රාජදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා” යනු ආයුෂ්මත් රාජදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම පිණිස පින්දහම් සිදුකරමින් අවුත්, මීට කල්ප දාහතරකට පෙරදී බුද්ධ ශූන්‍ය වූ ලෝකයේ සිටු ගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් කිසියම් කටයුත්තකට වනයට ගිය ඒ සිටුකුමරු එහි එක්තරා ගසක් මුල වැඩහුන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක පැහැදුණු සිතින් උන්වහන්සේට ඉතා පිරිසිදු ඇඹරැල්ල ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳිමින් සසර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සත්තුවාහක පවුලක උපන්නේය. වෙසවුණු මහරජු සතුටු කිරීමෙන් ඔහු ලත් බැවින් දෙමාපියෝ “රාජදත්ත” යැයි නම් තැබූහ. වැඩිවියට පත් එකුමරු පන්සීයක් කරත්ත ගෙන වෙළඳාම් පිණිස බඩු පටවාගෙන රජගහ නුවරට ගියේය. එසමයේ රජගහ නුවර සිටි ඉතා රූමත් දර්ශනීය රූ සපුවකින් හෙබි එක්තරා ගණිකාවක් දිනපතා කහවනු දහස බැගින් උපයන්නීය. මේ සත්තුවාහක සිටු පුතා ද දිනකට දහස බැගින් දෙමින් ඇය හා සංවාසයෙහි යෙදුණේ නොබෝ දිනකින්ම සියලු ධනය වියදම් ව දුප්පත් බවට පත්වීය. කෑම ඇඳීම් පමණවත් නොලබමින් ඔබිනොබ ඇවිදිමින් දැඩි සංවේගයට පත් වූ රාජදත්ත; දිනක් උපාසකවරු සමඟ එක්ව වේළුවනාරාමයට පැමිණියේ ය.
ඒ අවස්ථාවෙහි ශාස්තෲන් වහන්සේ මහත් පිරිසක් පිරිවරා ගෙන දහම් දෙසති පිරිසේ කෙළවර හුන් ඔහු ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා, උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. ධුතාංග සමාදන් වූ රාජදත්ත හිමියෝ සොහොනෙහි විසූහ. ඒ කාලයෙහි ද තවත් සත්තුවාහක වෙළෙඳ පුත්‍රයෙක් රැයකට දහස බැගින් දෙමින් ඒ ගණිකාව සමඟ වෙසෙයි. ඔහුගේ අත පැළඳි ඉතා වටිනා මැණික දුටු ගණිකාව, ඊට ලෝභයෙන් වෙනත් තමා වෙත එන පුරුෂයන් ලවා ඔහු මරවා ඒ මැණික ගත්තීය. ඉක්බිති ඒ වෙළඳ පුතුගේ පිරිවර ජනයා මේ පුවත අසා ඇය වෙත ඔත්තුකාරයන් යැවීය. ඒ ඔත්තුකාරයෝ ගණිකාවගේ ගෙට රාත්‍රියේ පිවිස සමට හානියක් නොවන සේ ඇය මරා, සොහොනට ගෙනගොස් දැමූහ. සොහොනේ විසූ රාජදත්ත තෙරණුවෝ අසුභ නිමිත්තක් සොයමින් යන්නාහු, ඒ ගණිකාවගේ සිරුර පිළිකුල් භාවනාවට යෝග්‍යයැයි ගෙන, කිහිපවරක් නුවණින් මෙනෙහි කළහ. නමුත් අලුත මැරුණු බැවින් ද බලු සිවල් ආදින්ගෙන් උපද්‍රව නොවූ සම් ඇති බැවින් ද විෂභාග වස්තුවක් වන හෙයින් ද අනුවණින් මෙනෙහි කිරීම නිසා ඒ සිරුර කෙරෙහි කාමරාගය උපදවාගත් උන්වහන්සේ. ඒ පිළිබඳව දැඩි සංවේගයට පත්ව තම සිතට දැඩිව නිග්‍රහ කළහ. මොහොතක් ඉන් බැහැරව සිත යොමු කළ තෙරණුවෝ නැවත මුලින් සිහිකළ අසුභ නිමිත්තම ගෙන නුවණින් මෙනෙහි කරමින් ධ්‍යාන උපදවා ගත්හ. ඒ ධ්‍යානයම පාදක කරගෙන, විදසුනෙහි සිත පිහිට වූ උන්වහන්සේ එකෙණෙහිම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“තමන් වහන්සේම අපරාජිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ පසේබුදුරජාණන් වහන්සේ නමක් දුටු මම ඇඹරැල්ල ගෙඩියක් පූජා කළෙමි.
