පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව
‘සමණස්ස අහු චින්තා’ ආදි ගාථාවන් ආයුෂ්මත් පාරාපරිය තෙරුන්ගේය. මෙහි කථාවස්තුව පහත දක්වා ඇත. මේ ගාථාව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී තමාගේ පෘථග්ජන කාලයේ මනස සයවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන්ට නිග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී. මෙය වනාහි පසුකාලයක බුදුන් පිරිනිවි කල්හි තමාගේද පිරිනිවන්පෑමට අවස්ථාව එළඹි කල්හි ඉදිරියේදී භික්‍ෂූන්ගේ ධර්මය පිළිබඳ වැරදි ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම් වශයෙන් කියන ලදී. එහි
පිපුණු මල් ඇති මහා වනයෙහි ධ්‍යාන වඩන්නා වූ උතුම් විවේකයෙන් සිත එක්තැන් කර සිටියා වූ ශ්‍රමණයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවිය.
මේ ගාථාව සංගායනා කාරකයන් වහන්සේලා විසින් යොදන ලදී. එහි අර්ථයත් පහත කියන ලද ආකාරයත් අතර සම්බන්ධතාවය මෙයයි.
ශාස්තෲන් වහන්සේත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඇතැම් මහතෙරවරුන් වහන්සේලාත් පිරිනිවන්පෑ කල්හි අතීත බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන්හි හා ප්‍රතිපත්ති මාර්ගයන්හි මනාව හැසිරෙන්නා වූ ශික්‍ෂාකාමී භික්‍ෂූන් හිඟවන කල්හි වැරදි ප්‍රතිපත්තීන්හි යෙදෙන දුර්වච භික්‍ෂූන් බහුලවන කල්හි මනාව මල් පිපුණු සල්වනයෙහි හුදෙකලාව සිතේ ඒකාග්‍රතාවයට පත්ව ධ්‍යාන වඩමින් සන්සිඳ වූ පාපයන් ඇති පාරාපරිය තෙරුන්ගේ ප්‍රතිපත්තිය අරභයා චින්තා සිතිවිල්ලක් විය. ඉතිරිය :
පුරිසෝත්තම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදී භික්‍ෂූන්ගේ චර්යා පැවැත්ම වෙනස් අයුරකින් විය. දැන් වෙනස් අයුරකින් දිස්වෙයි.
සීතලෙන්, සුලඟින් ආරක්‍ෂා වීමටත් හිරිඔතප් ආරක්‍ෂා කරගැනීමටත් වස්ත්‍ර පාවිච්චි කළහ. හීන, ප්‍රණීත වශයෙන් නොසලකා ලද දෙය අනුභව කළහ.
ප්‍රණීත හෝ කටුක හෝ අල්ප වූ හෝ බොහෝ වූ ආහාර ගිජු නොවී එහි ඇල්මක් නැතිව ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් අනුභව කළහ.
ජීවිතය පවත්වා ගැනීම සඳහා පිරිකර ලෙස ලැබෙන බෙහෙත් හා ගිලන්පස පිළිබඳව කෙලෙසුන් නැසීමෙහි යෙදී සිටි ඒ භික්‍ෂූහු දැඩිලෙස උත්සුක නොවූහ.
අරණ්‍යයෙහි හෝ ගසක් මුල හෝ ගිරිකඳුරුවල හෝ විවේකයෙහි ඇලුනාහු විවේකය අරමුණු කරගෙනම වාසය කළහ.
උඩඟු නොවූ සසුනෙහි ශ්‍රද්ධාව ඇති, පෝෂණය කරන්නට පහසු තද සිත් නැති කීකරු තණ්හා දිට්ඨි ආදියෙන් ගැවසී නොගත් වාචාල නොවී අනුන්ටත් තමන්ටත් හිත පිණිසම පවත්නා වූ,
මේ හේතු නිසා අසන දකින අයට පැහැදීම ඇතිකරන ගමන්බිමන් හා සිව්පසය පරිභෝග කිරීම් ඇතිව ඉරියව් පැවැත්මෙහි සිනිඳු තෙල් ධාරාවක් මෙන් විය.
