ගිරිමානන්ද ස්ථවිරගාථා වර්ණනාව
“වස්සති දෙවො” ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස්කරමින් අවුත් සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණ ගිහිගේ විසූහ. තම බිරිය සමඟ පුතු නැති වූ අවස්ථාවෙහි දැඩි ශෝකයට පත් වූ ඔහු අරණ්‍යයට පිවිස, ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, දහම් ඇසීය. ඉන් ශෝක ගින්න නිවාගත් ඔහු පැහැදුණු සිත් ඇතිව සුවඳ මලින් බුදුන්ට පූජා කළේය. පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ හිසෙහි ඇඳිලි බැඳගෙන බුදුගුණ පැවසීය.
ඒ පින්කමෙහි විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී බිම්බිසාර රජුගේ පුරෝහිතයාගේ පුතුව උපන්නේය. “ගිරිමානන්ද” නම් වූ ඔහු නුවණැති බවට පත්වූ අවස්ථාවෙහි රජගහ නුවරට වැඩම වූ බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැක උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. කිහිප දිනක් ගම් සෙනසුනක විසූ ගිරිමානන්ද තෙරණුවෝ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා රජගහ නුවරට වැඩියහ. උන්වහන්සේගේ පැමිණීම ඇසූ බිම්සර රජු, උන්වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, මෙහිම වසන්න. මම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි”යි ආරාධනා කොට ගියේය. රාජකටයුතු බොහෝ බැවින් රජුට මෙය අමතක විය. තෙරණුවෝ එළිමහනෙහිම විසූහ. දෙවියෝ තෙරුන් “තෙමේය” යන බිය නිසා වැසි නොවැස්සූහ. නොවසින කරුණ විමසූ රජු, තම දෝෂය දැක ගිරිමානන්ද තෙරුන්ට කුටියක් කරවා දුන්නේය. එම කුටියෙහි විසූ තෙරුන් වහන්සේ සුදුසු සෙනසුනක් ලද බැවින් සමාධිගත වූ සිත් ඇතිව වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව - විදසුනට සිත යොමු කළ සේක් රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“මගේ බිරිය ද පුතු ද මළේය. මව ද පියා ද සෝයුරා ද එකම චිතකයක දැවෙන්නෝය.
එම ශෝකයෙන් පීඩා වූ මම තැවුනෙමි. කෘශ වූයෙමි. සිත් විකෘති වූයෙම් තැන තැන ඇවිද්දෙමි.
ශෝක හුලින් පීඩා වූ මම වනගත වීමි. ඉබේ වැටුණු ගෙඩි මුල් කමින් රුක්මුල්හිම විසුවෙමු.
පස්මරුන් දිනූ දුක් කෙළවර කර ගත්තා වූ සුමේධ නම් බුදුපියාණෝ මා සසරින් ගොඩගනු කැමතිව මාගේ සමීපයට වැඩම කළහ.
උන්වහන්සේගේ පා හඬ ඇසූ මම හිස ඔසවා බැලුවෙමි. මහාවීරයන් වහන්සේ මා වෙත වැඩම කළහ.
ප්‍රීතියට පත් මම උන්වහන්සේ දැකීමෙන් එකඟ වූ සිත් ඇත්තෙම් වූයෙමි. සිහිය ලැබූ මම උන්වහන්සේට කොළ මිටක් පිදුවෙමි. ඒ කොළ ඇතිරූ අසුනෙහි මා හට අනුකම්පා කළ බුදුහු වැඩහුන් සේක. මාගේ ශෝකය නසනු සඳහා උන්වහන්සේ දහම් දෙසූහ.
“මරණයට පත්වූ අඹුදරු ආදීහු කැඳවීමක් නොමැතිව අතීත භවයෙන් මේ භවයට පැමිණියහ. එසේම දැනුම් නොදී ඔවුහු පරලොව ගියහ. යම් සේ ආවාහුද එසේම ගියහ. එහි කවර නම් වැලපීමක් ද? හැඬීමක් ද?
වැසි වස්නා කල්හි මගී ජනයා බඩු සහිතව ම නොතෙමෙන තැනකට යන්නාක් මෙන් ද, වැසි නැවති කල්හි කැමති තැනකට යන්නේද එමෙන් ඔබගේ දෙමාපියාදීහු පැමිණ ගියහ. වැලපෙනුයේ කුමකට ද?
ලෝකවාසී සැම මෙලොවට අමුත්තෝය. ආගන්තුකයෝ ය. සැලෙන කම්පා වෙනස්වන ස්වභාව ඇති ඔබගේ දෙමාපියෝ ද එබඳුමය.
සර්පයෙක් සිය දිරාගිය හැව හැරයන්නාක් මෙන් නුඹගේ දෙමාපියෝ ද තම සිරුර හැර ගියහ.”
“ඒ උතුම් බුදුවදන් ඇසූ මම ශෝකය මැඩ පවත්වා ගත් මම, සතුටු වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.
උන්වහන්සේට දිව්‍යමය සුවඳින් යුතු ගිරිනිල් මල් කළඹක් පිදුවෙමි.
ලෝකනායක වූ සුමේධ බුදුරදුන්හට සිරසෙහි ඇඳිලි බැඳ අග්‍ර වූ ගුණ සිහිකරමින් පැසසීමි.”
“මහා වීරයන් වහන්ස, ලෝක නායකයන් වහන්ස, ඔබ භව තරණය කළාහුය. මහා මුනීන් වහන්ස, ඔබ නුවණින් සව්සතුන් දුකින් ගොඩලන්නෙහිය.
මහාමුනීන් වහන්ස, ඔබ විමතිය ද සැකය ද සිඳින්නෙහිය. පසැස් ඇති උතුමන් වහන්ස, ඔබ ඔබගේ නුවණින් මාගේ මාර්ගය පෙන්වූ සේක.