මීට කල්ප දාහතරකට පෙර යම් ඵල පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ රාජදත්ත තෙරණුවෝ සිය පිළිවෙත් මග සිහිපත් කර බැලීමෙන් හටගත් ප්‍රීති සොම්නස විඳිමින් මෙම ගාථා වදාළහ.
“භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා අද්දසං ඉත්‍ථිමුජ්ඣිතං,
අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්ති කිමිහී ඵුටං”
“යංහි එකෙ ජිගුච්ඡන්තී මතං දිස්වාන පාපකං,
කාමරාගො පාතුරහූ, අන්‍ධොව වසතී අහුං”
“ඔරං ඔදානපාකම්හා තම්හා ඨානා අපක්කමිං,
සතිමා සම්පජානොහං එකමන්තං උපාවිසිං”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
එහි “භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා”, සසර භය දක්නා බැවින් “භික්ඛු” නම් භික්‍ෂුව, අසුභ කමටහනක් සොයමින් අමු සොහොනට ගොස්; මෙහි තමා සඳහාම “භික්‍ඛු” යන්න රාජදත්ත තෙරුන් විසින් යොදා ඇත. “ඉත්‍ථි” මෙහි “ථි” යනු ස්ත්‍රියයි. සත්‍ව සන්තානයෙන් ශුක්‍ර-ලේ ආදිය ගලා යවන බැවින් මාගමට “ථි” ස්ත්‍රිය යැයි කියනු ලැබේ. එක්ව විසීම්-සහවාස ඇති බැවින් ද ඉත්‍ථි නම් වේ. වඳ ස්ත්‍රීහු ද මොවුනට සමාන එක්ව විසීම් ඇති බැවින් “ඉත්‍ථි” යන ව්‍යවහාරය එම ශරීරයන්ට පවතියි. “උජ්ඣිතං” අත්හැර දැමූ. වැඩකට නැති බැවින් බැහැර ලූ. අපේක්‍ෂා රහිතව ඉවත ලූ. “ඛජ්ජන්තිං කමිහී ඵුටං” පණුවන් විසින් පිරිවරාගෙන කනු ලබන.
“යං හි එකෙ ජිගුච්ඡන්ති මතං දිස්වාන පාපකං” පහ වූ ආයුෂ, උණුසුම හා විඤ්ඤාණය ඇති මළ සිරුර, ඒ පවිටු නිහීන ළාමක වූ සිරුර, ඇතැම් මිදීමට, නිවණට යන නුවණැත්තෝ පිළිකුල් කරති. බැලීමටවත් අකමැති වෙති. “කාමරාගො පාතුරහූ” එවැනි කුණු ශරීරය පිළිබඳව අනුවණින් මෙනෙහි කළ මාහට කාමරාගය උපන්නේය. ඒ කෙරෙහි ඇල්මක් ඇති විය. “අන්‍ධොව වසතී අහුං” ඒ නව දොරකින් අශූචි වෑහෙන මළ සිරුරෙහි ඇති අශුභ-පිළිකුල් ස්වභාවය නොදැකීමෙන් මම අන්‍ධයකු වැනි වූයෙමි. එනිසා කියන ලදි -
“රත්තො අත්‍ථං න ජානාති, රත්තො ධම්මං න පස්සතී,
අන්‍ධන්තමං තදා හොතී, යං රාගො සහතෙ නරං” තී.
රාගයෙන් යුක්ත පුද්ගලයා අන්‍ධයකු මෙන් අඳුරෙන් වෙලී පවතියි. රාගිකයා යථාර්ථය නොදනී. රාගිකයා ධර්මය නිවැරදිව නොදකියි.
“බ්‍රාහ්මණය! කාමච්ඡන්දය - කාමයෙහි ඇලී ගැලී සිටීම පුද්ගලයාගේ අන්‍ධභාවයකි.” යන තැන්හිද එයම දැක්වේ. ඇතැමෙක් මෙහි දී “න” කාමරාගය කොට (වසති - අවසති) කෙලෙස් නැගී සිටීමෙන්, වසඟ වූ බැසගත් කෙලෙස් වලින් යුක්තව විසුවෙමි”යි අර්ථ කියති. සෙස්සෝ (අපරෙ) “අන්‍ධොව අසතී අහූ” යනුවෙන් පාලි පාඨය දක්වා කාමරාගයෙන් අන්‍ධයෙක් ම වී සිහිය නැතිවූයෙමි. අසිහියෙන් විසුවෙමි”යි අර්ථ කියති. මේ අර්ථ දෙකම පෙළෙහි නැත. පෙළ දහමෙහි නැත.