අනුරුද්ධ ස්ථවිරගාථා වර්ණනාව
පහාය මාතාපිතරො යනාදි ගාථාවන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේය. මොහු ද පෙර බුදුවරුන්ගේ කාලයෙහි කරන ලද ප්රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි සැපසම්පත් ඇති පවුලක කෙළෙඹියෙක් ලෙස උපන්නේය. ඔහු එක්දිනක් විහාරයට ගොස් බුදුන් ලඟ බණ අසන්නේ බුදුන්වහන්සේ එක් භික්ෂුවක් දිවැස් ඇත්තන් අතර අග්රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්රාර්ථනා කොට සතසහස්රයක් භික්ෂූන් පිරිවරාගත් භාග්යවතුන් වහන්සේට දවස් හතක් මහදන් දී සත්වෙනි දවස භාග්යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද උතුම් වස්ත්ර පූජාකොට ප්රාර්ථනා කළේය. භාග්යවතුන් වහන්සේ ද ඔහුගේ පැතුම පසුකලක සමෘද්ධ වන බව දැක අනාගතයෙහි ගොතමං නම් වූ බුදුන් වහන්සේගේ සසුනෙහි දිවැස් ඇත්තන් අතුරෙන් අග්රස්ථානයට පත්වන්නේ යැයි විවරණ දුන් සේක. ඔහුද එහි පින් කරන්නේ බුදුන් පිරිනිවි කල්හි වැඩ නිමකළ සත්යොදුන් සුවණ්ණ චෛත්යයෙහි නොයෙක් සියදහස් ගණන් පහන්වැටවලින්ද පහන් තැටිවලින්ද විශාල වූ පහන් පූජාවක් පවත්වා දිවැස ලබාගැනීමට මෙය හේතුවාසනා වේවායි පැතීය.
මෙසේ දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ කස්සප බුදුන්ගේ කාලයෙහි බරණැස් නුවර කෙළෙඹි ගෙදරක ඉපිද බුද්ධිමත් වූයේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි යොදුනක් ප්රමාණ කණක චෛත්යයෙහි බොහෝ රන් පාත්රවල ගිතෙල් හා කොහොඹ ඇට පුරවා මැද එක එක පාත්රය බැගින් තබා පාත්රයෙන් පාත්රය එකිනෙක ගැටෙන සේ චෛත්යය වටකර තමා විසින් එක් විශාල රන්පාත්රයක් ගිතෙල් හා මණ්ඩ බීජවලින් පුරවා පහන්වැටි දහසක් දල්වා හිසෙහි තබාගෙන මුළු රාත්රියම චෛත්යය ප්රදක්ෂිණා කළේය.
මෙසේ ඒ ආත්මභාවයේදී ද දිවි ඇතිතෙක් පින්කොට එයින් චුත වූයේ දෙව්ලොව ඉපිද එහි දිවි ඇතිතෙක් සිට එයින් චුතව බුදුන් නූපන් කල්හි බරණැස් නුවරම දුප්පත් ගෙදරක උපත ලැබීය. අන්නභාරො යැයි ඔහුට නම්කරන ලදී. ඔහු සුමන නම් සිටුවරයා ලඟ වැඩකරමින් ජීවිකාව ගෙනයයි. ඔහු එක්දිනක් උපරිට්ඨ නම් පසේබුදුන් දැක තමා සඳහා තබන ලද ආහාරවේල පාත්රයක බහා බුදුන් වහන්සේට පිළිගන්වන්නට යාමට පිටත්විය. ඔහුගේ භාර්යාව ද තමන්ගේ බත් කොටසද එහිම දැමීය. ඔහු එය ගෙනගොස් පසේබුදුන්ට පිළිගැන්වීය. පසේබුදුන්ද එය පිළිගෙන පිං අනුමෝදන් කර නික්ම ගිය සේක. එය දැක රාත්රියෙහි සුමන සිටුවරයාගේ ඡත්රයෙහි අධිගෘහිත දේවතාවිය පුදුමයි! උතුම් දනකි. උපරිට්ඨෙ මනාව පිහිටියේ යැයි මහා හඬකින් අනුමෝදන් වූවාය. ඒ අසා සුමන සිටුවරයා මේ දෙව්දුව විසින් අනුමෝදන් වූ දානය උතුම් දානයකැයි සිතා එහි අනුමෝදන් වීමට ඉල්ලීය. අන්නභාර තෙමේ පින් අනුමෝදන් කළේය. එයින් සතුටට පත් සුමන සිටුවරයා ඔහුට දහසක් දී මෙතැන් පටන් නුඹ තමගේ අතින් වැඩ කිරීමක් නැත. සුදුසු ගෙයක් සාදා වෙළඳාමෙන් ජීවත්වෙවයි කීය.
