වඞ්ගීස ස්ථවිරගාථා වර්ණනාව
හැත්තෑවන නිපාතයෙහි ‘තික්‍ඛනතං වත මං සන්තං’ යනාදී ගාථාවන් ආයුෂ්මත් වංගීස තෙරුන්ගේය. මොහු වනාහි පදුමුත්තර බුද්ධ කාලයෙහි හංසවතී නගරයෙහි මහා සැපසම්පත් ඇති කුලයක උපන්නේය. පෙර පරිදිම විහාරයට ගොස් බණ අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ප්‍රතිභාඥානයෙන් අග්‍රස්ථානයෙහි තබනු දැක ශාස්තෲන් වහන්සේට පිහිටවන කර්මයක් කොට මමද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තන් අතර අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කොට ශාස්තෲන් වහන්සේ විසින් එය අනුමත කරන ලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවැත්නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වංගීස යැයි ලබන ලද නම් ඇතිව ඉක්බිති ත්‍රිවේදය හදාළේය. අනතුරුව ගුරුවරයා සතුටුකොට ජවසීස මන්තං (මිනී හිස්කබලකට තට්ටුකර උපන් තැන කියන මන්ත්‍රය) එනම් ශාස්ත්‍රය ඉගෙනගෙන මිනී හිස්කබලට නියෙන් තට්ටුකර ‘මේ සත්ත්වයා අසවල් යෝනියෙහි උපන්නේ යැයි දැනගනී.
බමුණෝ මේ අපේ ජීවන මාර්ගයක් යැයි දැනගෙන වංගීස ව රැගෙන ආවරණය කළ යානාවක හිඳුවා ගම්නියම් රාජධානිවල හැසිරෙත්. වංගීස ද වර්ෂ තුනකට පෙර මියගිය අයගේද හිස ගෙන්වාගෙන නියෙන් තට්ටු කර මේ සත්ත්වයා අසවල් යෝනියෙහි උපන්නේය කියා මහාජනයාගේ සැකය නැතිකිරීම සඳහා ඒ ඒ ජනයාට ආරූඪ වී තමන්ගේ ගතිය කියවීය. ඒ නිසා මහාජනයා ඔහු කෙරෙහි පහදිති. බමුණෝ වංගීසව ගෙන කැමැති පරිදි හැසිර නැවත සැවැත්නුවරට පැමිණියාහ. වංගීස තෙමේ බුදුන්ගේ ගුණයන්හි පැහැදී බුදුන් වෙත එනු කැමැති විය. බමුණෝ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ මායාවෙන් ඔහුව රවටා ගන්නේයැයි ප්‍රතික්‍ෂේප කළහ. වංගීස තෙමේ ඔවුන්ගේ වචනය ගණන් නොගෙන බුදුන් සමීපයට ගොස් සුහද පිළිසඳර කථාකොට එකත්පසෙක හුන්නේය.
ශාස්තෲන් වහන්සේ ඔහුගෙන් විචාළ සේක. වංගීස! ඔබ කිසියම් ශිල්පයක් දන්නෙහිද? එසේය. භවත් ගෞතමයාණන් වහන්ස! ‘ජවසීවමන්තං’ එනම් මන්ත්‍රය දනිමි. එයින් වර්ෂ තුනකට පෙර මියගිය අයගේ පවා හිස්කබලට නියෙන් තට්ටු කිරීමෙන් උපන් තැන දැනගනිමියි කීය. ශාස්තෲන් වහන්සේ නිරයේ උපන් තැනැත්තකුගේ හිසක් දැක්වීය. මිනිසුන් අතර උපන් එකකුත්, දෙවියන් අතර එකකුත්, පිරිනිවන්පෑ උතුමකුගේද හිස්කබල් පෙන්වන ලදී. ඔහු පළමු හිසට තට්ටුකර පින්වත් ගෞතමයන් වහන්ස! මේ සත්ත්වයා නිරයේ උපන්නේ යැයි කීය. හොඳයි වංගීස! ඔබ මනාව දකින ලදී. මේ සත්ත්වයා කොහේ උපන්නේදැයි විචාළ සේක. මිනිස්ලොව. මොහු කොහේද? දෙව්ලොව. මෙසේ තුන්දෙනාගේම උපන්තැන් ප්‍රකාශ කළේය. පිරිනිවි ඇත්තාගේ හිසට නියෙන් තට්ටු කළමුත් අගක් මුලක් නොපෙනෙයි. වංගීසය! ඔබට නොහැකිදැයි ශාස්තෲන් වහන්සේ විචාළ සේක. තවම පරික්ෂා කරමියි කීය. නැවත නැවතත් පෙරළමින් තට්ටු කරන්නේ නමුත් බාහිර මන්ත්‍රයකින් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නමකගේ ගතිය කෙසේ දැනගන්නේද? ඉක්බිති ඔහුගේ හිසෙන් දහඩිය වැටුනේය. ඔහු ලජ්ජා වී නිහඬව සිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ වංගීස! මහන්සිදැයි විචාළ සේක. එසේය පින්වත් ගෞතමයන් වහන්ස. මොහු උපන් තැන දැනගත නොහැකිය. ඉදින් ඔබවහන්සේ දනීනම් ප්‍රකාශ කරන්න. වංගීස! මම එයද දනිමි. එයට වඩා වැඩිදේද දනිමියි කියා -
යමෙක් සත්ත්වයන්ගේ උත්පත්තියත් චුතියත් සර්වප්‍රකාරයෙන් දනීද කිසිම තැනක නොඇලුණු සුගත වූ බුදු වූ ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.
දෙවියොත්, ගාන්ධර්වයොත් මිනිස්සුත් යමෙකුගේ ගතිය (උපදනා තැන) නොදනිත්ද ආශ්‍රවයන් නැසූ රහත් වූ ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.
මේ ගාථා දෙක ප්‍රකාශ කළ සේක.
වංගීස තෙමේ එසේනම් ස්වාමීනි, ඒ විද්‍යාව මට දෙන්න කියා ගෞරව දක්වා බුදුන් සමීපයෙහි හුන්නේය. ශාස්තෲන් වහන්සේ අප විසින් සමාන ස්වරූප ඇත්තන්ට දෙනු ලැබේ යැයි වදාළහ. වංගීස තෙමේ කුමක් හෝ කොට මා විසින් මේ මන්ත්‍රය ගැනීම වටියේ යැයි බ්‍රාහ්මණයන්ට කීය. මා පැවිදිවන කල්හි මෙසේ නොසිතව්. මම මන්ත්‍ර ඉගෙනගෙන සියළු දඹදිව නායකයා වෙමි. නුඹලාටද එයින් හොඳක්ම වන්නේයැයි කියා මන්ත්‍රය ලබාගැනීම සඳහා බුදුන් සමීපයට පැමිණ පැවිද්ද ඉල්වීය. එදින නිග්‍රොධකප්ප තෙරුන් වහන්සේ බුදුන් සමීපයෙහි සිටියේ වෙයි. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ අණකළ සේක. නිග්‍රොධකප්ප! මොහුව පැවිදි කරන්න. හෙතෙම බුදු නියමයෙන් ඔහුව පැවිදි කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට පළමුවෙන් මන්ත්‍ර පරිවාර ඉගෙන ගන්න යැයි වදාරා දෙතිස් ආකාර කමටහන්ද විදර්ශනා කමටහන ද කියා දුන් සේක. ඔහු දෙතිස් ආකාරය කියනවිටම විදර්ශනාව පිහිටුවා ගත්තේය. බ්‍රාහ්මණයෝ වංගීස වෙත පැමිණ කිම පින්වත් වංගීස, ශ්‍රමණ ගෞතමයන් ලඟ ශිල්ප ඉගෙන ගත්තේදැයි ඇසූහ. ශිල්ප ඉගෙනීමෙන් කවර ප්‍රයෝජනයක්ද? තෙපි යව්. මට නුඹලාගෙන් ප්‍රයෝජනයක් නැත කීය. බ්‍රාහ්මණයෝ නුඹද දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ වසඟයට පැමිණියේ වන්නේය. මායාවෙන් රැවටුනා නේද? අපි ඔබ සමීපයෙහි සිටීමෙන් ඵලයක් නැතැයි ආ මගින්ම පිටත්ව ගියහ. වංගීස තෙරුන් වහන්සේ විදර්ශනා වඩා රහත්බවට පත්විය. අපදානයේ මෙසේ කියා ඇත.