සියළු ආශ්‍රවයන් ප්‍රහීණ කළාහු මහා ධ්‍යාන වඩන්නාහු අන් අයට මහා ප්‍රයෝජනවත් වූවාහු ඒ තෙරවරුන් වහන්සේලා දැන් පිරිනිවන් පෑවාහ. දැන් එබඳු අය අල්පය.
සසරට පිහිටවන්නා වූ කුසල ධර්මයන්ද එබඳු වූ ප්‍රඥාවගේද නොමැති වීමෙන් ආදි කල්‍යාණ ආදී අංගයන්ගෙන් යුක්ත වූ බුද්ධ ශාසනය විනාශ වන්නේය.
කාය දුශ්චරිතාදී පාපධර්මයන්ට ලෝභාදි කෙලෙසුන්ටද යම් කාලයක් වේද යම්කෙනෙක් මෙබඳු කාලයෙහි කාය, චිත්ත ආදී විවේකය සඳහා අරඹන ලද වීර්ය ඇත්තාහුද ඉතිරි ප්‍රතිපත්ති අනුගමනය කර සඵල කරගන්ට අපොහොසත් වූවාහු
කෙලෙස් වඩන්නා වූ ඔව්හු බොහෝ ජනයාගේ හදවතට පිවිස යම්සේ වනාහි කෙළිලොල් රකුසන් උමතු වූවන් හා බාලයන් කෙරෙහි ආවේස වී සෙල්ලම් කරත් යැයි හඟිමි.
කෙලෙසුන්ගෙන් වැඩගන්නා ලද ඔවුහු ඒ ඒ අසරුප් ක්‍රමයට පිළිපදින්නාහු කෙලෙස් වස්තූන්හි කෙලෙස් සේනාවේ සේනාපති මාරයා විසින් ඝෝෂා කරන ලද්දේ
සද්ධර්මය අත්හැර දමා ඔවුනොවුන් කළහ කරන්නාහු ඒ ඒ දෘෂ්ටීන් වැළඳගෙන මෙය හොඳය කියා සිතත්.
ගිහින්ගෙයින් නික්මගියාහු ධනය ද දූදරුවන්ද භාර්යාවද අත්හැර දමා බත් හැන්දක් දෙන්නහු නිමිතිකොට පැවිද්දකු විසින් නොකටයුතු දේ කරත්.
කුස පිරෙන්නට අනුභවකොට නියම කොට ඇති සෙය්‍යාවන් නොසළකා උඩුකුරුව නිදන්නේය. බුදුන් විසින් එපායැයි වදාළ රාජකථා ආදිය කථාකරමින් සිටිත්.
සියළු හස්ත කර්මාන්තයන් මනාව හදාරති. අධ්‍යාත්මය සංසුන් නොවූවාහු සමණ ධර්මය මෙයැයි සිතත්.
සුවඳ කවන ලද මැටි වර්ගද, තෙල් වර්ගද, සුවඳකුඩු වර්ගද, ජලයද, ආහාරද, ආසනද, තමන්ට වැඩියෙන් ලැබේය යන බලාපොරොත්තුවෙන් ගිහියන්ට දෙත්.
දැහැටිද ලිවුල්ද මල් හා කැවිලි වර්ගද පිණ්ඩපාතයට ලැබුනා වූ අඹ හා වෙනත් ඇඹුල් වර්ගද දෙත්.
ගිහියන්ට බෙහෙත් දීමේදී වෛද්‍යවරයෙක් වැනිය. ලොකු කුඩා කටයුතුවලදී ගිහියන් මෙනි. සැරසිලිවලින් ගණිකාවන් බඳුය. සැපසම්පත් අතින් ගත් ක්‍ෂත්‍රියයන් මෙනි.
මැණික් නොවන දේ මැණික් ලෙස දක්වන වංචනික වූ කපටි ප්‍රයෝගයන් කරන්නා වූ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වන්නාහු ආමිෂය පරිභෝජනය කරත්.
අකැප ප්‍රත්‍යයන්හි කැප ලෙස සලකා හැමතන්හිම මහේච්ඡාව ආදී පාපධර්මයන්ගෙන් මෙහෙයවනු ලබන්නාහු ජීවිකාව සඳහා උපාය මාර්ගයෙන් බොහෝ ධනය ලඟාකර ගනිත්.