යම්හෙයකින් නිරෝධ සමාපත්තියෙන් නැගීසිටි පසේබුදුන්ට දෙන ලද පිණ්ඩපාතය එදිනට විශාල වූ විපාකයක් ලබාදෙයි. ඒ නිසා එදාම සුමන සිටුවරයා රජු සමීපයට යන්නේ ඔහුව ගෙන ගියේය. රජු ඔහුව සාදරයෙන් බැලුවේය. සිටුතුමා මහරජතුමනි! මොහු බැලිය යුත්තෙක්මයැයි කියා ඔහු විසින් කරන ලද පිනද තමා විසින් ඔහුට දහසක් දුන් බවද පැවසීය. ඒ අසා රජු සතුටුව දහසක් දී අසවල් තැන ගෙයක් තනාගෙන වාසය කරන්නැයි ගෙය සාදන තැනක් නියම කළේය. ඒ ස්ථානය පිරිසිදු කරන්නා වූ ඔහුට විශාල නිදන්වස්තු සහිත සැලි මතුවිය. ඒ දැක ඔහු රජුට දන්වා සිටියේය. රජු ඒ සියලු ධනය උඩට ගෙන රැස්කරවා එය බලා මෙතරම් ධනයක් මේ නගරයේ කවරකුගේ ගෙයි තිබේදැයි අසා නැත ස්වාමීනියි කී කල්හි එසේනම් ‘මොහු ධන සිටුවරයා (ධනසෙට්ඨි) වේවායි ඔහුව සිටු තනතුරෙහි තැබීය.
ඔහු එහි දිවි ඇතිතෙක් කුසල්කොට එයින් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ කපිලවත්ථු නගරයෙහි අමිතොදන ශාක්යයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. අනුරුද්ධ යැයි ඔහුට නම් කළේය. ඒ අනුරුද්ධ කුමාරයා වනාහි මහානාම ශාක්යයාගේ කනිටු සොහොයුරු බුදුන්වහන්සේගේ සුළුපියාගේ පුත් අතිශයින් කෝමල වූයේ මහාපින් ඇත්තේ සෘතු තුනට සුදුසුවන ප්රාසාද තුනක අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්රීන් පිරිවරාගත් ශක්ර දේවෙන්ද්රයා මෙන් සම්පත් අනුභව කරන්නේ, සුද්ධොදන මහරජතුමා විසින් උනන්දු කරවන ලද ශාක්ය රජුන් විසින් භාග්යවතුන් වහන්සේගේ පිරිවර සඳහා යවන ලද භද්දිය කුමාරාදීන් විසින් අනුපිය අඹවනයෙහි වැඩසිටින බුදුන් වෙත පැමිණ බුදුන් ලඟ පැවිදිව ඇතුළු වස්කාලය තුළදීම දිවැස උපදවාගෙන නැවත ධර්ම සේනාපතීන් වහන්සේ ලඟ කමටහන් ගෙන පාචීනවංසදායං ප්රාචීනවංසදාය නම් ස්ථානයට ගොස් මහණදම් පුරන්නේ සත්තමහා පුරුෂ විතර්කයන් උපදවාගෙන අටවැනි පුරුෂ විතර්කය උපදවා ගන්නට අපොහොසත් විය. ඔහුගේ ඒ පුවත දැනගත් භාග්යවතුන් වහන්සේ අටවැනි මහා පුරුෂ විතර්කය කියා දී චතුපච්චය සන්තොසභාව ප්රතිමණ්ඩිත වූ මහා අරියවංස ප්රතිපදාව දේශනා කළ සේක. ඔහු දේශනා කළ ආකාරයට විදර්ශනා වඩා අභිඥා, පටිසම්භිදාවන් සහිත රහත් බව අවබෝධ කරගත්තේය. ඒ නිසා අපදානයෙහි මෙසේ කියන ලදී.
මම ලෝකනායක වූ ලෝකජ්යෙෂ්ඨ වූ නරාසභ වූ තනිව වැඩසිටියා වූ සුමේධ භාග්යවතුන් වහන්සේව දුටුවෙමි.
ලෝකනායක වූ සුමේධ බුදුන් වෙතට ගොස් වැඳගෙන ලෝකනාථයන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියෙමි.