තාලපුට ස්ථවිරගාථා වර්ණනාව
පනස්වන නිපාතයෙහි කදානුහං ආදිය ආයුෂ්මත් තාල පුට ත්ථෙරස්ස තාලපුට තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද ප්රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයන්හි සසරට පිහිටවන කුසල් රැස්කර මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා නැටුම් කුලයක ඉපිද උගත්බවට පැමිණියේ කුලයට අනුරූප වූ නැටුම් කලාවන්හි පරතෙරට ගොස් සියළු දඹදිව ප්රකට ගාමණී නම් නාට්ය ශිල්පියා විය. ඔහු පන්සියයක් කාන්තාවන් පිරිවරාගෙන මහත්වූ නාට්ය සම්පත්තියෙන් යුක්තව ගම්නියම්ගම් රාජධානිවල සංදර්ශන පවත්වා බොහෝ පුදසත්කාර ලබා ඇවිදින්නේ රජගහ නුවරට පැමිණ නුවර වැසියන්ට සංදර්ශනයක් පවත්වා ලබන ලද ගරුසත්කාර ඇත්තේ නුවණ මුහුකුරා ගිය බැවින් බුදුන් සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි! පැරණි ආචාර්ය, ප්රාචාර්යයගෙන් මා මෙසේ අසා ඇත. යම් ඒ නාට්ය ශිල්පියෙක් රඟමඬලේදී ඇත්තෙන් හා බොරුවෙන් ජනයාව සිනහගන්වයි ද සතුටු කරයිද ඔහු මරණින් මතු පහාස නම් වූ දෙවියන් හා එක්වන්නේය කියාය. භාග්යවතුන් වහන්සේ මේ ගැන කුමක් වදාරණ සේක්ද? භාග්යවතුන් වහන්සේ මගෙන් මෙය අසන්නට එපායැයි ඔහුව තුන්වරක් ප්රතික්ෂේප කළ සේක. සතරවන වර විචාරණ ලද්දේ මෙසේ වදාළේය. ගාමිණිය! මේ සත්ත්වයෝ ස්වභාවයෙන්ද රාග බැම්මෙන් බැඳුනෝය. ද්වේෂ බන්ධනයෙන් බැඳුනෝය. මෝහ බන්ධනයෙන් බැඳුනෝය. ඔවුනතුරෙන් බොහෝන්දෙනෙක් ඇලිය යුතු, ගැටියයුතු, මුලාවට පත්විය යුතු ධර්මයන්හි යෙදෙමින් ප්රමාදීව කාය බිඳීයාමෙන් මරණයෙන් පසු නිරයෙහි උපදී. ඉදින් වනාහි ඔහුට මෙබඳු දෘෂ්ටියක් ඇත්තේද ‘යම් ඒ නාට්ය ශිල්පියෙක් රඟමඬලෙහි ඇත්තෙන් හෝ බොරුවෙන් ජනයා සිනහ ගන්වයිද සතුටු කරයිද ඔහු කය විනාශවීමෙන් මරණයෙන් පසු පහාස නම් දෙවියන් හා එක්වන්නේය. මේ ඔහුගේ මිථ්යාදෘෂ්ටිය වන්නේය. මිථ්යාදෘෂ්ටිකයා වනාහි නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකින් එකක් බලාපොරොත්තු විය යුතුයි. එය අසා තාලපුටො තාලපුට හැඬුවේය. ගාමිණිය! මා විසින් මුලදීම මෙය මාගෙන් නොඇසිය යුතුයයි ප්රතික්ෂේප කළා නොවේද කියා බුදුන්වහන්සේ විචාළ සේක. එවිට ඔහු පවසන්නේ ස්වාමීනි! භාග්යවතුන් වහන්සේ විසින් යම් ඒ නෘත්ය දක්වන්නවුන්ගේ පරලොව ජීවිතය මෙසේ වන්නේයැයි කියූ කාරණය ගැන මම නොහඬමි. තවද ස්වාමීනි! පැරණි ආචාර්ය ප්රාචාර්ය නැට්ටුවන් විසින් මෙම රවටනු ලැබුවෙමි. කුමක් නිසාද නැට්ටුවා මහාජනයාට නාට්ය සංදර්ශන පවත්වා සුගතියෙහි උපදීයැයි කියා ඇති බැවිනි.
ඔහු බුදුන් සමීපයෙහි බණ අසා ලැබූ ශ්රද්ධා ඇත්තේ පැවිදිව ලබන ලද උපසම්පදා ඇත්තේ විදර්ශනා භාවනාව සඳහා කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. අවබෝධ කරගන්නා ලද රහත්බව ඇතිව රහත්වීමට පෙරාතුව යම් අයුරකින් තමාගේ සිත පෙර පැවැති තත්ත්වය විමසා බැලීම් වශයෙන් යොනිසො මනසිකාරය පහළ විය. එය නොයෙක් ආකාරවලට බෙදා දක්වන්නට:-
කවදානම් මම පර්වත කඳුරුවල හුදෙකලාව දෙවෙනියෙක් නැතිව වාසය කරන්නෙම්ද? සියළු භවය අනිත්ය ලෙස බලන්නා වූ කවදා වන්නේද? (කවදා මස්තකප්රාප්ත වන්නේද?)
කවරදා නම් කපා සිඳ මසාගත් සිවුරු දරන මුනිවරයෙක්ව කසාය වස්ත්රය හැඳ මමත්වයක් නැතිව ආශාවක් නැතිව, රාගයද, මෝහයද, ද්වේෂයද නැතිකර දමා සැපවත්ව මහා වනයට ගොස් කවදානම් වාසය කරන්නෙම්ද?
රෝගයන්ටත් මරණයටත් කුඩුවක් බඳු මරණයෙන් හා ජරාවෙන් උපද්රව තත්ත්වයට පත් පහකළ භයට හේතු ඇතිව විදර්ශනා ඤාණයෙන් බලන්නේ කවදානම් හුදෙකලාව වනයෙහි වසන්නෙම්ද?
මම බිය ඇතිකරන දුක් ගෙනදෙන බොහෝ වූ අරමුණුවලට අනුව පවත්නා තණ්හා නමැති ලතාව ප්රඥා නමැති සියුම් කඩුව ගෙන කපා දමා කවදානම් වසන්නෙම්ද?
ප්රඥාමය වූ උග්ර වූ තේජස් ඇති සෘෂිවරයන්ගේ ආයුධය වහා ගෙන සේනාව සහිත මාරයාව විනාශ කර දමා අපරාජිත ආසනයෙහි කවදානම් සිටින්නෙම්ද?
කවදා මම උතුමන්ගේ සමාගමයෙහි එබඳු වූ ධර්ම ගෞරවයෙන් යුත් උතුමන් විසින් දකින ලද්දේ වෙම්ද? යථා ආකාරයෙන් දකින්නා වූ දිනන ලද ඉඳුරන් ඇති බුද්ධාදී උතුමන් විසින් දකින ලද්දේ වෙම්ද?
අලසකම, බඩගින්න හා පිපාසයෙන් සුලඟින්, අව්වෙන්, කීටයන්ගෙන් හා දිග උරගයන්ගෙන් ඒ ගිරිකඳුරෙහි කිසි බාධාවක් නොවන්නේය.
මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දැකීමට අපහසු චතුරාර්ය සත්යයන් මාර්ග සමාධියෙන් සමාහිත වූ මනා සිහියෙන් හා ප්රඥාවෙන් මම කවදානම් අවබෝධකර ගන්නෙම්ද?
අප්රමාණ වූ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් ගිනිගෙන සිටින්නා වූ මම කවදානම් සමථ භාවනාවෙන් යුක්තව ප්රඥාවෙන් ඒ ධර්මය කවදානම් දකින්නෙම්ද?
නරක වචනයක් කීමෙන් ඒ හේතුකොට ගෙන සිත නරක් වූවෙක් නොවන්නෙමි. ඉක්බිති ප්රශංසාවක් කළේද ඒ හේතුවෙන් සතුටු නොවන්නෙමි. කවදානම් මම ඒ තත්ත්වයට පත්වන්නෙම්ද?
දර, තණකොල, වැල් යන මේවා අප්රමාණ වූ ස්කන්ධ ධර්මයන් හා සමානව සිතමි. කවදානම් අධ්යාත්මික හා බාහිර වූ මේ ධර්මයන් සමාන කර සිතන්නෙක් වෙම්ද?
වර්ෂා කාලයෙහි මේඝයේ අළුත් ජලයෙන්, වනයෙහි සෘෂිවරයන් ගිය මගෙහි යන්නා වූ චීවර සහිත මා කවදානම් එම ජලයෙන් තෙමෙන්නේද?
කවදානම් ගිරිකඳුරේ වනයෙහි හඬන මොනරුන්ගේ කේකාරව අසා වේලාව දැනගෙන නැගිට කවදානම් අමෘත නිර්වාණය ලබාගැනීම සඳහා කල්පනා කරන්නෙම්ද?
කවදානම් ගංගා යමුනා සරස්වතී යන ගංගාවන්හි හා පාතාලයේ හා වඩවා මුඛයෙහිද වූ ඒ බිහිසුනු බවෙහි ඍද්ධියෙන් නොඇලී තරණය කරන්නට ලැබේද? කවදානම් මෙබඳු ඍද්ධි බලයක් ලබන්නෙම්ද?
කවදානම් සංග්රාමයෙහි හස්තියකු මෙන් කාම ගුණයන්හි ආශාව සිඳ දමන්නෙම්ද? සියළු සුභ නිමිතිවලින් තොරවී ඣානලාභීව සිටින්නෙම්ද?