අඞ්ගුලිමාල ස්ථවිරගාථා වර්ණනාව
‘ගච්ඡං වදෙසි’ ආදිය අංගුලිමාල තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද පැතුම් ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිටවන්නා වූ කුසල් රැස්කොට මේ බුදුන්ගේ කාලයෙහි සැවැත්නුවර කොසල කොසොල් රජුගේ පුරෝහිත වූ භග්ගවස්ස භග්ගව නම් වූ බ්‍රාහ්මණයාගේ පුත්‍රව උපන්නේය. ඔහු උපන්දිනයෙහි මුළු නගරයෙහිම ආයුධ දිළිසින. රජුගේද සයනය මත තිබුණා වූ මඟුල් කඩුවද දිළිසින. එය දැක බියට පත් රජු තැතිගත්තේ නොනිදා සිටියේය. පුරෝහිත තෙමේ මේ වේලාවෙහි නැකැත් යෙදී තිබුණු ආකාරය බලා සොර නැකතින් උපන්නේ යැයි සළකුනු කළේය. ඔහු රාත්‍රිය ගෙවී ගියවිට රජු සමීපයට ගොස් සැපසේ නිදාගත්තේදැයි විචාළේය. රජතුමා ‘ඇදුරුතුමනි! කොයින්ද සැප නින්දක්. රාත්‍රියෙහි මගේ මංගල ආයුධය දිළිසින. එහි විපාකය කුමක් වන්නේද? මහරජතුමනි, බිය නොවන්න. මගේ ගෙදර දරුවෙක් උපන්නේය. ඔහුගේ ආනුභාවයෙන් මුළු නගරයෙහිම ආයුධ දිළිසින. ඇදුරුතුමනි, කුමක් වන්නේද? දරුවා සොරෙක් වන්නේයැයි කීය. කිම ඔහු තනිව හැසිරෙන සොරෙක් වන්නේද, නැත්නම් සොරමුළක නායකයා වන්නේදැයි රජු ඇසීය. දේවයන් වහන්ස, තනිව හැසිරෙන සොරෙක් වන්නේයැයි බමුණා කීය. ඔහුව මරවමුද? ඔහු තනිව හැසිරෙන්නෙක් නම් ඇතිදැඩි කරමු යැයි රජු කීය. යම්හෙයකින් ඔහු රජුගේ සිත පීඩාවට පත්කරමින් උපන් බැවින් ඔහුට ‘හිංසක’ යැයි නම් තබා පසුව දැක්කා, නොදැක්කා වගේ ‘අහිංසක’ යැයි ව්‍යවහාර කළහ.
ඔහු වැඩිවියට පත්වූයේ පෙර කර්ම බලයෙන් ඇතුන් හත්දෙනෙකුගේ බල ඇත්තේ විය. ඔහුගේ පෙර කර්මය මෙසේය! බුදුන් නැති ලෝකයේ ගොවියකුව ඉපිද වර්ෂා ජලයෙන් තෙමුණු තෙතසිවුරු ඇති සීතලින් පීඩාවට පත් පසේබුදුවරයෙක් තමන්ගේ කෙත්බිමට ලඟාවූ බව දැක මට පිංකෙතක් පහළවී ඇතැයි සතුටින් ගිනිදල්වා දුන්නේය. ඔහු ඒ කර්ම බලයෙන් උපනුපන් තැන්වල ශක්ති බලසම්පන්නව ඉපිද මේ අවසන් ආත්මභාවයෙහි ඇතුන් සත්දෙනෙකුගේ බලය දරයි. ඔහු තක්සලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි අතවැසි ශිෂ්‍යයෙක් ලෙස ශිල්ප හදාරන්නේ ගුරුතුමා වූ බමුණාටත් භාර්යාවටත් හොඳින් ඇපඋපස්ථාන කළේය. ඒ නිසා ඒ බැමිණිය ගෙදරට ලැබෙන ආහාර ආදියෙන් ඔහුට සංග්‍රහ කරයි. එය නොඉවසන්නා වූ අනික් තරුණයෝ ඔහුව ගුරුවරයා සමග භේද කළෝය. බමුණා ඔවුන්ගේ වචන දෙතුන්වරක් කියාත් විශ්වාස නොකරන්නේ පසුව විශ්වාසකොට මහාබල ඇති මේ තරුණයාව කිසිවකු විසින්වත් මරන්නට නොහැක. යම්කිසි උපායකින් ඔහුව මරවන්නෙමියි සිතා ශිල්ප හදාරා අවසන්ව තමන්ගේ ගමට යාමට අවසර ඉල්ලූ තරුණයාට මෙසේ කීය. දරුව! අහිංසක ශිල්ප හදාරා අවසන් වූ ශිෂ්‍යයා විසින් ගුරුවරයාට පුදපඬුරු දියයුතුයි. එය මට දෙන්න. යහපත් ගුරුතුමනි, දියයුත්තේ මොනවාද? මිනිසුන්ගේ දකුණු අතේ ඇඟිලි දාහක් ගෙන එන්නයැයි කීය. බමුණා බලාපොරොත්තු වූයේ බොහෝදෙනෙකුව මරණවිට ඒකාන්ත වශයෙන් කවරෙක් හෝ ඔහුව මරාවි යන්නයි. (බමුණාගේ) ඒ වචනය අසා අහිංසක තෙමේ තමාගේ බොහෝකලක් හුරුපුරුදු වූ අකාරුණික බව පෙරටුකොට පඤ්ච ආයුධවලින් සූදානම් වූයේ කොසොල් රජුගේ රාජ්‍යයෙහි ජාලින නම් වූ වනයට පිවිස මහා මාර්ගය අසල ගල්පර අතර වාසය කරන්නේ කඳුමුදුනේ සිට මග යන මිනිසුන් බලා වේගයෙන් දුවගොස් ඇඟිලි කපාගෙන අවුත් ගසක එල්ලයි. ඒවා ගිජුලිහිණියෝද කවුඩෝද කති. බිම දැමූ ඒවා කුණුවී යයි. මෙසේ ගණන සම්පූර්ණ නොවන බැවින් ලැබුණු ලැබුණු ඇඟිල්ල ලණුවක ගැටගසා මාලාවක් මෙන්කොට යාගයකට එකතුකළාක් මෙන් පැත්තක එල්ලා ගත්තේය. එතැන් පටන් අංගුලිමාල යන නම මොහුට ලැබිණ.
