ” නුඹවහන්සේගේ අවවාදයෙහි මනාව පිහිටියා වූ මා විසින්.
“අරියවතා” ඉතා පිරිසිදු ශීලාදී ව්‍රත සමාදන් වූයෙම්. “අන්තෙවාසිම්හි සික්ඛිතො” නුඹ වහන්සේ සමීපයෙහි බොහෝ කාලයක් වැස නිමවූ බඹසර ඇති ව අතවැසිව අධිසීලාදී ශික්‍ෂාවන්හි හික්මුනෙමි.
සුමන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව
“සාධුහී” යනු ආයුෂ්මත් වඩ්ඪ තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාදයේදී භාරුකච්ඡ නුවර ගහපති පවුලක ඉපිද වඩ්ඪ නමින් ප්‍රකට වූහ. වඩ්ඪ කුඩා කාලයේදීම සසර පිළිබඳව කළකිරුණු ඔහුගේ මව, තම පුත්‍ර ඤාතීන්ට පවරා භික්‍ෂුණී ශාසනයේ පැවිදි වූවාය. විදසුන් කමටහන් වැඩූ ඕ තොමෝ දිනකින්ම රහත් වූවාය. පසු කලෙකදී සිය පුතු ද නුවණැති බවට පත්ව සිටිනු දුටු ඇය, වේළුදත්ත තෙරුන් සමීපයේ තම පුතු පැවිදි කරවූවාය. පැවිදි වූ වඩ්ඪ තෙරුන් වහන්සේ තෙවළා බුදුදහම් ඉගෙන බහුශ්‍රැත ධර්මකථිකයෙක්ව ග්‍රන්‍ථ ධුරය පුරමින් සිටියහ. දිනක් හුදකලාවම ඉතා වේගවත්ව “සිය මව දකිමි”යි භික්‍ෂුණී අසපුවට වැඩි වඩ්ඪ තෙරුන් දුටු මවු මෙහෙණිය; “නුඹ කුමක් හෙයින් තනිවම ඉතා වහා මෙහි පැමිණියෙහි ද?”යි චෝදනා කළාය. සිය මව විසින් චෝදිත උන්වහන්සේ “මම නුසුදුසු දෙයක් කළෙමි”යි සංවේගයට පැමිණි සේක්, තමා වසන වෙහෙරට ගොස් දවල් වසන තැන හිඳ, විදසුන් වඩා රහත්වූහ. මවගේ අවවාද සම්පත්තිය ප්‍රකාශ කිරීම් වශයෙන් උන්වහන්සේ සිය රහත් බව පළකරමින් මේ ගාථා පහ වදාළහ.