සුභූත ස්ථවිරගාථා වර්ණනාව
“අයොගෙ” යනාදී ගාථා ආයුෂ්මත් සුභූත තෙරුන් වහන්සේගේ ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි බරණැස මහධනවත් පවුලක උපන්හ. නුවණැති වූ ඒ බමුණු කුමරා දිනක ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා පහන් සිත් ඇතිව සරණ සිල්හි පිහිටා, මාසයකට අට වාරයක් සුවඳ ද්‍රව්‍ය සතරක් මිශ්‍රකර ශාස්තෲන් වහන්සේගේ ගඳකිලිය පිරිබඩ ගැන්වීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් උපනුපන් ආත්මභාවයන්හි සුවඳ ශරීර ඇතිව ඉපිද සැප වින්දේය. මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට ගහපති කුලයේ ඉපිද “සුභූත” යන නමින් ප්රකටව, වැඩිවියට පත් හෙතෙම කාමුක සම්පත්හි නොඇලී ගිහිගේ හැර තීර්ථකයන් වෙත පැවිදි විය. එම සස්නෙහි හරයක් නොදුටු ඔහු, අප ශාස්තෲන් වහන්සේ වෙත උපතිස්ස, කෝලිත, සේල ආදී බොහෝ මහණ බමුණෝ පැමිණ, පැවිදි වී ශ්‍රමණඵල විඳිනු දැක; බුදුසසුන පිළිබඳව උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ආචාර්ය උපාධ්‍යායයන් සතුටු කිරීමෙන් කමටහන් ගත් හෙතෙම විවේක වාසයේ ඇලී වෙසෙමින් විදසුන් වඩා රහත් විය. සුභූත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයේ උපන්, මහත් යසස් ඇති, වාදීන්හට අග්‍ර වූ දෙතිස් මහා පුරුෂ ලකුණින් හෙබි අසූවක් අනුව්‍යඤ්ජන සහිත ඛ්‍යාමප්‍රභා කේතුමාලාවලින් නිකුත් රැස් දරන්නා වූ සඳු මෙන් ලෝවැසියාට සැනසිල්ල දෙන්නා වූ හිරු මෙන් ප්රභාලෝකය විහිදුවන්නා වූ වැහිවළාවක් මෙන් සත්වයන්ගේ ග්‍රීෂ්මය නිවන්නා වූ සයුර මෙන් ගුණයන්ට ආකරයක් වූ, ශීලයෙන් මහපොළොව වැනි වූ, සමාධියෙන් හිමවත් පව්ව වැනි වූ, ප්‍රඥාවෙන් අහස වැනි වූ, සුළඟ මෙන් කිසිතැනෙක නො ඇලෙන්නා වූ, නමින් කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
එකල මම බරණැස් නුවර මහත් ධන ධාන්‍ය ඇති, විවිධ රත්න සමූහ ඇති මහා කුලයක උපන්නෙමි.
මහත් පිරිවරින් යුතුව වැඩහුන් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ අමෘතය වැනි වූ ධර්මය ශ්‍රවණය කළෙමි.”
“තරු සහිත සඳ මෙන් දෙතිස් මහා පුරිස් ලකුණ දරන, අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුතු, පිපුණු සල් රුකක් වැනි වූ, රැස් සමූහයෙන් වට කළ දීප්තිමත්, රන් පවුවක් වැනි වූ ඛ්‍යාම ප්‍රභා රශ්මියෙන් පිරිවරාගත් සරත් කාලයේ හිරු වැනි වූ, රන් වන් ශරීරයෙන් මැණික් පර්වතයක් වැනි වූ, මරුන් දිනා උතුම් ජිනවර වූ පිරුණු කරුණාවෙන් යුතු හදක් ඇති, ගුණයේ සාගරය වන්, ලොව ප්‍රකට කීර්ති ඇති, මහමෙර වැනි වූ යසසින් පැතිරුණා වූ, වීර වූ ආකාශය හා සම වූ මුනි වූ සුළඟ මෙන් සියලු තැන නොඇලෙන්නා වූ සිත් ඇති, නායක වූ, මහපොළොව මෙන් සව්සත්හට පිහිට වූ සත්වන මුනි වූ ජලය නොතැවරෙන පියුම මෙන් ලොව නො තැවරෙන්නා වූ, මිසදුටුවාද නම් පැලෑටි දවන ගින්නක් වැනි ඒ කාශ්‍යප බුදුහු බබළති.
ඒ කාශ්‍යප බුදුහු සියලු කෙලෙස් විස නසන බෙහෙතක් වැනියහ. ගුණ සුවඳින් සැරසුණු ගන්ධමාදන පවුව මෙනි. ඒ වීර වූ බුදුපියාණෝ රත්නයන්ට සයුර මෙන් ගුණයන්ට ආකරයකි. වන රාජීන්ගේ කසල පිස දමන සින්ධු නදිය මෙන් සියලු සතුන්ගේ කෙලෙස් දූවිලි පිස හරිනාහ.” “සතුරන් දිනූ මහා යෝධයෙකු මෙන් මරසෙනඟ මැඩ, සක්විති රජෙකු සත්රුවන්ට අධිපති වන්නාක් මෙන් සත් බොජ්ඣංග ධර්මයන්ට අධිපති වූ ඒ බුදුරජාණෝ; කෙලෙස් දෝෂ නම් ව්‍යාධියට පිළියම් කරන මහා වෛද්‍යවරයෙක් වෙති. මිසදිටු නම් ගෙඩිය නසන ශල්‍ය වෛද්‍යවරයෙකි. එකල දෙවි මිනිසුන් ගරු කරන, ලොව බබුළුවන්නා වූ මිනිසුන්ට හිරු වූ ඒ බුදුහු පිරිස් මැද හිඳ දහම් දෙසති.”
“දන් දී මහත් භෝග සම්පත් ලබන්නේය. සීලය රැකීමෙන් සුගතියට යන්නේ ය. භාවනාවෙන් කෙලෙස් පිරිනිවෙන්නේය.” යනුවෙන් අනුශාසනා කරන්නා වූ මහත් ආශ්වාද ජනක වූ රසවත්-මුල මැද අග යහපත් වූ ඒ දහම් දෙසුම සැම දෙනම අමෘතයක් මෙන් අසති.
ඉමිහිරි දහම් අසා බුදුසසුනෙහි පැහැදුණු මම දිවි ඇති තෙක් බුදුන් සරණ ගියෙම්; උන්වහන්සේට නමස්කාර කළෙමි.