මෙසේ ඔහු මිනිසුන් මරණ කල්හි මාර්ගය හිස්විය. ඔහු මාර්ගයේ මිනිසුන් හමුනොවන බැවින් ගම සමීපයට ගොස් සැඟවී පැමිණි පැමිණි මිනිසුන් මරා ඇඟිලි කපාගෙන යයි. ඒ බව දැනගත් මිනිස්සු ගම අතහැර ගියහ. ගම ජනශුන්‍ය විය. නියම්ගම්, ජනපද ද එසේම විය. මෙසේ ඔහු විසින් ඒ පළාත බියවද්දන ලදී. අංගුලිමාලස්ස අංගුලිමාලටද එකක් අඩු දහසක් ඇඟිලි එකතුවී තිබිණ. ඉක්බිති මිනිස්සු ඒ සොර උවදුර කොසල කොසොල් රජුට සැලකළාහ. රජතුමා උදේම නගරයෙහි බෙර හැසිරවීය. වහාම අංගුලිමාල සොරාව අල්ලාගනිමු. බලසේනාවෝ එත්වා. මෙය අසා අංගුලිමාලගේ මව මන්තානි නම් බැමිණිය ඔහුගේ පියාට මෙසේ කීය. ඔබගේ පුතා සොරෙක්ව මේ මේ දේ කරයි. එබඳු දේ කරන්ට එපා යැයි ඔහුට කියා මෙහි කැඳවාගෙන එන්න. එසේ නැත්නම් රජු ඔහුව මරවාවි. එබඳු පුතුන්ගෙන් මට වැඩක් නැත. රජුට කැමැති දෙයක් කළාවේයැයි බමුණා උත්තර දුන්නේය. ඉක්බිති බැමිණිය දරු සෙනෙහසේ බලවත්කමින් මගට අවශ්‍ය දේ සූදානම් කරගෙන මගේ පුතාට කරුණු කියාදී ගෙන එන්නෙමියි මගට බැස්සාය. මේ තැනැත්තිය අංගුලිමාලව ගෙන එන්නෙමියි යන්නීය.
ඉදින් ඇය යන්නීද අංගුලිමාල තෙම ඇඟිලි දහස සම්පූර්ණ කරන්නෙමියි මවද මරන්නේය. ඔහුද අවසාන ආත්මභාවයේ සිටී. ඉදින් මම එහි නොගියේ නම් මහා අවැඩක් සිදුවන්නේ යැයි, දැනගත් බුදුරජාණන් වහන්සේ පසුබත් දානය වළඳා අවසානයේ තමන් වහන්සේම පාත්‍රා සිවුරු ගෙන අංගුලිමාල උදෙසා යොදුන් මග පයින්ම වඩින්නේ අතරමග ගොපල්ලන් විසින් වළක්වන ලද්දේ නමුත් ජාලින නම් වනයට වැඩිය සේක. එකෙණෙහිම ඔහු විසින් ඔහුගේ මව දකින ලදී. ඔහු මවව දුරදීම දැක, මව ද මරා අද අඩුව ඇති ඇඟිල්ල සම්පූර්ණ කරන්නෙමියි කඩුව ඔසවා ඉදිරියට දිව්වේය. මේ දෙදෙනා අතර භාග්‍යවතුන් වහන්සේ පෙනී සිටි සේක. අංගුලිමාල තෙමේ බුදුන් දැක ඇඟිල්ලක් ගන්නට මගේ මව මරන්නේ කුමකටද? මගේ මව ජීවත් වේවා. මේ ශ්‍රමණයා මරා ඇඟිල්ල ගන්නෙමියි ඔසවාගත් කඩුව ගත් අත් ඇතිව බුදුන් වහන්සේ පිටුපසින් ලුහුබැඳ ගියේය. භාග්‍යවතුන් වහන්සේ තමා ස්වාභාවික ඉරියව්වෙන් වැඩියත් අංගුලිමාල තෙම සම්පූර්ණ බලය යොදා දුවන්නේ නමුත් තමා ලගට ලංවන්නට නොහැකිවන පරිදි ඍද්ධි බලයක් යෙදූ සේක. පිරිහුණු වේග ඇති ඔහු සුරු සුරු යයි හුස්ම හෙලමින් කිසිලිවලින් දහඩිය හෙළමින් පා ඔසවන්නටවත් නොහැකිවී නතර වී ශ්‍රමණය! නතරවන්නයැයි භාග්‍යවතුන් වහන්සේට කීය. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරමින්ම අංගුලිමාලය! මම සිටියෙමි. නුඹද සිටින්නයැයි වදාළහ. ඉක්බිති ඔහු මෙසේ සිතීය. ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයන් වනාහි සත්‍යවාදීන්ය. ගමන් කරමින්ම මම නතරවීමි අංගුලිමාල! නුඹද නතර වන්නයැයි මට කියයි. මමද නතරවෙමි. මෙහි අදහස කුමක්දැයි අසා නොදනිමියි භාග්‍යවතුන් වහ ගාථාවකින් ප්‍රකාශ කළේය.